සාරියද ඔසරියද සරි ගවුමද කලිසමද කියන් සකි…

270

ගුරු ඇඳුම සම්බන්ධව ඇති වී තිබෙන උභතෝකෝටිකය විවිධ අයුරින් මතු වෙමින් තිබේ. අධ්‍යාපනයේ මේ තරම් ප්‍රශ්න තියෙද්දිත් සාරියක්, ඔසරියක් ගුරුවරියක්ට වුවමනා ද නැද්ද යන්න රටේ ලොකුම ප්‍රශ්නය කර ගත්තේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

පසුගිය දිනක ගුරුවරියන් කීප දෙනකු විසින් සාරිය වෙනුවට සැහැල්ලු ඇඳුමක් ඇඳ පාසල් පැමිණීම හේතුවෙන් සියල්ලන්ගේ අවධානය ඒ දෙසට යොමු වූ අතර අනතුරුව රජය විසින් නොවැම්බර් විසිහතර වැනිදා නව චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කළේ විශේෂයෙන් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්ය කර ඇති බවය.

මෙම චක්‍රලේඛයට ප්‍රතිචාර දක්වමින් ලංකා ගුරු සංගමය පවසන්නේ අදාළ චක්‍රලේඛය ප්‍රකාශයට පත් කළහොත් යෝජනා කෙරෙන නිශ්චිත ඇඳුමක් සඳහා දීමනාවක් ලබා දිය යුතු බවය.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, මේ වන විටත් පහසු ඇඳුමකින් සැරසී කාර්යාල සඳහා සේවයට වාර්තා කරන ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛය අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට රජය උත්සාහ දරමින් සිටින බවත් එසේ වුවහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට තම සංවිධානය කටයුතු කරන බවත්ය.

මේ ඔස්සේ රට පුරා සමස්ත ගුරු මණ්ඩලය දෙකට බෙදෙමින් සාරිය ඔසරිය අත්‍යවශ්‍ය බවත් සාරිය ඔසරිය අත්‍යවශ්‍ය නොවන බවටත් අදහස් දක්වමින් විවිධ මත ඉදිරිපත් කරමින් සිටිති.

ගුරුවරයා යනු මෙරට මානව වර්ගයාගේ දැනුම බුද්ධිය ආකල්ප සංවර්ධනය සඳහා මඟ පෙන්වන්නෙක් ලෙස ප්‍රකටය. වෘත්තියන් අතර මවක ලෙස පිළිගැනෙන තරමටම ගුරු වෘත්තීය මුදුන් කොටලා සැලකේ. යහපත් සමාජයක් ගොඩනැගීමේ ලා දරුවන් යහමඟට ගෙන ඒමට ගුරුවරයා සෑම විටම උත්සාහ කළේ වෘත්තිය ගෞරවය ආරක්ෂා කරමිනි.

සිදුහත් කුමරා අකුරු හා සටන් ඉගෙනගැනීම සඳහා ගුරුවරුන් සොයා යෑමේ සිට අද දක්වා සියල්ලෝම ගුරුවරුන්ගෙන් ශිල්ප උගත් බවට සාක්ෂි තිබේ.

රාජ්‍ය වංශිකයන් උගතුන්ගෙන් දැනුම ලබා ගනිමින් ශිල්පීය ඥානය වර්ධනය කරගත් බවට පොතපත සාක්ෂි දරයි. බ්‍රිතාන්‍ය යටත්විජිත සමයෙහි මිෂනාරි අධ්‍යාපනය ලංකාවේ ප්‍රචලිත විය. එවකට ක්‍රිස්තියානි පල්ලි ආශ්‍රිතව ඇතිවූ කන්‍යාරාම සහ වෙනත් පාසල් ඔස්සේ අධ්‍යාපනය ලබා දීම සිදු විය.

එම පාසල්වල උගන්වනු ලැබුවේ කන්‍යා සොහොයුරියන් හෝ ගුරුවරියන්ය. ගුරුවරු සිටියේද අතළොස්සක් පමණකි. එකල ගුරුවරයා ගේ ඇඳුම කොට සායක් හෝ ගවුමක් විය. බ්‍රිතාන්‍ය ආධිපත්‍ය මත පිහිටුවනු ලැබූ පාසල් නිසාය.

පසුකාලීනව නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වීමත් සමග වලව් පැළැන්තියට ද ආවේණික වූ ඔසරිය අභිමානයක් ඇති නිල ඇඳුම විය. කාලාන්තරයක් තිස්සේ ඔසරියත්, සාරියක් හැඳ ගත් ගුරුවරු මේ ලංකාවේ ගුරු සේවයේ නියැළී සිටිති.

එපමණක් නොව රාජ්‍ය නිලධාරීන් ද සිය නිල ඇඳුම ලෙස සාරිය හෝ ඔසරිය භාවිත කරමින් කටයුතු කිරීමට පෙලඹී සිටියහ. එය තරමක් හෝ අර්බුදකාරී අඩියකට වැටුණේ කොවිඩ් වසංගත සමයේය.’

සාරියද ඔසරියද සරි ගවුමද කලිසමද කියන් සකි…

පවතින ආර්ථික අර්බුදය හමුවේ සහ පවතින තත්ත්වයන් යටතේ දැන් දැන් සාරියටත් ඔසරියටත් කණකොකා හඬා තිබේ.

“ඇත්තටම මේ වෙලාවේ කරන්න ඕනේ සාරිය ඔසරිය මාරු කර කර ඉන්නවට වඩා ළමයින්ගේ අධ්‍යාපනය ගැන අවධානය යොමු කරන එකයි. ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වයන් ඉහළ දමා ගන්නවා වෙනුවට අතහැර දමන ස්වරූපයක් පේන්න තියෙනවා. දැන් මේ මොළේ තියෙන නිලධාරීන් කරන්න ඕනේ ගුරුවරුන්ගේ ඇඳුම ගැන තීරණ ගන්නවාට වඩා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ දමන සහ නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන් වපසරියක් හදන්න සැලසුම් කරන එක ඒ වෙනුවෙන් චක්‍රලේඛ නිකුත් කරන එක.

මොකද ඇත්තම කියනවනං දියුණු වන ලෝකයක කුමන තරාතිරමක වුවත් කුමන වෘත්තියක වුවත්, ඇඳුම ගැන ඒ හැටි සැලකිලිමත් වෙන්නේ නෑ. මේක මේ පාර්ලිමේන්තුව තුළවත් වෘත්තීය සංගම් තුළවත් කතා කරන්න ඕන කාරණයක් නෙවෙයි.

මොකක් හරි ඇඳුමක් ඇඳගෙන ඉන්න මනුස්සයාගේ බුද්ධි මට්ටම තමයි වැදගත්. දරුවෝ කියන්නේ මේ රටේ අනාගතේ. අනාගතයට නොබියව අභීතව මුහුණ දෙන්න පුළුවන් ඔළුවක් මොළයක් හදන්න පුළුවන් ගුරුවරයෙක් පත්කරගන්න එක තමයි වැදගත්.

එලෙස අදහස් දක්වා සිටියේ 90 දශකයේ සිට ගුරු වෘත්තියේ නියැළුණු පියසීලි රාජරත්න ගුරු මහත්මියයි.

ලෝකයේ රටවල් බොහොමයක් ගුරු වෘත්තිය සලකන්නේ ඉරණම් තලයේ ලා සැලකෙන වෘත්තියක් ලෙස ය.

මේ කාලයේ දරුවන්ට වඩා වැදගත් වන්නේ ගුරුවරයා ගේ ඇඳුම නොව ඉගෙන ගැනීමට අවශ්‍ය කරන උපකරණ පොත්පත් ආදිය ය. පිටු 40 ක් පොතක් රුපියල් 100 ඉක්මවලාය. පෑන් පැන්සල් ඇතුළු සෙසු බඩු ආදිය ද දරන්නට බැරි තරම් අහස උසට ගණන් ගොස් තිබේ. එහෙව් එකේ ගුරුවරයාගේ සාරිය රටට මේ තරම් ප්‍රශ්නයක් වූයේ කෙසේද?

එහෙත් දේශපාලන වේදිකාවේද මෙය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් ව තිබිණි. නිලධාරීන් ද විවිධ දෑ කියති.

ඉගෙනීම සහ ඉගැන්වීම යන ගුරු සිසු භූමිකාවේ ප්‍රබලතම කාර්යය පැත්තකට දමා ගුරු ඇඳුම ගැන කතා කිරීම පිළිබඳ සමස්ත මහජනතාව අද සිටින්නේ කලකිරීමෙනි. යාර හයක් මත අනාගත දරුවන්ගේ දැනුම බුද්ධිය තීරණය කරන්නේ නම් සහ ගුරුවෘත්තිය ඇඳුම මත පදනම් වන්නේ නම් එය කුමන විහිළුවක්ද.

සැබැවින්ම මෙය රඟදක්වන්නේ වෙනත් නාට්‍ය ජවනිකාවක් දැයි සිතේ. රටේ මූල්‍ය අර්බුද, අධ්‍යාපන අර්බුද, සෞඛ්‍ය අර්බුද ඇතුළු ජීවත්වීමේ අර්බුද රැසක් පවතින සමයෙක ගුරුවෘත්තියේ ඇඳුම පිළිබඳ කතාබහට ලඝු වීම පැනයකි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment