සාරාගේ සිරුර සොයා අම්පාර  සුසාන භූමියේ සිරුරු ගොඩ ගැනීම අරඹයි

214

පාස්කු ප්‍රහාරයෙන් පසු සිදු වූ සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් මියගොස් ඇති දැයි කියා ඩී. එන්. ඒ. පරීක්ෂාවක් සිදු කිරීමේ තෙවැනි අවස්ථාවත් ඊයේ (27 දා) ආරම්භ විය.

 ඒ අනුව එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කළ අම්පාර පොදු සුසානභූමියේදී නැවත වරක් එම සිරුරු කොටස් ගොඩ ගැනීම ඊයේ පෙරවරුවේ අම්පාර මහෙස්ත්‍රාත් තුෂාරා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඉදිරියේ සිදු කරන ලදී.

 රහස් පොලිසියේ ඉල්ලීමකට අනුව මෙම සිරුරු කොටස් ගොඩගෙන ඩී. එන්. ඒ. පරීක්ෂාවක් සිදු කෙරේ. සාරා ජෙස්මින් යනු කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ මොහොමදු හස්තුන් නමැත්තාගේ බිරිඳයි.

 2019 අප්‍රේල් 21 වැනිදා සහරාන් හෂීම් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදුකරන ලද බෝම්බ ප්‍රහාරයට සමගාමීව ඔහුගේ සහෝදරයකු වන මොහොමඩ් රිල්වාන් 2019 අප්‍රේල් 26 වැනිදා අම්පාර සයින්දුමරුදු ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගෙන මිය ගියේය.

 ඉන් වැඩිහිටියන් සහ ළමුන් ඇතුළු 17 දෙනකු  මියගොස් තිබිණි. එම මියගිය අයගේ මෘතදේහ කොටස් අතර සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් ඇති බවට මේ දක්වා සිදු කළ ඩී. එන්. ඒ. පරීක්ෂණ දෙකකදී අනාවරණය නොවුණි.

 ඒ අනුව නැවත වරක් එම මෘතදේහ කොටස් ගොඩගෙන පරීක්ෂා කිරීමට රහස් පොලිසිය කළ ඉල්ලීමට අනුව කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණය ඒ සඳහා අවසර ලබා දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment