සාමණේර හිමිවරුන් හැට නමකගේ පාස්පෝර්ට්වලට පමණක් සීමාවූ කුෂිනගර් චාරිකාව

264

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ මේ වන විට විවෘත කොට අවසන්ය. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ‍්‍රී මෝදි මහතා විසින් ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව එම සුවිශේෂී අවස්ථාව නියෝජනය කිරීම පිණිස මෙරට ත්‍රෛනිකායික අනු නායක හිමිවරුන් ප‍්‍රමුඛ සංඝයා වහන්සේලා අනුපස් නමක් ඉකුත් මස විසි වන දින ඉන්දියාවේ කුෂි නගර් බලා ගුවනින් වැඩම කළහ. උන් වහන්සේලා රැගත් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉකුත් මස විසි වන දින උදෑසන 5.30 පමණ මෙරටින් පිටත්ව යන අතර නමියසබ්ට්ර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිල වශයෙන් විවෘත වනු ලබන්නේ එම ගුවන් යානය සුබ මොහොතින් කුෂිනගර් ගුවන් තොටුපොළට ළඟා වීමෙන් අනතුරුවය. මෙරට මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ද සහභාගී වූ එම විවෘත කිරීමේ උත්සවය පිණිස ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ‍්‍රී මෝදි මහතාගේ සහභාගිත්වය ද හිමි වී තිබීම එම උත්සවයේ පැවති තවත් විශේෂත්වයක් විය.

දෙරටේ බෞද්ධ ජනයාට අතිශය වැදගත් එම විවෘත කිරීමේ උත්සවය එරට මෙන්ම මෙරට ජනතාවට ද රූපවාහිනී තිර ඔස්සේ දැකබලා ගැනීමට අවස්ථාව හිමි වූහ. සිත් පහන් කරවන එම අසිරිමත් සිදුවීම් පෙළ නැරඹූ මෙරට දස දහස් සංඛ්‍යාත පිරිස අතර කඳුළු පිරි දෙනෙතින් එම රූපරාමු නැරඹූ කුඩා සාමණේර හිමිවරුන් පිරිසක් ද වූහ. එතෙක් දිනක් උන් වහන්සේලා පුන පුනා බලා සිටි එම ගුවන් ගමන තමන්ට අහිමිව යෑමේ ශෝකය උපේක්ෂාවෙන් විඳ දරා ගත් උන්වහන්සේලා මේ වන තුරුත් නොදන්නා කරුණු බවට පත්ව ඇත්තේ තම තමන් සහභාගි වීමට නියමිතව තිබූ ”කුෂිනගර් ගුවන් ගමනට” සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව පමණය.

මෙම සිදුවීම සම්බන්ධව අදහස් දැක් වූ මෙරට විහාරස්ථාන කීපයක විහාරාධිපති හිමිවරුන් කීප නමක් සඳහන් කර සිටියේ තමන් වහන්සේලා සමීපයේ වැඩ වාසය කරන කුඩා සාමණේර හිමිවරුන් පිරිසක් වෙත හිමිවීමට නියමිතව තිබූ එම අනගි අවස්ථාවක් කුමන හේතුවක් මත හෝ නොසිතූ අයුරින් මඟ හැරී යෑමක් සිදුවී ඇති බවත් එම අපේක්ෂාභංගත්වය විසින් කුඩා සාමණේර හිමිවරුන් තුළ ඇති කරන ලද මානසික කම්පනය මේ වනතෙක් පහව නොගොස් ඇති බවත්ය. උන් වහන්සේලා සඳහන් කර සිටින ආකාරයට සිදුවීම පෙළ ගැසෙන්නේ පහත සඳහන් ආකාරයෙන්ය.

සාමණේර හිමිවරුන් හැට නමකගේ පාස්පෝර්ට්වලට පමණක් සීමාවූ කුෂිනගර් චාරිකාව

ඉකුත් සිංහල අලූත් අවුරුද්ද උදාවීමට දින කිහිපයකට පෙර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීම මත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බෞද්ධ කටයුතු සමායෝජකවරුන් විසින් ඒ ඒ ප‍්‍රදේශවල ශාසනාරක්ෂක බල මණ්ඩල ලේඛකාධිකාරී හිමිවරුන් දුරකථන මාර්ග හා සම්බන්ධ කරගනිමින් සඳහන් කර සිටින්නේ අපේ‍්‍රල් මස 27 වන දින ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමේ නිල උත්සවය පිණිස සාමණේර හිමිවරුන් හැටනමක් ඇතුළු මහා සංඝරත්නය සියක් නමක් එහි වැඩම කරවීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා දිස්ත‍්‍රික්කයකට සාමණේර හිමිවරුන් දෙනම බැගින් නම් කර එවන ලෙසත්ය. ඒ සඳහා සුදුස්සන් තෝරාගැනීමේ දී නිර්නායකයන් කිහිපයක් ද දෙපාර්තමේන්තුව මඟින් යෝජනා කොට තිබී ඇත. ඊට අමතරව මෙම සංචාරය පිණිස තෝරාගන්නා සාමණේර හිමිවරුන්ගේ මව හෝ පියාට ද එම සංචාරය සඳහා අවස්ථාව හිමිවන බවත් ඒ සඳහා අවශ්‍ය විදේශ ගමන් බලපත‍්‍රය ඔවුන් විසින් සකසා ගත යුතු බවත් එම කටයුතු සිංහල අලූත් අවුරුද්දට පෙර සම්පූර්ණ විය යුතු බවත් එහිදී දෙපාර්තමේන්තුව මඟින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ක‍්‍රියාත්මක වන ශාසනාරක්ෂක බලමණ්ඩල ලේඛකාධිකාරී හිමිවරුන් ඊට පසුදිනම නියමිත ක‍්‍රමවේදයට අනුව දන්වන ලද නිර්ණායකයන්ට යටත්ව ඒ ඒ ප‍්‍රදේශවලින් තෝරාගත් සාමණේර හිමිවරුන්ගේ නාමලේඛනයක් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට කටයුතු කර ඇත. රටම ආවරණය වන පරිදි වයස අවුරුදු 15ත් 20ත් අතර සාමණේර ස්වාමීන් වහන්සේලා හැට නමක් ඉන්දීය සංචාරය පිණිස සූදානම් වන්නේ ඉන් අනතුරුවය. ගුවන්තොටුපළ විවෘත කිරීමේ නිල උත්සවයට දින කිහිපයකට පෙර කරන ලද එම දැනුම් දීමට අනුව විදේශීය ගමන් බලපත‍්‍ර සකස් කිරීමේ එක්දින සේවාවට එක්වන උන්වහන්සේලා එම කටයුතු ද නිසි වෙලාවට සම්පූර්ණ කර ගැනීමට සමත් වන්නේ විවිධ ආර්ථික දුෂ්කරතා මැදය.

එවැනි සූදානමක් පවතින වටපිටාවක ඉන්දියාව පුරා කොවිඞ් වසංගතය බරපතළ ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් අපේ‍්‍රල් මස 27 දිනට නියමිතව තිබූ විවෘත කිරීමේ නිල උත්සවය අවලංගු කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇත. සංචාරය සඳහා සුදුසුකම් ලද සාමණේර ස්වාමීන් වහන්සේලාගේ ඉන්දියානු සංචාරය ද ඒ අනුව දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත. එහෙත් කුමන මොහොතක හෝ උදා වීමට නියමිත ඉන්දියානු සංචාරය පිළිබඳව උන්වහන්සේලා නිරන්තර විමසිල්ලෙන් පසුවී ඇත. එපමණක් නොව ඒ පිළිබඳව වරින් වර තම විහාරාධිපති නායක හිමිවරුන්ගෙන් විමසා සිටීමටත් එවැනි රාජ්‍ය තාන්ත‍්‍රික සංචාරයක් පිණිස පුරුදු පුහුණු වීමටත් කටයුතු කර ඇත. ඈත දුර බැහැර වෙහෙර විහාරස්ථානවල වැඩ වාසය කරන උන් වහන්සේලා වඩාත් සතුටු වූ කරුණු බවට පත්ව ඇත්තේ මෙම ඉන්දියානු සංචාරය පිණිස තම මව හෝ පියා ද සහභාගී කරවා ගැනීම පිණිස බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබීම පිළිබඳවය. තමන්ට පමණක් නොව තමන් හැදූ වැඩූ දෙමාපියන්ට ද එවැනි නිල උත්සවයකට සහභාගී වීමේ දුර්ලභ අවස්ථාව උන් වහන්සේලා විසින් සලකන ලද්දේ මහත් භාග්‍යයක් කොටය. කාලය දින, සති, මාස බවට පත්වෙමින් තිබී ඇත. ඒ අතර විහාරාධිපති හිමිවරුන් විසින් අදාළ සංචාරය පිළිබඳව වරින් වර බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව අමතමින් විමසීම්, සිහි කැඳවීම් ආදිය සිදු කරනු ලබන්නේ තම සාමණේර හිමිවරුන් පිණිස උදා වූ විදේශ සංචාරය පිළිබඳ කුමන හෝ තොරතුරක් දැනගැනීම පිණිසය. එහිදී බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නැවත නැවතත් සඳහන් කර සිටින්නේ කොවිඞ් තත්ත්වය පහව යෑමත් සමඟ ඒ සඳහා සුදුසුකම් ලද සාමණේර හිමිවරුන්ගේ සහභාගිත්වය ද ඇතුව කුෂිනගර් ගුවන් ගමන සිදුවන බවත්ය. වෙසක්, පොසොන්, ඇසළ පොහොය දිනයන් පසුවිය. වප් පුර පසළොස්වක දිනය යෙදී තිබුණේ ඉකුත් මස 20 වැනි දිනය. එදින මෙරට විද්‍යුත් මාධ්‍ය මගින් වැඩි බරක් තබා තිබුණේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කරන ආකාරයත් ඒ සඳහා මෙරටෙන් වැඩම කරන ලද මහා සංඝරත්නය සියක් නමක් සහභාගි වී තිබෙන ආකාරයත් වාර්තා කිරීම පිණිසය. එම දර්ශන පෙළ හොඳින් දැක බලා ගත් පිරිස අතර එම සංචාරය පිණිස ඇඟිලි ගැන ගැන සිටි කුඩා සාමණේරවරුන් හැටනම ද වූහ. බුදු දහමෙන් ලත් ශික්ෂණය හේතුවෙන් සියල්ල උපේක්ෂාවෙන් දරා ගැනීමට උන්වහන්සේලාට හැකි වුවද මේ සම්බන්ධව අදහස් දක්වන බොහෝ දෙනෙක් සඳහන් කර සිටින්නේ කුඩා සාමණේරයන් වහන්සේලා ගේ මනස තුළ ”ගුවන් ගමනක්” පිළිබඳ බලාපොරොත්තු ඇති කොට එය සිහිනයකට පමණක් සීමා කිරීම ශාසනික පාපයක් බවත් එහි වරද බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් භාර ගත යුතු බවත්ය.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මෙරට තුළ ස්ථාපිත කරනු ලබන්නේ පුළුල් පරමාර්ථයන් රැසක් මුදුන් පත් කර ගැනීමේ අරමුණින් යුක්තවය. බොදු පිළිවෙත් සුරකින දැහැමි සමාජයක්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය, ප‍්‍රවර්ධනය, උන්නතිය සඳහා වන කාර්යයක් හා කර්තව්‍යයන් මැනවින් සංවිධානය කොට ක‍්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තුව සතු කාර්ය භාරයන් අතර වඩාත් වැදගත් අංගයන්ය.

ඒ අනුව යමින් සාමණේර ස්වාමීන් වහන්සේලා හැට නමක් පිණිස සංවිධානය කරනු ලබන විදේශ සංචාරය සැලසුම් කරනු ලබන්නේ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් බව ඉහත සඳහන් තොරතුරුවලින් මනාව පැහැදිලිය. එසේම එය මුළුමනින්ම අසාර්ථක සංවිධාන කටයුත්තක් බව සනාථ කිරීම පිණිස ද ඉහත සඳහන් කරුණු ප‍්‍රමාණවත්ය. ඒ සඳහා කාලයත් මුදලත් නාස්ති කරන ලද හැට නමක් වූ සාමණේරයන් වහන්සේලා සහභාගීවූ ”කුෂිනගර් ගුවන් ගමනක්” ද නැත. එසේ නම් සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව යම් හෝ අවබෝධයක් ලබාගත හැකි වන්නේ මෙම සිදුවීම සම්බන්ධව අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවන ”ප‍්‍රමාණයට” අනුවය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment