සාමූහික වගකීම!

1030

කෙරවළපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතළිහක කොටස් නිව් ෆෝට‍්‍රස් එනර්ජි නමැති ඇමරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහකට පක්‍ෂපාතී වන ලෙසින් රජයේ කැබිනට් ඇමැතිවරු තිදෙනෙක් විරෝධතා

ගොනුකර ඇත්තාහ. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ද නම්කර ඇති වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මෙලෙස විරෝධතා ගොනුකර ඇති ඇමැතිවරුන් තිදෙනාය.

රජයේ ක‍්‍රියාදාමයකට එරෙහිව එම රජයේම ඇමැතිවරුන් තිදෙනකුම අධිකරණය හමුවේ විරෝධතා ගොනුකිරීම මීට පෙර නොවූ විරූ සිද්ධියකි. ඇමැතිවරුන් තිදෙනාගේ විරෝධතා ගොනුකිරීමත් සමඟ පොදු ජනයා අතර ප‍්‍රශ්නාවලියක් ඇතිවීම වැළැක්විය නොහේ. රජයේ පාර්ශ්වයෙන් කියා සිටින පරිදි යුගදනවි සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කතාබහට ලක් වී ඇති මේ ඇමැතිවරුන් තිදෙනාගේ සාමූහික වගකීමට අත්වන ඉරණම කුමක්ද? අමාත්‍ය මණ්ඩල සාමාජිකයකු සතු සාමූහික වගකීම ව්‍යවස්ථාවේම දක්වා ඇත්තේය.

දිවංගත පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ සඳහා මූලිකව කටයුතු කළ ඇතුලත්මුදලි ඇමැතිවරයා ප‍්‍රධාන මැති ඇමැතිවරුන් කීපදෙනෙකුගේ ඇමැතිකම් අහෝසි කිරීමට එරෙහිව අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී ඔවුන්ට එරෙහිව ගොඩනැගුණු මූලික තර්කය වූයේ ද අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීමෙන් තොරවීමයි.

ඇමැතිවරුන් තිදෙනාගේ විරෝධතා අනුව යුගදනවි වලට සම්බන්ධව මුදල් ඇමැතිවරයා කිසිදු අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති අතර ඒ පිළිබඳ කරුණු සම්මත වීමක් සිදුවී නැත. ඉදිරිපත් නොවූ පත‍්‍රිකාවක් සම්මත වීම කොහෙත්ම සිදුවිය නොහැකිය. ප‍්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබියදී ටෙන්ඩර් ලංසුවක් ඉදිරිපත් නොකළ සමාගමකට ටෙන්ඩරය ලබාදීම නීතියට පටහැනි බව ද ටෙන්ඩරයෙන් ඉල්ලා ඇති ගෑස් කළමනාකරණය සම්බන්ධයෙන් එම සමාගමට කිසිදු ඉතිහාසයක් නොමැති බව ද පෙන්වාදෙන විරෝධතාකරුවෝ (විරෝධය දැක්වීම කුමනාකාරයෙන් සිදුවුවද ඔවුහු විරෝධතාකරුවෝ වෙති.) ඔවුන් වෙත රටේ ගෑස් කළමනාකරණය භාරදීම රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් බවද කියා සිටිති.

පෙත්සම් විභාගයේ වගඋත්තරකරුවන් ලෙසින් නම්කර සිටින අගමැති මහින්ද රාජපක්‍ෂ ඇතුළු සෙසු ඇමැතිවරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින අතර, එම ඇමැති මණ්ඩලයේම සාමාජිකයන් වන පෙත්සම් විභාගයේ වගඋත්තරකරුවන් වන විරෝධතා ඇමැතිවරුන් තිදෙනා වෙනුවෙන් නීතිපති නියෝජනයක් සිදු නොවන හෙයින් පෞද්ගලික නීතිඥ නියෝගයකින් කරුණු දැක්වීම සිදුකර ඇත.

රජයේ ප‍්‍රධාන නීති උපදේශකයා වන නීතිපතිවරයාගේ නඩු විභාගවලදී රජයේ පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටීම අභිමත පරිදි සිදුවන්නකි.

වාසු, විමල් හා උදය යනු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ හවුල්කාර පක්‍ෂ නියෝජනය කරන ඇමැතිවරුන් තිදෙනෙකි. ඔවුහු විපක්‍ෂයේ සිටියදී මෙන්ම ආණ්ඩුව නියෝජනය කරමින් ද සමාජයේ කථාබහට ලක්වන අයුරින් දේශපාලනය කිරීමට ඉහළ සමාර්ථයක් දරනු ලබන්නෝ වෙති. ආණ්ඩු පක්‍ෂයේ පොදුජන පෙරමුණු පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ පල නොකියා පලා බෙදීමකට ද හසුව ඇති මෙකී ඇමැතිවරුන් තිදෙනා කට්ට කාගෙන ගේමක් දෙන්නේ නිකමකටම නොවේ’ යැයි කෙනෙකු හැඟීමක් ඇතිකර ගන්නේ ඔවුන්ගේ පූර්වාපර සන්ධි ගැළපීම් අනූවය.

ජනතාව අතර ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසනීයත්වය පිළිබඳව යළි සිතා බැලීමක් ද මෙම විරෝධතා ගොනුකිරීම තුළින් මතුවීම වැළැක්විය නොහැකිය. එනම් යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් නිවැරදි දේ කියා සිටින්නේ කවුද? යන්න පළමුවෙන් පැනනගින ප‍්‍රශ්නය වන්නේය. මෙයාකාරයෙන් රටට එකක් කියා ඇතුලෙ වෙන දෙයක් සිදු වූ ‘පත‍්‍රිකා’ හා ‘සම්මතවීම්’ තව කොපමණ ඇතිද යන්න මේ සමඟ පැන නගින ‘පිළිතුරක් නැති ප‍්‍රශ්නයක්’ ද වන්නේය.

ඇමැතිවරුන් තිදෙනකු මෙසේ ක‍්‍රියාකරන විට ආණ්ඩුවට සම්බන්ධ අනෙක් මැති ඇමැතිවරුන් ගැන ද ජනතාව අතුරින් විවිධාකාරයේ මති මතාන්තර, ප‍්‍රකාශ මතුවීම ඉබේ සිදුවන්නකි. රටේ ප‍්‍රධාන මර්මස්ථානයකට අත්වන ඉරණම සම්බන්ධයෙන් වාසු, විමල්, උදය තුන්කට්ටුව මෙසේ කටයුතු කරද්දී අනෙක් මැති ඇමැතීන් වගේ වගක් නැතිව සේ සිටින්නේ ආණ්ඩුවේ සාමූහික වගකීම මත ද නොඑසේ නම් ජාමය බේරා ගැනීමේ පෞද්ගලික වගකීම මත ද යන්න දන්නේ ඔවුන්ම පමණි. යුග දනවි කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම මෙන්ම රටේ ජාතික සම්පත් විජාතිකයන්ට ‘පැවරීම’ කවර ආකාරයෙන් කළද ඊට එරෙහිව නැගෙන දේශපේ‍්‍රමි ජනමතත් සමග අපිද සිටගන්නෙමු. මන්ද මාතෘ භූමිය අපට පළමු කොටම වටිනාම සම්පත වන හෙයිනි.

advertistmentadvertistment
advertistmentadvertistment