සාධාරණ සූස්තිය?

866

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිස් විසින් අරක්කු හා ගංජා පානය කිරීම සාමාන්‍ය දෙයක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියෝ කියා සිටිති. උන්වහන්සේ මේ ප්‍රකාශය දෙසා වදාරනවාත් සමගම පොලිසිය මැදිහත් වී උන්වහන්සේ ලවා අරක්කු බැලුමක් පිම්බවිය යුතුව තිබිණ. මන්ද යත් කිසිදු භික්ෂුවකට අරක්කු හෝ ගංජා නොගහා මෙවැනි ප්‍රකාශයක් වැදෑරීමට නොහැකි බැවිනි. බෞද්ධ භික්ෂුන් වහන්සේ ගංජා ගැසීම සාමාන්‍ය දෙයක් බව කීමට අඩුම ගණනේ අරක්කු භාගයක් පානය කර සූස්තියක් ඇදිය යුතුමය. නැතහොත් එවැනි දෙයක් කීම සඳහා ආත්ම ධෛර්යය උපදවා ගැනීමට නොහැක. පසුගියදා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමන ලදී. ඉන්පසු විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කරන ලද මෙහෙයුමකදී හිස් අරක්කු බෝතල් සහ බියර් කෑන් දහස් ගණනක් හමුවිය. පාලි භාෂාව පිළිබඳ යුතුකම් භාෂා විශාරදයන් විසින් බලාගනු ලබනවා ඇත.

එසේම බුදු දහම බලා හදා ගැනීමට සිල්වත් භික්ෂුන් වහන්සේ සහ ඇතැම් භික්ෂුන්ට වඩා සිල්වත් ගිහියන් ඕනෑ තරම් සිටිති. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සූස්ති උරන සහ අරක්කු ගහන කහකඩයන්ට වඩා හැම අතින්ම උසස්, සිල්වත්, පිරිසිදු බෞද්ධයන් ගිහි සමාජයෙන් සොයා ගැනීමට පුළුවන. මේ නිසා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය සදාකාලිකවම වසා තබන්නේ නම් එය බුද්ධාගමට හොඳය. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් අරක්කු සහ ගංජා ගැසීම සාමාන්‍ය දෙයක් බව කියූ ගල්වැව සිරිධම්ම නමැති සිවුරුකාරයා මෙතැන් පටන් සිවුරක් අඳින්නේ කෙසේද යන ප්‍රශ්නය ගිහියන් වන අප තුළ තිබේ. මේ නොබෝ දිනක තායිලන්තයේ පන්සලකින් මත් ද්‍රව්‍යයක් හසුවිය. එසැණින් තායිලන්ත ආණ්ඩුව එම විහාරයේ සිටි සියලුම භික්ෂුන් උපැවිදි කර එම විහාරය භික්ෂු ශූන්‍ය තත්ත්වයට පත්කරන ලදී. එම පන්සලට අලුතින්ම භික්ෂුන් වහන්සේ යැවීමට සිදුවන අතර මේ කල්පය පවතින තුරුම තායි ආණ්ඩුව මේ විහාරය දෙස සුපරික්ෂාකාරීව බලාගෙන සිටිනවා ඇත.

දිවයින පුවත්පත සෑම කල්හිම සිංහල ජාතිය සහ බුදු දහම වෙනුවෙන් පෙනී සිටියේය. මේ රටේ සංඝ සමාජය ඉහළම තැනක වැඩ සිටිනු දැක්ම අපගේ අරමුණ විය. මෙයින් අප අදහස් කරන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේ කන්දක් උඩ හෝ බිල්ඩිමක උඩම තට්ටුවේ වැඩ වාසය කිරීම නොව පොදු ජන හද සන්තානයේ ප්‍රමුඛතම තැන වැඩ සිටීමය. එහෙත් අප නොසිතූ පරිදි මේ රටේ සංඝ සමාජය පරිහානියට පත්විය. මේ රටේ සංඝ සමාජය මුල් වරට පරිහානියට පත්වන්නේ සිංහල රජ කාලේය. එය කොතරම් පරිහානියට පත්වීද යත් භික්ෂුන් වහන්සේ වැඩිදෙනා කසාද බඳින්නට පටන් ගත් අතර පවුල හා පන්සල අතර ජීවත් වෙමින් පණ පිටින් අපායේ යන වැඩපිළිවෙළක් පටන් ගත්තේය. අන්තිමේදී මෙරටින් උප සම්පදාව පවා අතුරුදන් විය. ඉන්පසු දැනට අනෙක් බඩු පිට රටින් ගෙන්වනවාක් මෙන් උප සම්පදාවද පිට රටින් ගෙන්වීමට සිදුවිය.

