සාරධර්ම පිරිහෙන  සමාජයක පැවැත්ම – පොසොන්  පෝය අදයි

2953

පවුල තුළ මවගේ යුතුකම්, පියාගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම්, වැඩහිටියන්ට සැලකීම, එකිනෙකාට ආදර්ශමත්වීම හා එකමුතුකම කොතරම් දුරට පවතීද යන්න අප විමසා බැලිය යුතු වේ. මහ රෑ වන තුරු රූපවාහිනි නරඹා නින්දට වැටීමෙන් උදේට පාසල් යන දරුවාට ගෙනයාමට ආහාර පිළියෙල කිරීම මඟහැරෙන මව් වරුන් අප සමාජයේ කොතෙකුත් සිටී. දියණියන් ඉක්මවා අසංවර විලාසිතාවන් වැළඳගත් මව්වරු සිටිති.

සංස්කෘතිය හා සදාචාරය පිරිහුණු තැනක භෞතික සංවර්ධනයට ද පැවැත්මක් නැත. ඒ බව අපි පසුගියදා අත්දුටුවෙමු. භෞතික දේ සතුටින් අත්විඳිය හැක්කේ ද සමාජයේ ඇති හර පද්ධතියේ පැවැත්ම මතය. සිරිත් විරිත්, නැතිවිට අප විඳින්නේ සංතාපයය. ලබන්නේ පරිහානියය.

 මහින්දාගමනයෙන් ලද දැනුමෙන් හා ශික්ෂණයෙන් අප ලැබූවේ සන්තෘෂ්ඨියෙන් යුතු සමාජයක පැවැත්ම ය. එනිසාම අතීත චාරිත්‍ර වාරිත්‍ර විමසා බලන්නට මෙවර පොසොන් සමය සුදුසුම අවස්ථාවකි.

 මහින්දාගමනයට පෙර ලෝක ධර්මතාවය මත හෝ සදාචාරය මත අපේ සමාජයට ගුණ ධර්ම පිළිබඳ අවබෝධයත් තිබුණත් වඩා විධිමත් සමාජ සැකැස්මක් ගොඩනැගෙන්නේ බුදු සමය මෙරට ස්ථාපිත වීමත් සමඟය. රාජකීයයන් බුද්ධාගම වැළඳගැනීමත්, බුදු දහම රට පුරා ව්‍යාප්තවීමත් සමඟ මෙරට සමාජය භික්ෂූ භික්ෂුණී උපාසක උපාසකා යන සිව්වනක් පිරිස බවට පත්වීමෙන් පසු පංසිල්, දසසිල් ආදී වශයෙන් ගුණධර්ම පුරුදුවීමත් බුද්ධ දේශනාවල පෙන්වාදෙන යුතුකම් වගකීම් ආදිය වටහාගැනීමත් නිසා ලාංකීය සමාජයේ නව සිරිත් විරිත් පද්ධතියක් ගොඩනැගිණි.

 සිඟාලෝවාද සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ අන්‍යෝන්‍ය ගරුත්වය, ගෘහ ආර්ථිකය මනාව සංවිධානය කරගැනීම ආදී දර්ශනයන් ය. සදිසා නමින් සමාජය කොටස් හයකට බෙදා දැක්වෙන ඒ ඒ සමාජ කණඩායම් අතර අන්‍යෝන්‍ය පැවැතිය යුතු සාරධර්ම පැහැදිලිකර ඇත.

 නැගෙනහිර දිසාව-මවුපියන්, දකුණු දිසාව-ගුරුවරුන්, බටහිර දිසාව-පුත්‍ර දාරාවන්, උතුරු දිසාව-හිත මිතුරන්, යට දිසාව-සේවක සේවිකාවන්, උඩ දිසාව පැවිදි උතුමන් වශයෙන් වන්දනාව සඳහා යොදගන්නා ලෙස කර ඇති දෙසුමන් වලින් සමාජයට දෙන පණිවුඩය සමාජයේ සහජීවනයයි. අන්‍යයන්ගේ අයිතියට ගරු කිරීමය. යුතුකම් ඉටුකිරීමය. ඒ ඒ සමාජ කොටස් අතර විශ්වාසය රැකගැනීමය. පරාභව සූත්‍රයෙන් පුද්ගලයා පිරිහෙන කරුණු අර්ථවත් කර අති අතර නොකළයුතු දේ අර්ථවත් කෙරේ.

 “ඉත්ථිධුත්තෝ සුරාධුත්තෝ – අක්ඛධුත්තෝ ච

 යෝ නරෝ ලද්ධං ලද්ධං විනාසේතිතං – පරාභවතෝ මුඛං “

 (ස්ත්‍රින්ට, මත්වතුරට මෙන්ම සූදුවට ලොල් වීම විනාශ මුඛයකි.) ආදී වශයෙන් පුද්ගලයා විනාශ වන කරුණු රාශියක් පරාභව සූත්‍රයෙන් කියා ඇත. ධම්මපදය, සූත්‍ර දේශනා, බුද්ධ චරිතය, ජාතක කථා සහ බුද්ධ දේශනා ආදිය පුරාම පුද්ගල ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය අවාවද අනුශාසනා, උපදේශ, උදාහරණ සහ ආදර්ශ පවතී. අතීත සමාජය මේ දහම් මඟ ඔස්සේ චාරිත්‍ර වාරිත්‍ර ගොඩනගාගෙන තිබුණි. එම චාරිත්‍ර වාරිත්‍ර පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වාද රජුගේ සිට යාචකයා දක්වාද බැඳුණු සිරිත් විරිත් විය. අතීත සමාජය මෙන්ම එම සමාජයේ සාමාජිකයා ද සුරක්ෂිත වූයේ මේ ධර්මතාවලට ගරුකිරීම නිසාය.

 අධිරාජ්‍යවාදීන්ට යටත්වී සිටීම, බටහිරකරණය, නාගරීකරණය, තාක්ෂණය, ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, වාණිජකරණය, දේශපාලන බලය, බාල රසිකත්වය, අසමතුලිත අධ්‍යාපනය, විශ්ව ගම්මාන සංකල්පය, විවෘත ආර්ථික ක්‍රමය, අධික තණ්හාව, කාර්ය බහුලත්වය සහ අන්ධානුකරණ සංවර්ධනය ආදී සාධක නිසා අප සමාජයේ හර පද්ධතිය සීඝ්‍රයෙන් සෝදාපාළුවී ගොස් ය.

 එම සාරධර්ම පිරිහීම
 පුද්ගලයා තුළ සාරධර්ම පිරිහීම
 පවුල තුළ සාරධර්ම පිරිහීම
 සමාජය තුළ සාරධර්ම පිරිහීම

 වෘත්තීයභාවය තුළ සාරධර්ම පිරිහීම
 පාරිසරිකව සාරධර්ම පිරිහීම
 ආගම දහම තුළ සාරධර්ම පිරිහීම
 පාලන තන්ත්‍රය තුළ සාරධර්ම පිරිහීම

 ආදී වශයෙන් අංශ රැසක් ඔස්සේ හඳුනාගත හැක.

 පුද්ගලයා තුළ ඇති සාරධර්ම පිරිහීම මූලිකවම හඳුනාගත හැක්කේ ප්‍රතිපත්ති ගරුක නොවීම ලෙසය. පන්සිල් නොරැකීම හා රටේ නීතියට ගරු නොකිරීමත් සදාචාරයට පටහැනිව වැඩකිරීමත් ඒ තුළ දැකිය හැක. එනම් සොරකම, වංචාව, සත්ව ඝාතනය, සුරාවට ඇබ්බැහිවීම හා අනාචාරයේ යාම ඒ අතර ප්‍රකටය. නොකළ යුතු වෙළෙඳාම් කරන අය අපමණය. අවේලාවේ ගමන් බිමන් නිසා සිදුවන හානි නිතර වාර්තාවේ. පවුලේ යුතුකම් ඉටු නොකර සමාජ ශාලාවල, සම්බාහන මධ්‍යස්ථානවල, අවන්හල්වල හා සාදවල කල්ගෙවන හා ඒ නිසා පිරිහීමට පත් පුද්ගලයන් සමාජයේ කොතෙකුත් සිටි.

 පවුල තුළ මවගේ යුතුකම්, පියාගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම්, වැඩහිටියන්ට සැලකීම, එකිනෙකාට ආදර්ශමත්වීම හා එකමුතුකම කොතරම් දුරට පවතීද යන්න අප විමසා බැලිය යුතු වේ. මහ රෑ වන තුරු රූපවාහිනි නරඹා නින්දට වැටීමෙන් උදේට පාසල් යන දරුවාට ගෙනයාමට ආහාර පිළියෙල කිරීම මඟහැරෙන මව් වරුන් අප සමාජයේ කොතෙකුත් සිටී. දියණියන් ඉක්මවා අසංවර විලාසිතාවන් වැළඳගත් මව්වරු සිටිති.

 සමාජයක් ලෙස ගත් කළ විවිධ භේද, අසමානතා, වර්ගවාදය, අනාරක්ෂිතභාවය, දේශද්‍රරෑහීභාවය, වෛරී සිතුවිලි,දේශාපාලන කැළඹිලි, නීතිගරුක නොවීම, විනය පිරිහීම, අවස්ථාවාදීකම සහ සහජීවනයක් නොවීම අද අප සමාජයේ කැපී පෙනේ.

 යම් වෘත්තියක් තුළ නියැළෙන පුද්ගලයා ඔහුට හිමි වරප්‍රසාද අත්පත් කරගැනීමට වැරදරූවත් ඔහුගේ යුතුකම් හා වගකීම් කොටස නිසි ලෙස ඉටුකරන්නේ ද? වෛද්‍ය, ගුරු, ඉංජිනේරු, පරිපාලන ආදී ඕනෑම වෘත්තියක් තුළ එම වෘත්තීය භාවය හෝ ආචාරධාර්මික භාවය පවතී ද? මුදල්, අල්ලස හෝ අයථා ඉපයීම් මුල්කරගෙන බලය යොදවන ආකාරය පැහැදිලි වේ.

 වැඩි දෙනා කටයුතු කරන්නේ පරිසරය, පොදු දේපළ, සතා සිව්පාවා හෝ ජනතාව ගැන තැකීමෙක් නොවේ. ජලගැලීම්, වන අලි තර්ජන, වස විෂ භූගතවීමෙන් ඇතිවන ජල දූෂණය, සංඥා කුලුනු හේතුවෙන් අතිවන කම්පන තරංග බලපෑම, වන විනාශය, වායු දූෂණය, සාගර දූෂණය ආදී දහසකුත් විනාශයන් මිහිපිට සිදුවෙමින් පවතී. ඒ සියල්ල සාරධර්ම නොතකා සංවර්ධනය මුවාවෙන් කරන ව්‍යාපාරයන්ය.

 ඇතැමුන් ආගම දහම නොසලකා හරී; නැතහොත් වැරදියට අර්ථ දැක්වීමත් පහත් කොට සැලකීමත් පෙනේ. උදාහරණයක් ලෙස යමෙක් දරුවා දහම් පාසලට නොයවන්නේ ආගම දහම කෙරේ ඇති භක්තිය හා එහි වටිනාකම නොතැකීම නිසාය. එවිට නිර්මාණය වන දරුවා දැනුම පමණක් ඇති ආකල්ප හා භක්තිය නොමැති අයෙක් බවට පත් වේ. රටේ සම්ප්‍රදාය මතු පරපුරට සම්ප්‍රේෂණය වීම වළකී. දිනෙන් දින බිහිසුණු සමාජයක් වෙත මඟ පෑදෙයි. අසංවර නොහික්මුණු පුරවැසියක් බිහි වේ.

 අසමානව සම්පත් බෙදීයාම, තනතුරු තානාන්තර නුසුදුස්සන්ට හිමිවිම,

 රැකියා විරහිතභාවය, අරගල උද්ඝෝෂණ වැඩ වැරීම් වෙත පෙළඹීම, මහජන සේවා කලට වේලාවට ඉටුනොවීම හා පැහැරහැරීම, වැරදිකරුවන්ට දඬුවම් නොවීම හා නිවැරදිකරුවන් පෙළා දැමීම ආදි නානාවිධ දුර්වලකම් පාලන තන්ත්‍ර ආශ්‍රීතව අසන්නට ලැබේ. ඒ සියල්ල රාජධර්ම, ආචාර ධර්ම, සාරධර්ම හා නීතිය මත පිහිටා ප්‍රධානීන් කටයුතු නොකිරීම හේතුවෙනි. පාතාල කල්ලි හා මැර කණ්ඩායම් බිහිවන්නේ මේ තුළය.

 මේ හැර සදාචාරයට සිදුකරන හානි කිරීම් බරපතළ සමාජ ව්‍යවසනයන්ය. පවතින චාරිත්‍ර වාරිත්‍ර ඉටු නොකිරීමත් විකෘති කිරීමත් දෙකම අනාගතයට ගෙන දෙන්නේ භයානක ප්‍රතිඵලයන්ය. අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු නොකරන විට තම ජාතියේ අනන්‍යතා නොදන්නා දරු පිරිසක් අනාගයට උරුම වේ. දෙමාපියන් නමදින්නේ නැති, වැඩහිටියන්ගේ බසට අකීකරු, හිතුවක්කාර හා වැඩහිටියන්ට සලකන්නේ නැති දරුවන් නිර්මාණය වන්නේ එවිටය. පෝය දිනයේ ආගම දහම තුළ නොහැසිරීම, අසම්මත විවාහ, අනියම් ලිංගික සබඳතා, පූජ්‍ය පක්ෂය හෙළාදකින ප්‍රකාශ, අසභ්‍ය කලා කෘති තැනීම හා නැරඹීම, පොදු වැඩ මැඟහැරීම, පිං පව් විශ්වාස නොකිරීම, මිත්‍යාව ප්‍රකට කිරීම සහ අන් අය වෙනුවෙන් වැරදි තීන්දු ගැනීම සදාචාරයට කරන හානි බව අප දැනසිටීම වටි.

 සාදාචාරය එලෙස පිරිහෙන විට අනාථ නිවාස, බන්ධනාගාර, පොලිස් පැමිණිලි, නඩු හබ, හදිසි අනතුරු, එකිනෙකා අතර ගැටුම් වේගයෙන් ඉහළ යනු ඇත. අවසානයේ බිහිවන්නේ මානසිකත්වය බිඳුණු, ඉච්ඡාභංගත්වයට පත් හා රෝගාතුර මිනිස් සමාජයකි. බුදු දහම හා මිහිඳු සංස්කෘතිය අපට අර්ථවත්කර ඇත්තේ සරල බවයය. එමෙන්ම අන්‍යෝන්‍ය ගරුත්වය, සහජීවනය, අනෙකාට ඇති අයිතිය, මානම හිමිකම්, සමගිය, එකමුතුකම විනය හා නීතිගරුකභාවය ආදියයි. මේ බෞද්ධ සිරිත් විරිත් පිරිහුණු වර්තමානය පුනර්ජීවනය සඳහා පොසොන් පොහොයේ අරුත වටහාගැනීම අවශ්‍යම දෙයකි.

සාරධර්ම පිරිහෙන  සමාජයක පැවැත්ම - පොසොන්  පෝය අදයි

අනුරාධපුර ලංකාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක
 රැළපනාවේ  ධම්මජෝති නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment