සාදය නිමා වී එද්දී බෝට්ටුව පෙරළී දෙදරු පියා අතුරුදන්

213

ඊයේ රාත‍්‍රී 10.00 ට පමණ මිතුරෙකුගේ නිවසකට බෝට්ටුවකින් ගමන්කර මත්පැන් සාදයක් පවත්වා නැවත බෝට්ටුවෙන්ම පැමිණෙමින් සිටියදී ගඟ මැද දී බෝට්ටුව පෙරළීමෙන් එක් පුද්ගලයකු අතුරුදන් වී ඇත.

එම බෝට්ටුවේ මිතුරන් තිදෙනකු ගමන් කර ඇති අතර මත්පැන් සාදය පවත්වා නැවත පැමිණෙමින් සිටියදී එම බෝට්ටුවේ සමතුලිතතාවය පවත්වා ගැනීමට නොහැකිවීම නිසා එක් අන්තයක් ජලයෙන් යටවී බෝට්ටුව පෙරලී ඇත.

ඉන්පසු මෙම බෝට්ටුවේ ගමන් ගත් තිදෙනාගේ කෑගැසීම් හඬ නිසා එම ප‍්‍රදේශයේ මේසන් වැඩ සඳහා පැමිණි පුද්ගලයන් පිරිසකගේ වාඩියක දෙදෙනකු පිහිනා ගොස් ගඟ මැද සිටි පුද්ගලයන් දෙදෙනකුගේ දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ පුද්ගලයා දියේ ගිලී ඇත.

මෙසේ දියේ ගිලී ඇත්තේ බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වන දෙදරු පියෙකි.

මෙම පුද්ගලයා රැකියාව වශයෙන් ත‍්‍රිරෝද රථ කුලී රථ සේවයේ නියුතු අයෙකි. මෙම පුද්ගලයා මොරටුව, හොරේතුඩුව ප‍්‍රදේශයේ ත‍්‍රිරෝද රථ ගාලක තම සේවා ස්ථානය ලෙස පවත්වාගෙන ගිය අතර වෙනත් යහළුවකුගේ නිවසේ සිට ඊයේ රාත‍්‍රී සාදය සඳහා ගොස් ඇත.

මේ වනවිට අතුරුදන් වූ පුද්ගලයා සොයා මොරටුව පොලිසියේ පොලිස් කණ්ඩායම් කිහිපයක්ද, නාවික හමුදා කිමිදුම්කරුවන් කිහිප දෙනෙක්ද මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇත.

එස්. ඒ. ආර්. ප‍්‍රනාන්දු – මොරටුව

advertistmentadvertistment
advertistmentadvertistment