සාධාරණ මිලට රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ආරම්භ කරනවා – ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල

160

පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සඳහා යොමුව සිටින පිරිස් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම ඉලක්ක කර ගනිමින් රජයේ රෝහල් පද්ධතිය තුළ වඩාත් ඉහළ පහසුකම්වලින් සමන්විත ගෙවන වාට්ටු සාධාරණ මිලට ආරම්භ කිරීමට ඉලක්ක කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වන විටත් පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමුව ඇති ඉහළ මධ්‍යම පාන්තිකයින් බොහෝ පිරිසක් පවතින තත්වයන් හමුවේ ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා යොමු වන බවත් මේ තුළ ඖෂධ,වෛද්‍ය උපකරණ ඇතුළු රජයේ සෞඛ්‍ය සේවා සඳහා ඉහළ ඉල්ලු‍මක් ඇතිව තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි වන උපායමාර්ගික සැලැස්මක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ඉකුත් 16 වැනිදා පැවති විශේෂ හමුවකදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින්ද එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා දැනටමත් ආයෝජකයින් සිව් දෙනෙකු ඒ සඳහා එකඟ වී ඇති බවද ඒ වෙනුවෙන් ඇඳන් 100 ක් ඒ සඳහා එක් කිරීමට සැලසුම් කර ඇති බවද පැවැසීය.

මේ අතර රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ යටතේ ආරම්භ කරන ඔයාමඩුව ඖෂධ කර්මාන්තපුරය හරහා 40% ක පමණ ඖෂධ අවශ්‍යතාවක් ආවරණය කරගැනීමට හැකි වෙනු ඇතැයිද එවැනි ආයෝජකයන් සඳහා තවදුරටත් රට තුළ අවකාශය සැකසීමට හැකි යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.

ඖෂධ නිෂ්පාදනය සඳහා වන යෝජනා හා ගැටලු‍ රැසක් මෙහි දී සාකච්ඡා කෙරුණු අතර ඉදිරි මාසය තුළ යළි මෙහි ප්‍රගතිය සඳහා වන සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට මෙහිදී තීරණය විය.

මෙම අවස්ථාව සඳහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.නයීමුදීන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) මාලනී බද්දේගම, ඔයාමඩුව සුවසිරිපුර ඖෂධ නිෂ්පාදන කර්මාන්තපුරයේ ආයෝජකයින් කිහිපදෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment