සාලියවැව පොලිස් සැරයන් වැසිකිළියේදී අල්ලස් අරන්

445

ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු සාලියවැව පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. වයස අවුරුදු 48කි. වයස හතළිස් අටක් වුවත් ඔහු ගතකළේ සල්ලාල ජීවිතයකි. මොහුගේ සල්ලාල ජීවිතය නිසාම කසාද බිරිඳ අතහැර ගොස් වසර කිහිපයක් ගත වෙයි. ඉන් පසු මොහු කාන්තාවන් කීපදෙනකු සමග අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගියේය.

අවසන් වරට ඔහු එම පොලිස් බල ප‍්‍රදේශයේම දරුවන් දෙදෙනකු සිටින කාන්තාවක් සමඟ ජීවත් වූයේය. එම කාන්තාවට අවුරුදු දහනමයක පුතකු සහ අවුරුදු දාහතරක දියණියක සිටී. එම දරුවන්ට සුළු පියා වෙමින් මොහු යෙදුණේ රංගනයකයි.

සල්ලාල මෙම පුද්ගලයාගේ එකම අරමුණ වූයේ අවුරුදු දාහතරක් වයසැති එම දැරියට ලිංගික අඩත්තේට්ටම් කිරීමයි. ඒ සඳහා සුදුසු අවස්ථාවක් එන තුරු මාස කීපයක් මොහු ඉවසා සිටියේය.

සුළු පියා නැමැති එම කාමාතුරයා බලා සිටි දිනය උදා විය. එදින මෙම පුද්ගලයා අවුරුදු දාහතරක් වයසැති දැරියව බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට ලක් කළේය. එතනින් නොනැවතුණු මොහු තවත් අවස්ථා කිහිපයකදීම මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක් කළේය.

බාලවයස්කාර එම දැරිය සුළු පියා බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට ලක් කළ බව වැඩිහිටියන් දැන ගත්තේය. ඒ අනුව සාලියවැව පොලිසියට ගොස් ඔවුන් පැමිණිල්ලක් දැමුවේය. පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් වහාම සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. සැකකරු මාස කීපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. පොලිසියේ විරුද්ධත්වය නිසා ඔහුට ඇප නොලැබුණි. ඔහුගේ ඊළඟ නඩු වාරය යෙදී තිබුණේ පසුගිය තුන් වෙනිදාය. එදිනට පොලිසියේ විරුද්ධත්වයක් නොතිබුණහොත් ඇප ලබාගත හැකි බව ඔහුගේ නීතිඥවරයා පවසා තිබුණි.

සැකකරුට වුවමනා වූයේ කෙලෙස හෝ ඇප ලබා ගැනීමටයි. එම නිසා ඔහු තමන් බැලීමට රක්ෂිත බන්ධනාගාරයට පැමිණි පුද්ගලයකුට මෙලෙස පැවසුවේය.

‘‘මගේ ඊළඟ නඩු දිනය තියