සාර්ව ආර්ථික සැලැස්මක් හදන තුරු ලෝක බැංකු අලුත් ණයට කල්මරයි

192

ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා නොදීමට ලෝක බැංකුව තීරණය කර ඇත.

මේ අනුව එවැනි ප්‍රමාණවත් සාර්ව ආර්ථික රාමුවක් ඇතිකර ගන්නා තෙක් ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකු සමූහය නිවේදනය කර ඇත.

ආර්ථික ස්ථායිකරණය ඇති කිරීම සඳහා වන ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවට අවශ්‍ය බවද එසේම මෙම අර්බුදය නිර්මාණය කළ මූලික ව්‍යුහාත්මක හේතූන්වලට පිළියම් යෙදීම අවශ්‍ය බවද ලෝක බැංකු සමූහය පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සමීපව අධීක්‍ෂණය කරන බවත් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබාදෙන සහාය උපරිම කිරීම සඳහා අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සමීපව සම්බන්ධීකරණය කරමින් සිටින ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය ගැන සහ එමගින් ශ්‍රී ලාංකික ජනතාවට ඇති බලපෑම ගැන දැඩිව සැලකිල්ලට ලක්ව ඇති බවයි.

ඖෂධ, ගෑස්, පොහොර, පාසල් ළමුන් සඳහා අවශ්‍ය ආහාර හිඟයන් මගහැරවීමට සහ දුප්පත් හා අවදානමට ලක්විය හැකි පවුල් සඳහා මුදල් ලබාදීම සඳහා දැනට ණය කලඹේ පවතින සම්පත් නැවත වෙන් කිරීමට කටයුතු කරන බවද ලෝක බැංකු සමූහය පවසයි.

මේ වනවිට මෙම අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක් පමණ හදිසි අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට ලබාදී ඇත. ඊට අමතරව අනෙකුත් මූලික සේවා සඳහා වන ව්‍යාපෘති ඖෂධ බෙදාහැරීම වෛi සැපයුම් සහ පාසල් ළමුන්ගේ ආහාර යනාදිය සඳහා සහාය ලබාදෙන බවද ලෝක බැංකුව කියයි.

මෙම ආධාර දුප්පත්ම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට ලැබෙන බවට සහතික කර ගැනීම සඳහා ශක්තිමත් පාලනයක් සහ විශ්වාසනීය අධීක්‍ෂණයන් ස්ථාපිත කිරීම සඳහා අදාළ ආයතන සමග සමීපව කටයුතු කරන බවද ලෝක බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment