සාරිය, කලිසම, කොට කලිසම සහ අමුඩය

1596

(මේවා තමයි ජෝසෆ් ස්ටාලින් මුහුණ දෙන ප්‍රශ්න)

පාසල් ගුරුවරියන් සඳහා නිශ්චිත ඇඳුමක් නියම කරමින් චක්‍රලේඛයක් පළ කළොත් එම ඇඳුම ඇඳීම වෙනුවෙන් එම ගුරුවරියන්ට දීමනාවක් ලබාදිය යුතු බව ලංකා ගුරු සංගමය කියයි. මේ කතන්දරයේ ඍජු අරුත වන්නේ චක්‍රලේඛයක් මගින් ගුරුවරියන්ට සාරිය ඇඳීම නියම කළොත් ඒ වෙනුවෙන් වෙනම ගාණක් ගෙවිය යුතු බවය. මෙය තවදුරටත් දීර්ඝ කළ හැකිය. එනම් පාසලට දිග කලිසම් අඳින ගුරුවරුන්ට වෙනම ගාණක් ගෙවිය යුතු බවය. මන්ද කොට කලිසම වඩාත් පහසු ඇඳුමක් බැවින් එයින් එකක් ඇඳ පාසල් එන්නට ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්ට හිතෙන්නට ඉඩ තිබේ. එම සිතුවිල්ල දීර්ඝ වශයෙන් පැතිර ගියොත් සෙසු ගුරුවරුන්ට ද කොට කලිසම් ඇඳීමේ ආසාව හටගන්නවා ඇත. දිග කලිසමක මිල කොට කලිසමක මිල මෙන් දෙගුණයකි. එබැවින් දිග කලිසම් අඳින අය වෙනම ගාණක් ඉල්ලීමේ සාධාරණයක් තිබේ. මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නය වන්නේ ගුරුවරියන්ගේ සාරිය බව ජෝසෆ් ස්ටාලින් මැතිතුමා සිතන බව පෙනේ.

ගුරුවරියන්ගේ සාරියට එරෙහි තනි පුද්ගල ව්‍යාපාරයක් මෙයට අවුරුදු 4 ට පෙර ආරම්භ විය. එම ව්‍යාපාරයේ සිටි එකම සාමාජිකාව වූයේ තිලිණි සැල්වින් නමැති ගුරුවරියකි. ඇය කියන පරිදි දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල්වල උසස් මට්ටමේ ටොයිලට් පහසුකම් නැත. එබැවින් ශරීර කෘත්‍ය සිදුකිරීමට අවශ්‍ය වන අවස්ථාවලදී ඉස්කෝලේ අහල පහල පිහිටි ගෙදරකට දිවගොස් ටොයිලට් පිළිසරණ පැතීමට තිලිණිට සිදුවේ. හැබැයි මේ කාරණය ඉස්මතු කරන අප දන්නා එකම ගුරුවරිය තිලිණි සැල්වින් ය. මේ මතයේම සිටින තවත් තුන්දෙනකු සිටින බව පසුගියදා අපි සමාජ මාධ්‍ය මගින් දැනගතිමු. ඒ අයද සාරිය බැහැර කොට ගවුම් සහ කලිසම් ඇඳගෙන පාසල් වෙත පැමිණ සිටියාය. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් එදාම ඒ තත්ත්වයට විරුද්ධව යුද ප්‍රකාශ කළේය. තිලිණි මතු කරන තවත් ප්‍රශ්නයක් නම් සාරිය ඇඳගෙන උගන්වන විට ටීචර්ගේ බඩ ළමයින්ට පෙනෙන බවය. මෙය හොඳ point එකකි. ටීචර්ලාගේ බඩවල් සහ අත් නැති හැට්ට නිසා නිරාවරණය වන උරහිස් දෙස බලමින් කෙළ හලන තක්කඩි පිරිමි ළමයි අටේ පන්තියේ පවා සිටිති. මෙවැනි සමහර ළමයින් විවාහයක් කරගැනීමට කල්පනා කරන්නේ පහේ පන්තියේදී ය.

හැබැයි මේ ළමයි මර්දනය කිරීම සඳහා තාක්ෂණික උපක්‍රම තිබේ. ඉන් පළමුවැන්න නම් ගුරුවරියන් අත් සහිත හැට්ට ඇඳීම ය. දෙවැන්න, බඩ නොපෙනෙන පරිදි දිගට මසා ඉනට යට කරන හැට්ට ඇඳීම ය. එක අතකට අප මෙවැනි දේ කීමෙන් අනවශ්‍ය ප්‍රශ්න මතුවීමට ඉඩ තිබේ. අත් නැති හැට්ටවලට වඩා වියදමක් අත් ඇති හැට්ටවලට යන බැවින්ද ඉනට යටකර අඳින හැට්ට සඳහා වැඩියෙන් රෙදි වියදමක් යන බැවින්ද ජෝසෆ් ස්ටාලින් සහෝදරයා තවත් allowance එකක් ඉල්ලා සිටීමට පුළුවන. මේ සියලු කරුණු අස්සේ කිවයුතු දෙයක් තිබේ. ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් හුස්ම හිරවන තුරු නටන, දඟලන, කෑ ගසන ජෝසෆ් ස්ටාලින් නරක මිනිහෙක් නොවේ. ඔහු සිය සටන් පාවාදීම සඳහා කාගෙන්වත් තඹ සතයක්
නොගනී. ඔහු අනුන්ගෙන් තේකක්වත් බොන මිනිහකු නොවේ. දෘෂ්ටිවාදය පැත්තෙන් බලන කල ස්ටාලින් ඉතාම අවංක ය. හැබැයි මේ අවංකකමෙන් පලක් නැත්තේ ඔහු ගුරු සටන් මෙහෙයවන සටන් කලාව තුළ විභවයක් නැති හෙයිනි. ඇත්තෙන්ම පිරිමි පාර්ශ්වය ගත්තොත් ඇඳීමට සුදුසු සහ ලාභම සහ පහසුම ඇඳුම අමුඩය වේ. හතරැහැට කපන ලද රෙදි කැබැල්ලක් සහ දිය ලණුවකින් ඉතාම ලාබෙට අමුඩය නිමවාගත හැකිය. අවශ්‍ය නම් අමුඩය මැද ලස්සන රතු පාට මලක් මැසීමෙන් එය හැඩ ගන්වා ගැනීමට ද පුළුවන. මෙයට ශතවර්ෂාධික කාලයකට පෙර මේ රටේ ගම් පළාත්වල ජීවත් වූ පිරිමින්ගෙන් 99% ක්ම ඇන්දේ අමුඩයයි. ගම්මුලාදෑනියා පවා ගෙදරට හිටියේ අමුඩය පිටිනි. මීට ශතවර්ෂ එකහමාරකට පෙර මේ රටේ ගැමි ගැහැනුන් ඉනට පමණක් රෙද්දක් පටලවාගෙන උඩුකය නිරාවරණය කරගෙන සිටියහ. අර අප කලින් කියූ අටේ පන්තියේ ළමයි ඒ කාලයේ ද සිටියහ.

සාරිය ශ්‍රී ලංකාවට එන්නේ ඉන්දියාවෙනි. ඉන්දියානු මුල් යුගයේ ඇඳි සාරියට හැට්ටයක් නැත. ඉනවටේ ඔතාගන්නා සාරි රෙද්දේ ඉතිරි කොටසින් ළැම වසාගැනීම එකල සිදුවිය. ඉන්දියාවේ සිට ලංකාවේ වතුකරයට සාරිය එන්නේ මේ කියූ ස්වරූපයෙනි. එක්දහස් හත්සිය ගණන්වල සිට ශ්‍රී ලංකාවේ රජ බවට පත්වූ දෙමළ රජවරුන් ඉන්දියාවේ මලබාර් හෝ මධුරාපුරයේ සිට බිසවුන්වහන්සේලා මෙරටට කැන්දාගෙන එනවිට ඔවුනට සාරි පමණක් නොව හැට්ට ද ඇන්ද වූහ. ඒ ස්වකීය බිරින්දෑවරුන් අටේ පන්තියේ ළමයින්ගෙන් පරිස්සම් කර ගැනීමට නොව සාරියේ කොටසක් ලෙස හැට්ටය ඇඳීම ප්‍රභූ පන්තියේ සිරිත වූ නිසාය. පසු කාලයේදී සාරිය හා හැට්ටය යන දෙකම uniform එකක් හෙවත් නිශ්චිත ඇඳුම් කට්ටලයක් බවට පත්විය. එකල සිංහල ඉස්කෝලවල ඉගැන්වූ ගුරුවරියෝ එක්කෝ සාරිය සහ හැට්ටය ඇන්දාහ. කනිටු ගුරුවරියෝ ළමා සාරිය ඇන්දාහ. එපමණ ඉතිහාසයක් ඇති සාරිය අපේ සංස්කෘතියේ කොටසක් වූ පසු ගලවන්නේ කොහොමද? ගවුමක් හෝ කලිසමක් එතැනට ආදේශ කරන්නේ කොහොමද? මේ අතර එංගලන්තයේ ටීචර්ලා සාරි අඳින්නේ නැති බව එක් බූරුවෙක් ළඟකදී කියනු අපට ඇසුණි. එංගලන්තයේ ගුරුවරියන් කවදත් සාරි අඳින්නේ නැත. ඔවුන් එක්කෝ අඳින්නේ කලිසම සහ ෂර්ට් එකකි. නොඑසේ නම් සායක් සහ බ්ලව්ස් එකකි. එසේම ඔවුන් ඇඳුමට ආරවුල් ඇති කර රට තුළ අලුත් ප්‍රශ්න උපදවන්නේ ද නැත.

advertistmentadvertistment
advertistmentadvertistment