සාමකාමී සටන්කරු ස්ටාලින් දඩයම් කරලා – විපක්‍ෂ නායක

96

“සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් දඩයම් කොට ඇතුළට දැමීමටත්, වර්තමානයේ පවත්නා හිංසාකාරී මර්දනයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ මහතා නිදහසේ එළියේ සිටීමටත් හේතුව කුමක්ද කියා මා ප්‍රශ්න කරනවා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (4 දා) පැවසීය.

“වැඩ කරන ජනතාව වෙනුවෙන් මෙන්ම ගුරු පරපුර වෙනුවෙන් ද අරගල කළ ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන සිටියදී, මර්දනයේ පීතෘවරයා වන මහින්ද රාජපක්ෂ මහතා සුවසේ කල් ගත කරමින් සිටිනවා” යැයි ද ඒ මහතා පැවසීය. මනුෂ්‍යත්වයේ නාමයෙන් රට ගැන සිතා එකට එක්ව කටයුතු කළ යුතුයි. අත්තනෝමතික ලෙස දේශපාලන දඩයමේ යෙදීම හෙළා දකිනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදය වහාම නතර කරන කියා අපි කියනවා” යැයි ද විපක්ෂ නායකවරයා කීවේය.

මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා බැලීමට ඊයේ (04) කොළඹ කොටුව පොලිසිය වෙත ගිය අවස්ථාවේ විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවේ මේ බව පැවැසීය.

ඕනෑම පුරවැසියෙකුට තමන් දරන මතය වෙනුවෙන් ඉදිරිපත් වීමටත්, පෙනී සිටීමටත්, කතා කිරීමටත්, රැස්වීමටත්, සාමකාමීව විරෝධතා දැක්වීමටත්, අයිතියක් ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රචණ්ඩත්වයෙන් තොර ඕනෑම අරගලයකට ඇති අයිතිය කිසිවෙකුටත් උල්ලංඝනය කළ නොහැකි යැයි ද පැවසීය. ජෝසප් ස්ටාලින් මහතා තමන්ට හිමි අයිතිය රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පාවිච්චි කළ බවත්, එකී අයිතියට විරුද්ධ වන්නට කිසිවකුට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment