සාපරාධී අපහාස නීතිය අවශ්‍ය ද?

510

කිසියම් පුද්ගලයකු සම්බන්ධව ද්වේශසහගතව අපහාස කිරීම අපරාධමය වරදක් ලෙස මෙරට නීතිය පිළිගත්ත ද පසුකාලීනව එම නීති ප්‍රතිපාදනය මෙරට නීතියෙන් ඉවත් කරන ලදී. එහෙත් එම ප්‍රතිපාදනය ඉවත් කිරීමෙන් රටට හෝ සමාජයට සුගතියක් අත් වූවාද යන්න විමසා බැලීමට කාලය පැමිණි ඇත. මක්නිසාද යත් අද වනවිට සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය හරහා විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන යෑම රැල්ලක් බවට පත්වී ඇති බැවිණි. මෙහි ගොදුරු බවට පත් වන අයවලුන් අතරින් දේශපාලන නායකයන් සහ කලාකරුවන් ප්‍රමුඛ වී ඇත.

කිසියම් පුද්ගලයකු සම්බන්ධව එල්ල කරන චෝදනාවක් පදනම් විරහිත නොවිය යුතුය. එහෙත් කිසිම කරුණක් පිළිබඳව විචක්ෂණශීලී ලෙස නොසලකා පදනම් විරහිත ලෙස චෝදනා එල්ල කිරීම සාදාචාරාත්මක නොවේ. අභාග්‍යසම්පන්න කරුණ නම් පදනම් විරහිත චෝදනා එල්ල කළ විට වින්දිතයාට ගත හැකි එකම ක්‍රියාමාර්ගය වන්නේ පෞද්ගලික අපහාස නඩුවක් දිසා අධිකරණයේ ගොනු කිරීම පමණක් වීමය. ඒ තම කීර්ති නාමයට සිදුවූ කැළල සඳහා වන්දි ලබා ගැනීමට ය. එහෙත් එම කරුණ සම්බන්ධව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට ඇති අවස්ථා සීමිතය.

දේශපාලන නායකයන් සම්බන්ධව විවිධ දූෂණ චෝදනා එල්ල කරමින් සමාජ මාධ්‍ය හරහා කරන ප්‍රචාර මෙකල සුලබ ය. අසවල් දේශපාලන නායකයාගේ දූෂණ පිළිබඳව ලිපි ගොනු මෙච්චර සංඛ්‍යාවක් තිබේ යැයි පුන පුනා ප්‍රකාශ කරන ඇතැම් පුද්ගලයන් කිසිදු අවස්ථාවක ඒවා හෙළිදරව් නොකරන අතර එම ලිපිගොනුවලට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්නේ ද නැත. මෙය කෙතරම් විගඩමක්ද? අදාළ ලිපි ගොනුවල තිබෙන කරුණු සත්‍යයක් බව නමුත් හොඳාකාරවම දන්නේ නම් එම කරුණු ප්‍රසිද්ධ නොකරන්නේ මන්ද? අපහාසය අපරාධ වරදක් වූවා නම් කිසිවකුට එවැනි අසත්‍යය කරුණු සමාජගත කළ නොහැකි ය. නමුත් දැන් සිදුවන්නේ කුමක්ද? තමන්ට රිසි සේ තමන්ගේ කෝපයට බඳුන් වූ පුද්ගලයකුට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබීම නොවේද? මෙය පනින රිලවුන්ට ඉණිමං බැඳීමට සර්වසමය.

අද වන විට මෙබඳු අසත්‍ය ප්‍රචාර රාශියක් සමාජ මාධ්‍යය හරහා සංසරණය වන බව නොරහසකි. එහෙත් සාපරාධී අපහාස නීතිය පිළිබඳව ප්‍රතිපාදන නොමැති සංදර්භය තුළ එවැනි ප්‍රකාශ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අපරාධ නීතිය යටතේ කළ නොහැකි අතර රටට ආයෝජකයන් පැමිණීම එවැනි ප්‍රචාර හරහා වැළකේ නම් එය එක් අතකින් රටේ පොදු ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්ද වේ. එහෙත් අපහාසය අපරාධමය වරදක් වේ නම් එබඳු අසත්‍ය ප්‍රචාර පතුරුවමින් කටයුතු කරන පුද්ගලයන් මෙල්ල වනු නිසැකය.

එස්. එම්. ජයසූරිය
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ

advertistmentadvertistment
advertistmentadvertistment