ඒ වාරයේදී යාන්තමින් ගොඩගත් මේ රටේ සංඝ සමාජය 1959 සැප්තැම්බර් 26 දා තල්දූවේ සෝමාරාම නමැති චීවරධාරියා විසින් අගමැති බණ්ඩාරනායකට වෙඩි තබා මැරීමෙන් පසු නැවතත් වර්චස් විය. අගමැති මැරීමේ කොන්ත්‍රාත්තුව සෝමාරාමට දෙන්නේ මාපිටිගම බුද්ධ රක්ඛිත නමැති චීවරධාරියකු විසිනි. අන්තිමේදී සෝමාරාම ගස් ගිය අතර බුද්ධ රක්ඛිත හිරේ ගියේය. හිරේදී බුද්ධ රක්ඛිත උපැවිදි විය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු බෞද්ධයන්ගේ පරිභවයටත් අන් ආගමිකයන්ගේ උසුළු විසුළුවලටත් පාත්‍ර වූ මේ රටේ සංඝ සමාජය නැවත වරක් ගොඩ ඒම සඳහා තවත් අවුරුදු 20 ක් පමණ ගතවිය. 1971 කැරැල්ලට තරුණ භික්ෂුන් වහන්සේ කිහිපදෙනක් සම්බන්ධ වූහ. ඉන්පසු

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ රැසක් වෙනම political segment එකක් ලෙස සංවිධානය වූහ. මෙය භික්ෂුත්වය දේශපාලනීකරණය වූ පළමු අවස්ථාව වෙයි. අනතුරුව සමහර හාමුදුරුවරු පාර්ලිමේන්තුවට යෑමත් තවත් අය ප්‍රාදේශීය සභාවට යෑමත් තවත් සමහරු බිස්නස් සහ වංචාකර හිරේ යෑමත් සිදුවිය. ඇතැම් යූනියන්වල නායකත්වය භාරගෙන ඇත්තේ භික්ෂුන් වහන්සේ ය. මෙය ඉතාම පරිහානිගත තත්ත්වයකි. අවසන් ඵලයේදී බලන විට එම භික්ෂුන් වහන්සේ සිවුරු පොරවාගෙන තිබුණේ නිවන් මගේ ගොස් සසර ජය ගැනීම පිණිස නොව සටන් මගේ ගොස් ඡන්දය දිනා ගැනීමටය.

පසුගියදා කොළඹ පැවති අරගලවලදී ගිහියන් සමග හරි හරියට කුණුහරුප කියන භික්ෂුන් වහන්සේ දැකගත හැකිවිය. ඇතැම් භික්ෂුන් වහන්සේ යූ ටියුබ් හරහා ඉතාම වලත්ත කතා කීම සුලබ දෙයක් වී තිබේ. රාජාංගනේ ශ්‍රද්ධා රතන නමැති යෝධ හික්ෂුවක් දේශපාලනඥයන්ට තිත්ත කුණුහරුපෙන් බනින වීඩියෝ කිහිපයක් මේ දිනවල යූ ටියුබ් ඔස්සේ බලාගත හැක. සිවුරු පොරවාගෙන සිටින මෙවැනි ගිහියන් සංඝ සමාජයෙන් පිටමං කළ යුතු කාලය පැමිණ තිබේ. වර්තමාන බුද්ධ ශාසනය අවුරුදු 5000 න් නිමාවට පත්වෙතැයි කීමක් තිබේ. එහෙත් දැන් සිටින ඇතැම් සංඝ චන්ඩි දෙස බලන විට පෙනී යන්නේ තව අවුරුදු 10 ක්වත් නොපවතින තරමට බුදු සසුන අනතුරේ පවතින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment