සාධාරණ මිලකට ගන්නවා කිව්වත් වී අලෙවි මණ්ඩලය වී ඇටයක්වත් මිලදීගෙන නෑ

48

ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න

සාධාරණ මිලකට වී මිලදී ගන්නා බවට ගැසට් ගසා පොරොන්දු ලබාදුන් ආණ්ඩුව ඒ සඳහා මේ දක්වා ක්‍රියා නොකිරීමෙන් රට පුරා වී ගොවීන් දැඩි අසරණභාවයට පත්ව ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති, නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ ප්‍රකාශ කළේය.

ගොවීන්ගේ වී අස්වැන්න දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මිලදී ගන්නා බවට ආණ්ඩුව කියා සිටියත්, වී අලෙවි මණ්ඩලය විසින් මේ දක්වා වී ඇටයක්වත් ගොවීන්ගෙන් මිලදීගෙන නැතැයි ද හෙතෙම චෝදනා කළේය. ගියවර ද රජය විසින් නාඩු සහල් කිලෝව රු. 120ටත්, සම්බා සහල් කිලෝව රු. 125ට සහ කීරි සම්බා සහල් කිලෝවට රු. 130 ක් ලබාදෙන බවට ගැසට් මගින් ප්‍රකාශ කළත්, මෙවර නාඩු සහල් කිලෝවක් සඳහා නියම කර ඇත්තේ රු. 100 ක මිලක් බව ද කියා සිටි ඒ මහතා, රජය එම මිලට ද වී මිලදී නොගන්නා තත්ත්වය මත ගොවීන් රු. 75ත් 85ත් අතර මිලකට කළුකඩයට වී අලෙවි කරමින් පවතිනුයේ කරකියා ගත හැකි වෙනත් කිසිවක් නොමැතිකමින් බව ද සඳහන් කළේය. ගොවීන්ගේ නිෂ්පාදන වියදම් සෑම අංශයකින්ම ඉහළ ගොස් ඇති තත්ත්වයක් මත වී කිලෝවක් සඳහා රු. 130කට වැඩි මුදලක් ගෙවිය යුතුව ඇති බව මහා පරිමාණ වී මෝල්හිමියන් ද පිළිගෙන ඇති මොහොතක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය විසින් වී මිල තීරණය කරන බව කෘෂිකර්ම ඇමැතිවරයා ද නොදන්නා බව ප්‍රකාශ කළ නාමල් කරුණාරත්න මහතා, මෙවන් තත්ත්වයක් යටතේ පුද්ගලික අංශය තුට්ටු දෙකට වී මිලදී ගැනීමට ක්‍රියාකිරීමෙන් ගොවියාගේ යන එන මං ඇහිරී ඇතැයි ද වැඩිදුරටත් කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment