සාමකාමී අරගලය සහ සාමකාමී අවහිරය

237

කිසියම් රටක ප්‍රධාන නීති මූලාශ්‍රය කුමක්ද යන පැනයට දිය හැකි ඉතා පැහැදිලි පිළිතුර නම් එම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන්නය. එය රටේ ප්‍රධාන නීති මූලාශ්‍රය පමණක්ද නොව උත්තරීතර නීති මූලාශ්‍රය ද වේ. මෙම නෛතික රාමුව කිසිදු ආකාරයකට අභියෝගයට ලක්කළ නොහැකි බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු වලින් ද තහවුරු කර ඇත. බොහෝ අය තමන්ගේ වාසිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ අන්තරගත මූලික අයිතිවාසිකම් පිළිබඳව අර්ථනිරූපණ ලබා දීමට උත්සුක වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අර්ථකථනය කිරීමේ පූර්ණ බලය තිබෙන්නේද ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට බව සැඟවීමට උත්සාහ කරති. මූලික අයිතිවාසිකම් පිළිබඳව කතාබහ කරන බොහෝ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10,11,12,13,14 ව්‍යවස්ථා පිළිබඳව පුන පුනා කියා සිටීමට උත්සුක වූවත් එහි 15 වන ව්‍යවස්ථාව පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකරති. මෙය මේ රටේ ජනතාව බරපතළ ලෙස මුළාවකට පත්කිරීමේ උප්පරවැට්ටියකි. 1987-89 භීෂණ සමයේ මෙන්ම 2022 අරගලයේද සිදුවූයේ මෙම උප්පරවැට්ටිය නැවතවරක් අත්හදා බැලීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් 15 වන ව්‍යවස්ථාව මගින් සීමා කිරීමට ලක්කර ඇති බව මූලික අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කරන ඇතැම් පාර්ශ්ව අනාවරණය නොකිරීම බරපතළ වැරැද්දක් නොවේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(ආ) වන ව්‍යවස්ථාවට අනුව ජනතාවට සාමකාමී එක්රැස්වීම සඳහා අයිතිවාසිකම් ඇත. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අයිතිවාසිකමක් ඇත්තේ සාමකාමී එක්රැස් වීමකට පමණි. එම එක්රැස්වීම සාමකාමී නොවන්නේ නම් හෝ එක්රැස්වීම හරහා ප්‍රචණ්ඩත්වය මුදාහරින්නේනම් හෝ රාජ්‍ය දේපොළ හෝ පෞද්ගලික දේපළ හානියට ලක්කරන්නේ නම් හෝ පුද්ගලයන්ගේ ජීවිත වලට හානි සිදුකරන්නේ නම් හෝ නීතිය සහ සාමය පවත්වාගෙන යාමට බාධාවක් සිදුකරන්නේ නම් එය සාමකාමී එක්රැස්වීමක් ලෙස අර්ථ නිරූපණය කිරීමට නොහැක. එනයින්ම එකී අරගලය සාමකාමී අරගලයක් ලෙස සැලකිය නොහැකිය. මෙම නෛතික කරුණු වසන් කර 14(ආ) වන ව්‍යවස්ථාව අර්ථකථනය කිරීම මුළාවකි. මූලික අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කරන දේශපාලන පක්‍ෂයක් වුව සිවිල් සංවිධානයක් වුව උක්ත කරුණු පිළිබඳවද ජනතාව දැනුවත් කළ යුතු නොවේද? එහෙත් අවාසනාවකට අප රටේ සිදුවන්නේ සත්‍යය වසන් කර ජනතාව මුළාවකට පත්කිරීමකි. මෙම සංදර්භය තුළ ප්‍රචණ්ඩත්වය මුදාහරින ලද විරෝධතා වලදී එයට නායකත්වය දුන් පුද්ගලයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම අවනීතික අත්අඩංගුවට ගැනීමක් ලෙස අර්ථ දැක්වීමට තරම් ඇතැම් පුද්ගලයන් සැහැසිවීම බරපතළ ලෙස නීතියේ ආධිපත්‍යයට අභියෝග කිරීමකි.

මෙහිදී මතුවන අනිත් ප්‍රශ්නය නම් සාමකාමී අවහිරය යන්නක් පැවැතිය හැකිද යන්නය. අවහිරය නම් ක්‍රියාවක් සිදුකරන පුද්ගලයකු එකී අවහිරය චේතනාන්විතවම හෝ චේතනාන්විත නොවන ආකාරයකට කළ හැකිය. නිදසුනක් ලෙස මහා මාර්ගයේ මෝටර් රථයක් නවතා තබන පුද්ගලයකු අවහිරයක් සිදුකළ ද එය චේතනාන්විතවම සිදුකළ ක්‍රියාවක් නොවේ නම් එහි අපරාධමය වගකීමක් උත්පාදනය නොවේ. එහෙත් ඔහු කිසියම් අනර්ථයක් සිදුකිරීමට චේතනාන්විතවම සිදුකළ එකක් නම් එය සාමකාමී අවහිරය ලෙස අර්ථ නිරූපණය කිරීම හාස්‍යජනක නොවේද? පසුගිය දිනවල විවිධ උද්ඝෝෂණ වලදී ඇතැම් අවස්ථාවල ගිලන් රථ වලටද මහා මාර්ගය භාවිතා කිරීමට බාධා ඇති වන ආකාරයට මාර්ග හරස් කිරීම බහුලව සිදුවිය. මෙම අවහිර සාමකාමී අවහිර ලෙස විස්තර කළ නොහැකිය. පුද්ගලයකුට සාමකාමී විරෝධතාවල නිරත වීමට අවකාශ ඇතත් කිසිදු පාර්ශ්වයකට බාධාවක් ඇති වන ආකාරයකට එම අයිතිවාසිකම් භුක්ති විඳීමේ නිදහස නොමැති බව සිහිතබාගත යුතුය. එවැනි අවස්ථාවල එකී අවහිරය සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට බලයක් ඇත. එහිදී පොලිසිය නීතියේ ආධිපත්‍යයට අනුව කටයුතු කරයි. තවද එවැනි අවස්ථාවලදී එකී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් විසුරුවා හැරීමට බලය පාවිච්චි කිරීමට පොලිසියට අයිතියක් ඇත.

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතිවාසිකම් සීමා කර ඇත. ජාතික ආරක්‍ෂාව, නීතිය සහ සාමය පවත්වාගෙන යාම, ජනතාවගේ සෞඛ්‍ය යථා පරිදි පවත්වාගෙන යාම ආදී කරුණුවලට බාධාවක් වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමේ නිදහසක් නොමැති බව 15 වන ව්‍යවස්ථාව මගින් පැහැදිලි ලෙස දක්වා ඇත.

එස්. එම්. ජයසූරිය
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ
දේද්දුගොඩවත්ත, උළුවිටිකේ, ගාල්ල.

advertistmentadvertistment
advertistmentadvertistment