සායන නවතී: රෝගීන් 3000 ක් හිස් අතින් හැරී යති

81

පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සායනවලින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඊයේ (29දා) පැමිණි රෝගීන් 3000කට අධික පිරිසකට ප්‍රතිකාර නොලැබ හිස් අතින් ආපසු යෑමට සිදු වූ බව අනාවරණය වෙයි.

ඊයේ පොලොන්නරුව මහ රෝහලේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂඥ සායන ගණනාවක් නොපැවැත්වීම නිසා මෙසේ තමන්ට ප්‍රතිකාර නොලබා යෑමට සිදු වූ බව එම රෝගීහු පැවැසූහ. මෙසේ ප්‍රතිකාර නොලබා හිස් අතින් නිවෙස් බලා යෑමට සිදු වූ රෝගීන් අතර වැලිකන්ද, දිඹුලාගල, අරලගංවිල, දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ආදී ප්‍රදේශවලින් පැමිණි රෝගීන්ද සිටි බව දැනගන්නට ලැබිණි. තමන් නිවෙස්වල සිට රෝහලට පැමිණියේ අලුයම 4.00ට 5.00 පමණ බවද එම රෝගීහු ප්‍රකාශ කළහ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් අපහසුතාවට පත්වන අන්දමට රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන ඊයේ නොපැවැත්වූයේ මන්දැයි පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් ගුණතිලක මහතාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සඳහා ලබාදෙන පුහුණුවීම් කටයුතු වෙනුවෙන් දින දෙකක් පොලොන්නරුව මහ රෝහලේ පහසුකම් සැලසීමට සිදුවීම නිසා එම දිනවල පැවැත්වීමට තිබූ වෛද්‍ය සායන කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බවයි. එසේ වුවද අත්‍යවශ්‍ය වෛද්‍ය සායන කිහිපයක් ඊයේ පැවැත්වූ බව ද ඒ මහතා කීය.

එමෙන්ම ඊයේ පැවැත්වීමට නොහැකිවූ සායන සම්බන්‍ධයෙන් ඊට පෙර සායන පැවැති දිනවලදී රෝහල මගින් රෝගීන් දැනුම්වත් කර ඇති අතර වෙනත් ආසන්න දිනයක එම වෛද්‍ය සායන පවත්වන බව එම පූර්ව දැනුම් දීමේදී කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

වෛද්‍යවරුන් පුහුණු කිරීමේ මෙවැනි වැඩසටහන් පොලොන්නරුව මහ රෝහලේ පමණක් නොව දිවයිනේ වෙනත් මහ රෝහල්වල ද පවත්වන බව නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment