සාමදානයේ සැතපෙන දුප්පතාගේ වෛද්‍යවරයා…

362

ඔබට ව්‍යාපාරිකයකු ලෙසින් ධනය උපයන්න අවශ්‍ය නම් කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙන්න. වෛද්‍ය වෘත්තියේ යෙදෙනවා නම් මුදල් නොව, සේවය ගැන සලකන්න..

මොහමඞ් මෂාලේ වෛද්‍යවරයකු ලෙසින් පුහුණුව ලබන කාලයේ දී ලැබුණ අවවාදය එයයි. 1967 වසරේ ඔහුගේ ගුරුවරයා ලබාදුන් අවවාදය එයයි. වෛද්‍ය මෂාලේ ගුරුවරයාගේ අවවාදය වචනයේ අරුතින්ම ඉටු කළ නිසා ඔහු අද හැඳින්වෙන්නේ ‘‘දුප්පතුන්ගේ වෛද්‍යවරයා ’’ යන විරුදාවලියෙන් වීම සැබෑ වූ සිහිනයක් නොවන්නේද…?

ඊජිප්තුවේ බෙහිරා ප‍්‍රදේශයේ ‘‘ අල් තම්සා ’’ ගම්මානයේ උපත ලද මොහමඞ් මෂාලේගේ පියා ගුරුවරයෙක් විය. වෛද්‍ය උපාධිය ලත් මාෂාලේ එයින් අනතුරුව කසර් අල් අයිනි විශ්වවිද්‍යාලයෙන් අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාව, ළමා රෝග හා උණ රෝග පිළිබඳ විශේෂඥ උපාධිය ලබාගත්තේය. ගාර්බියා ප‍්‍රදේශයේ ග‍්‍රාමීය සෞඛ්‍ය අංශයට පත් වූ අතර 2004 වසර වෙන තෙක් මෙම රෝහලේ අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කළ අතර එතැනින් පසුව ‘‘සයිඞ්’’ වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ තනතුරට උසස් විය.

1975 වසරේ මාෂාලේ විසින් ‘‘ටන්ටා ’’ ප‍්‍රදේශයේ සිය පෞද්ගලික සායනය ආරම්භ කළේය. වෙනත් වෛද්‍යවරුන් රෝගියකුගේ ප‍්‍රතිකාර වෙනුවෙන් ඊජිප්තු පවුම් පනහක මුදලක් අය කරද්දී මෂාලේ වෛද්‍යවරයා අය කරනු ලැබුවේ පවුම් පහක මුදලකි. ගුරුවරයාගේ අවවාදයට අනුව යමින් ඉතාම සාධාරණ මිලකට ප‍්‍රතිකාර කළත් මෙම සායනයේ දී මෂාලේ වෛද්‍යවරයා ලත් එක්තරා දුක්බර අත්දැකීමක් නිසා ම ඔහු එතැන් පටන් රෝගීන් වෙනුවෙන් නොමිලයේම ප‍්‍රතිකාර කිරීමට තීරණය කරන ලදී.

වයස අවුරුදු දහහතරක පමණ කුඩා පිරිමි දරුවෙක් ඔහුගේ මව සමග වෛද්‍ය මෂාලේ වෙතට පැමිණියේ දියවැඩියා රෝග තත්ත්වයට ප‍්‍රතිකාර ගැනීමටයි. ප‍්‍රතිකාරවලින් පසුව ඔහු තම මවට කියා සිටියේ අම්මේ මට අමාරුයි ඉන්සියුලින් විද ගමු.. එහෙත් මව ඊට එකඟ නොවීය.

පුතේ ඉන්සියුලින් විද ගත්තොත් නංඟිට ,මල්ලිට කන්න දෙන්න සල්ලි මදි වේවි… පිරිමි දරුවා ඉන්සියුලින් ලබා නොගෙන එතැනින් පිටව ගියේය.

ටික දිනකින් වෛද්‍ය මෂාලේට දැනගන්න ලැබුණේ වේදනාව ඉවසාගත නොහැකි මේ දරුවා සිය දිවි හානිකර ගැනීමට වස පානය කළ බවයි. වෛද්‍යවරයා ඔහු සොයා ගෙන ගියත් දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වූයේ නැත.

ඒ සමග මේ දරුවා විසින් ලියන ලද ලිපියක් හමු විය එහි සටහන්ව තිබුණේ..

අම්මේ..දැන් මට බෙහෙත් ගන්න වෙන්නේ නැහැ.ඒ සල්ලිවලින් නංඟිට ,මල්ලිට කන්න…මේ එක් සිදුවීමක් පමණි. අප නොදැනීම මෙවැනි දුෂ්කර ජීවිත ගෙවන රෝගීන් ගැන වාර්තාවන් අපට නො ලැබෙනු ඇත.

වෛද්‍ය මෂාලේ රෝගීන්ට නොමිලයේම සේවය කිරීමට තීරණයක් ගත්තේ එදිනයි.එතැන් පටන් මියයන තෙක්ම ඔහු රෝගීන්ට නොමිලයේ ප‍්‍රතිකාර ලබාදෙන ලදී. වරක් ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරුණ පරිත්‍යාගශීලියකුගෙන් පවුම් 80ක් වටිනා වෙදනළාවක් පමණක් පිළිගත්තේය. රූපවාහිනී නාළිකා කීපයකින් ඔහුගේ සත්කාර්ය වෙනුවෙන් ආධාර ලබා දී තිබේ.

වෛද්‍ය මෂාලේ අභාවප‍්‍රාප්ත වෙනවිට ඔහුගේ වයස අවුරුදු 76කි. ඔහු වෙනුවෙන් සමාජ ජාලායන්හි සිය දහස් ගණනින් පණිවිඩ තබා ඇත.

ජීවිතයේදී ජීවත්විය යුතු බව ඔබ අපට කියා දුන්නා.. ජීවිතයට අර්ථයක් ඇති බව විශ්වාස කළ ඔබ අපේ ජීවිතයටත් අර්ථයක් ලබා දුන්නා. හොඳ සාරධර්ම පතුරුවා හැරීම ගැන ස්තුතියි..

සාමාදානයේ සැතපෙන්න…

අල් ජසීරා පුවත්
පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment