සාදු නදින් වඳිමු මැදින්

208

මැදින් පොහෝය ලාංකීය මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දවසකි. එයට හේතු වනුයේ,

  1. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කිරීම
  2. නන්ද කුමරුගේ පැවිදිබව ලැබීම
  3. යසෝදරා දේවියගේ ගෞරවය ප්‍රකාශ කිරීම
  4. රාහුල කුමරුවන්ගේ පැවිදිබව ලැබීම
  5. නිග්‍රෝධාරාමය පූජා කිරීම
  6. ශාක්‍යයන්ගේ මානය දුරු කිරීම.
  7. ගෙපිළිවෙලින් පිඬු පිණිස වැඩීමේ අගය කියාදීම

හේමන්ත සෘතුවේ මැදින් පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධි සමූහයක් සිහියට නංවන මංගල දිනයකි. ලෝකාර්ථචර්යාවෙහි යෙදුනු බුදුරජාණන් වහන්සේ විසිදහසක් පමණ ආර්ය මහා සංඝරත්නය පිරිවරාගෙන සුද්ධෝදන පිය මහ රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් යහපත උදාකරනු පිණිස රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුර නුවරට වැඩම වීමට ගමනාරම්භ කළේ අදවන් මැදින් පුන් පොහෝදාකය.

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට රජගහනුවර වැඩ වසන බව ශාක්‍ය ජනපදයට ආරංචි විය. සුද්ධෝදන රජුට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය. අවස්ථා නවයකදී ප්‍රධාන ඇමැතිවරු නවදෙනකු යටතේ නවදහසක් සේනාව බුදුරජාණන් වහන්සේ වැඩම කරවීමට රජගහනුවරට පිරිස යැවීය. ඔවුහු සියලුදෙනා උතුම් බුදු සසුනේ පිහිට ලබා පැවිදි වී මහරහතන් වහන්සේ බවට පත්විය. රජු කනස්සල්ලෙන් පසුවිය.

අවසානයේදී බෝසතුන් සමග එකදා උපන් කාලුදායි ඇමැති දහසක් සේනාව සමඟ පැවිදි වීමට රජුගෙන් අවසර ලබා ගෙනම පිටත් විය. මේ වන විට ශාක්‍ය ජනපදයේ කුල කුමරුවන් දස දහස් දහයක් (10010) සම්බුදු සසුනේ පැවිද්ද ලබා මහරහතන් වහන්සේ බවට පත්වූහ.

කාලුදායි තෙරුන් පැවිද්ද ලබා සතියකට පසු පියමහ රජුගේ ආරාධනාව සිදුකරමින් රජගහනුවර සිට කිඹුල්වතට ඇති මාර්ගයේ සුන්දර වර්ණනාවක් සිදු කළේය. එකී පරිසර වර්ණනාව හේමන්ත සෘතුවේ සුන්දරත්වය ප්‍රකාශ කිරීමකි.

භාග්‍යවතුන් වහන්ස, පරිසරය ඉතා ශීත වූයේද නැත. ඉතා උණුසුම් ද නැත. සෘතුව සුවදායකය. ගමනට ඉතා සුදුසුය. ආදී ගාථා හැටකින් (60) ගමනට සුදුසු කාලය එළඹ ඇතැයි ආරාධනා කළේය. විසිදහසක් භික්‍ෂු සංඝරත්නය සමග රජගහනුවර වේළුවනාරාමයෙන් හවස් කාලයේ බුදුරජාණන් වහන්සේ ගමන පිටත් වූහ. පියමහ රජු ඇතුළු ඥාති සමූහයාට කළ යුතු උතුම්ම ඥාති සංග්‍රහයට මුල පිරූ මැදින් පුන් පොහෝය බෞද්ධයන්ගේ සදා ගෞරවයට පත්වූ දිනයක් විය.

සැට යොදුන් මග ගෙවා කිඹුල්වතට වැඩම කළ බුදුරජුන් ප්‍රධාන මහ සඟරුවනට ශාක්‍යයෝ පිළියෙල කරන ලද නිග්‍රෝධාරාම විහාරය පිදූහ. එයට වැඩම කළ බුදුරජාණන් වහන්සේට මානයෙන් උදම් වූ ශාක්‍යයෝ ළදරුවන් ලවා බුදුරජාණන් වහන්සේ වන්දනා කරවූයේ උන්වහන්සේ තමනට වඩා වයසින් බාල යයි සිතාය. ශාක්‍යයන්ගේ අදහස් දුටු උන්වහන්සේ යමාමහ පෙළහර පාමින් ශාක්‍යයන්ගේ මානය දුරු කළ අතර එදින සිය මහ රජුගේ තුන්වැනි වැඳීමද සිදුවිය. එදින වෙස්සන්තර ජාතකය දේශනා කළහ.

පසුදා දහවල දානයට කිසිවෙකුගෙන්

ආරාධනා නොලැබූයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය කිඹුල්වත්පුර නුවර පුරා පිණ්ඩපාත දානයෙහි වැඩම කළහ. මෙය දුටු යසෝදරා දේවිය සුද්ධෝදන රජුට ඒ බව කීවාය. ලැජ්ජාවට පත් රජු කලබලයෙන් බුදුරජුන් හමු වී සිඟමන් යැදීම ශාක්‍ය වංශයට කළ නිගාවක් බව ප්‍රකාශ කළේය. මහරජතුමනි, ඒ ඔබේ වංශයයි. මාගේ වංශය බුද්ධ වංශයයි. මෙය අප වංශයේ ප්‍රධාන සිරිත යැයි රජතුමාට මහමඟදීම පිණ්ඩපාතය වැඩමවීමේ අගය වටිනාකම කියා දී ධර්ම දේශනා කළහ.

“ධම්ම චරේ සුචරිතං
නනං දුච්චරිතං චරේ
ධම්මචාරි සුඛං සේති
අස්මිං ලෝකේ පරම්භිච”

රජ ගෙදරදී දානය වළඳා ඉහත ගාථාවෙන් රජගෙදර පිරිසට ධර්මය දේශනා කළ අතර සුදොවුන් රජු සකෘදාගාමී මගඵල ලැබූහ. ප්‍රජාපතී ගෝතමිය සුළු මව සෝවන් තත්ත්වයට පත්විය. පියමහ රජු සමඟ යසෝදරාවගේ මාලිගයට බුදුරදුන් වැඩම කළ මොහොතේ ඇය සිරිපතුල සිපගෙන වැඳ වැටී අඬන්නට පටන් ගත්තාය. මහා කරුණාවෙන් ඇයට සිත් සේ දුක දුරුකර ගන්නට ඉඩ ලබා දුන්නේය. සුද්ධෝදන මහ රජතුමා යසෝදරාවන්ගේ ගුණ ගයන්නට වූවේය. ඇයගේ ස්වාමි භක්තිය පතිවෘතා ගුණය විශිෂ්ට ලෙස වර්ණනා කළේය. සඳකිඳුරු ජාතකය වදාරා යසෝධරාවන්ගේ සසර ගුණ කියමින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේය.

බුදුරජාණන් වහන්සේ ජාතග්‍රාමයට වැඩි තුන්වැනිදා නන්ද කුමරුන්ගේ රාජ්‍යාභිෂේක මංගල්‍යයද, ගෘහ ප්‍රවේශ මංගල්‍යය ද, විවාහ මංගල්‍යයදැයි මංගලත්‍රයයක් විය. එදින රජ මාලිගාවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දන් වළඳා පිටත්ව යන ගමනේදී නන්ද කුමරුට ස්වකීය පාත්‍රය දුන්නේය. බුදුන් පෙරටු කොට යන තම නන්ද කුමරු දුටු ජනපද කල්‍යාණි කුමරිය වහා එන්නැයි නන්ද කුමරුට ප්‍රකාශ කළේය. නමුත් සිදුවූයේ නොසිතුව දෙයකි. නන්ද කුමරුට පැවිදි වන්නට බුදුරජාණන් වහන්සේ කළ ඉල්ලීම බැහැර කළ නොහැකි විය. නන්ද කුමරු අකමැත්තෙන් පැවිදි විය. පසු කලකදී සියලු කෙලෙස් නැසූ මහරහතන් වහන්සේ නමක් බවට පත්විය.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩමවීමෙන් සත්වැනි දින විසිදහසක් මහා සංඝයා සමඟ මාලිගයට වැඩම කළහ. යසෝදරා දේවිය සත්හැවිරිදි රාහුල කුමරු සරසා නරසීහ ගාථා කියා දායාද ධනය ඉල්ලා ගන්නට යැයි පීතෘ ප්‍රේමය උපදවා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වාය. දන් වළඳා අවසානයේ මාලිගාවෙන්

පිටත්ව යන බුදුරජාණන් වහන්සේ සමග පුංචි රාහුල කුමරු ද ආරාමයට ගියේය. තමා සතු ධනය රාහුල කුමරුට ලබා දීමට සැරියුත් මහරහතන් වහන්සේ ආචාර්යවරයා ලෙසත්, මුගලන් මහරහතන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ලෙසත්, අවවාද ලබාදීම මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත්, පවරමින් සත් හැවිරිදි රාහුල කුමරු පැවිදි කළේය. බුදුරජුන් අත තිබූ සප්තාර්ය ධනය රාහුල හිමියන්ට ලබා දී කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් කළේය. කුඩා රාහුල කුමරු පැවිදි කරවීම සුදොවුන් රජුට දරාගත නොහැකි දුකක් විය. බුදුරදුන් වෙත පැමිණි රජු “ස්වාමීනි,

මවුපියන්ගෙන් අවසර නොලත් කුල දරුවන් පැවිදි නොකරන්නැයි” ඉල්ලීමක් කළේය. බුදුරජාණන් වහන්සේ එය පිළිගත්හ. එදවස පටන් මහණෙනි, මව්පිය අවසරය නොලද කුල දරුවන් පැවිදි නොකළ යුතු යයි අනුදැන වදාළහ.

පසුදා රජ මාලිගයට පිවිස දන් වැළඳූ බුදුරජාණන් වහන්සේට සුදොවුන් රජතුමා මෙසේ කීවේය. “ස්වාමීනි ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයෙහි දේවතාවකු අවුත් තොපගේ පුත්‍රයා මළේ යයි කී නමුත් මම එය නොපිළිගතිමියි කීය. එකල්හි බුදුරජාණන් වහන්සේ “මහරජ ඔබ දැන් පමණක් නොව පෙරත් එසේ නොපිළිගත්තේ යැයි කියමින් මහා ධර්මපාල ජාතකය වදාළ සේක. රජතුමා එය අසා අනාගාමී ඵලයට පැමිණියේය. සුද්ධෝදන පියමහ රජු රහත් බවට පත් කොට පිය මහරජුට ධර්මයේ පිළිසරණ ලබාදුන්හ.

මේ අනුව බලන විට මැදින් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවුණු ශාසනික කාරණා ඉතා වැදගත් වේ. ඔබ ද තම ජීවිතය ගැන තව තවත් සිතා සදාකාලික සැනසීම ඇතිකර ගැනීමට අවශ්‍ය කරන ගුණධර්ම වර්ධනය කර ගැනීමට උත්සාහ කළ යුතුය.

“උත්තිට්ඨේ නප්ප මජ්ජෙය්‍ය
ධම්මං සුචරිතං චරේ”

යන බුදු වදනට අනුව නැගීසිටි වීර්යය සහිතව ජීවත් වන්නට තම ජීවිතයේ එදිනෙදා කටයුතු කරනවා සේම, ජීවිතයේ පවතින නොසංසිඳෙන ආශාව, වෛරය, පළිගැනීම දුරුකර මානසික සහනය විමුක්තිය ඇතිකර ගැනීමට හේතුවන උතුම් දහම් ප්‍රතිපදාවේ නිරත විය යුතුය. මේ ඒ සඳහා සුදුසුම කාලයයි.

කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ

දඩල්ල, වාළුකාරාම වෙහෙර වැසි
ශාස්ත්‍රපති, රත්ගම සුනීත නාහිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment