සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම හෙළා දකිනවා – යුරෝ මිලියන 70ක බදු සහනයත් හිතන්න – යුරෝපා සංගමය

322

ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා සඳහා යුරෝපා සංගමය විසින් ලබාදී ඇති යුරෝ මිලියන 70ක වටිනාකමින් යුත් බදු සහනය ගැන සලකා බලන ලෙස අරගලකරුවන්ට පහරදීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය කියා සිටී.

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම දැඩිලෙස හෙළාදකින බවද යුරෝපා සංගමය එමගින් පවසයි. යුරෝපා සංගමය යනු ලොව ප්‍රබලතම රටවල් 27කින් සැදුම්ලත් ලෝක ආර්ථික හා දේශපාලනික වශයෙන් සුවිශේෂී ප්‍රධාන ජාත්‍යන්තර සංවිධානයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමෙන් වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුව විසින් නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාව යුරෝපා සංගමය විසින් පෙන්වා දී තිබේ.

විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ප්‍රචණ්ඩත්වය යෙදීම පිළිබඳ වාර්තාවට අවධානය යොමුකරන එම සංගමය සාමකාමීව රැස්වීම හා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට විරෝධතාකරුවන්ට ඇති අයිතියද පෙන්වා දෙයි. සාමකාමී පෙළපාලිකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම හෙළාදකින බවත් මානව හිමිකම් සහ නීතියේ අධිපත්‍ය ආරක්‍ෂා කිරීම අත්‍යවශ්‍ය බවත් එම සංගමය සිය නිවේදනයෙන් අනාවරණය කර ඇත. එමෙන්ම රටේ ආර්ථිකය තිරසාර මාවතකට ගෙන ඒම සඳහා ව්‍යුහාත්මක වැඩපිළිවෙළක් අවශ්‍ය බවද තවදුරටත් පෙන්වා දී තිබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment