සාප්පු සවාරියේදී හයදෙනකුට පිහියෙන් ඇන්න අයිසිස් ත‍්‍රස්තයා ශ‍්‍රී ලාංකිකයෙක්…..

389

අන්තවාදය ගොඩනැගෙමින් තිබෙන ආකාරය දෙස බලන විට වසංගතයට වඩා භයානක තත්ත්වයක් එහි තිබෙන බව කිව හැකිය. නවසිලන්තයේ සුපිරි වෙළෙඳසලකදී සිදු වූ හය දෙනෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධිය එවැනි අවස්ථාවකි. තලේබාන් ත‍්‍රස්තවාදීන් ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීම අනික් අවස්ථාවය.

නවසීලන්ත රජය විසින් සිය අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන පුද්ගලයකු වන ශ‍්‍රී ලාංකිකයෙක් මෙම ප‍්‍රහාරය එල්ල කර තිබේ. ඕක්ලන්ඞ්හි සුපිරි වෙළෙඳසලකදී මෙම පිහි ප‍්‍රහාරය එල්ල වීමට ප‍්‍රථම කතාව සැකවින් මෙසේය.

2019 වසරේ නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකක් අසල සුදු ජාතික ආක‍්‍රමණිකයකු විසින් මුස්ලිම් බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කිරීමත් සමග නවසීලන්තයේ අයිසිස් නැගිටීම් සම්බන්ධව විශේෂ අවධානයක් යොමුවිය. සුදු ජාතිකයාගේ මෙම ප‍්‍රහාරය සඳහා නවසීලන්තය තුළදී අයිසිස් ත‍්‍රස්තයන් කුමන ආකාරයේ ප‍්‍රතිප‍්‍රහාරයක් දියත් කරනු ඇද්දැයි නවසීලන්ත ආරක්ෂක අංශ විමසිල්ලෙන් පසුවිය. ඒ අනුව වර්ගීකරණය කරමින් අයිසිස් සැකකරුවන් සම්බන්ධයෙන් විවිධ මට්ටම් මගින් නවසීලන්ත ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටියේය. සමහර සැකකරුවන් විෂයයෙහි ක‍්‍රියාත්මක කරන ලද්දේ, දින හතේම පැය විසි හතර පුරාම පොලිස් අධීක්ෂණය යටතේ ඔවුන් පවත්වාගෙන යෑමය. ඒ අනුව වර්ගීකරණය වූ එක් සැකකරුවකු මෙසේ වෙලින්ටන් හි සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී ක‍්‍රියාත්මක වී තිබුණි.

දරුණු ඉස්ලාමීය අන්තවාදියකු ලෙස සැලකෙන මෙම ප‍්‍රහාරකයා වසර 10 ක් නවසීලන්තයේ පදිංචි ව සිටි, ශ‍්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමී කණ්ඩායමෙන් ආභාෂය ලැබූ අයෙකු බවත් ඔහු නිරන්තර අධීක්ෂණය යටතේ සිටි අයකු බව ද නවසීලන්ත ආරක්ෂක අංශ පවසා තිබුණි.

‘ප‍්‍රචණ්ඩ අන්තවාදියකු අහිංසක නවසීලන්ත වැසියන්ට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කළේය.’ යනුවෙන් නවසීලන්ත අගමැතිනි ජැසින්ඩා ආර්ඩර්න් පවසා සිටියේය. ඉස්ලාමීය අන්තවාදය ගැන සඳහන් කරමින් ”ඔහු පැහැදිලිවම අයිඑස්අයිඑස් මතවාදයේ ආධාරකරුවෙක්” යැයි පවසා සිටි අගමැතිනිය, හඳුනා නොගත් ප‍්‍රහාරකයා වසර පහක පමණ කාලයක් ‘ආරක්‍ෂක අංශ උනන්දුවක් දක්වන පුද්ගලයෙක්’ වූ බවත්, ඕක්ලන්ඞ් නගරයේදී ප‍්‍රහාරය ආරම්භ කර තත්පර 60 ක් ඇතුළත ඔහු ඝාතනය කළ බවත් අගමැතිනි ආර්ඩර්න් පවසා සිටියාය. මෙම ‘සිකුරාදා ප‍්‍රහාරය’ 2019 මුස්ලිම් පල්ලියේ වෙඩි තැබීම් සඳහා පළිගැනීමක් විය හැකිදැයි මාධ්‍ය ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති ආර්ඩර්න් පැවසුවේ, එය පැහැදිලි නැති බවයි. ප‍්‍රචණ්ඩත්වයට වගකිව යුත්තේ පුද්ගලයා පමණක් මිස ඇදහිල්ලක් නොවන බව ඇය පැවසුවාය.

‘වෛරී සහගතයි, එය වැරදියි. එය සිදු කළේ ඇදහිල්ලක් නොව පුද්ගලයෙකු විසින්’ යැයි ආඩර්න් පැවසීය. ක‍්‍රියාවන්හි වගකීම ඔහු පමණක් දරයි. මෙම පුද්ගලයාගෙන් ඔබ්බට වූ ඕනෑම අයෙකුට කිසියම් කලකිරීමක් ඇති කිරීම වැරදි ය.’

පොලිසිය සමග ඕක්ලන්ඞ් හි නිව් ලින් සුපිරි වෙළෙඳසලට ගොඩවූ ඔහු, සාප්පු සවාරි යෑමට ගොස් ඇතැයි සිතූ නමුත් විශාල පිහියක් ඇදගෙන ”පිස්සෙක් මෙන් දුවන්නට” පටන් ගත් බව ඇසින් දුටු පුද්ගලයන් පවසා සිටියේය.

පොලිස් කොමසාරිස් ඇන්ඞ්රූ කොස්ටර්, එම පුද්ගලයා තනිවම කටයුතු කරමින් සිටි අතර මහජනතාවට තවදුරටත් තර්ජනයක් සිදු නොවන බවට වන පුර්ව විශ්වාසයක් පොලිසියට තිබූ බව විස්තර කළේය.

‘නිරීක්ෂණය කිරීමට ගත හැකි සෑම දෙයක්ම අපි කරමින් සිටියා. තත්පර 60 ක පමණ කාලයකින් ඔහුගේ ප‍්‍රචණ්ඩ පිළිවෙතට මැදිහත් වීමට හැකි වීම තුළින් අපි ඔහු දෙස කෙතරම් සමීපව බලා සිටියාද යන්න පෙන්නුම් කරයි’ යනුවෙන් කොස්ටර් පැවසීය.

වෙළෙඳ සලක තිබූ පිහියක් අතට ගත් පුද්ගලයා එසැනින් අවට සිටි පිරිස් වෙත මන්න පහර කිහිපයක් එල්ල කර ඒ ක්ෂණයෙන්ම, අසල සිටි ආරක්ෂකයකු ඔහු වෙත වෙඩි ප‍්‍රහාර 10 ක් පමණ එල්ල කිරීමත් සමග, තවත් ශ‍්‍රී ලාංකික ත‍්‍රස්තවාදියකුගේ ඉරණම නිමාවට පත්විය.

තුවාල ලැබූ හය දෙනාගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් දෙදෙනෙක් මධ්‍යස්ථ තත්ත්වයේ බවත් ශාන්ත ජෝන් ගිලන්රථ සේවාව පවසා සිටියේය. මෙම ත‍්‍රස්තවාදියා පිළිබඳව තොරතුරු පත්තරය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් නවසීලන්ත රජය නිකුත් කර නොතිබූ අතර, ඔහුගේ ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය පමණක් ප‍්‍රකාශයට පත් කර තිබුණි.

ඔසිත අත්තනායක

advertistmentadvertistment
advertistmentadvertistment