සාප්පු සවාරි කොවිඩ් කැන්දයි: ප්‍රවේසමෙන්!

107

‘‘සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සාප්පු සවාරි ගියාට කමක් නැහැ. හැබැයි අනවශ්‍ය ලෙස ඒකරාශී වෙන්න එපා. තමන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් අරගෙන ඉක්මනින් සාප්පුවෙන් පිටවෙලා යෑම ඉතා වැදගත්’’ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (26දා) පැවසීය. පවතින කොවිඞ් තත්ත්වය හමුවේ සාප්පු තුළට ඉතා සීමිත පිරිසක් ඇතුළත් කර ගන්නැයි ද ඒ මහතා සියලූ සාප්පු හිමියගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී තවදුරටත් කතාකළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ ද කීය. මේ වෙනකොට බොහෝ දෙනා සාප්පු සවාරි යන්න පටන් අරගෙන තියෙනවා. සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සාප්පු පවත්වාගෙන යන්න කියලා දැනුවත් කරලයි තියෙන්නේ. නමුත් සමහරක් සාප්පුවල ඉතා අධික ලෙස ජනතාව ඒකරාශී වෙනවා කියලා දැනගන්න තියෙනවා. මේක ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. මේ නිසා කොවිඞ් පැතිරීමේ දැඩි අවදානමක් මතු වෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි. වෙළෙඳසැල්, හෝටල් තුළත් ජනතාව ඒකරාශී වෙන බව දැනගන්න තියෙනවා. මෙහෙම ගිහින් කොවිඞ් තත්ත්වය නරක අතට හැරුණොත් රට ආයෙමත් ලොක්ඩවුන් කරන්න වෙනවා. එතකොට රට බරපතළ අර්බුදයකට පත් වෙනවා. ඒ නිසා සාප්පු සවාරි, හෝටල් හා වෙළෙඳ සැල් තුළට ජනතාව යනවා නම් වගකීමෙන් හැසිරෙන්න කියලා ඉල්ලා සිටිනවා.

සාප්පු සවාරි යන්න අන්තිම මොහොත වෙනකම් ඉන්න එපා. දැන් සිටම ගිහින් තමන්ගේ ඇඳුම් පැළඳුම් ඇතුළු අවශ්‍යතාවන් සපුරාගන්න කියලා ඉල්ලා සිටිනවා

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment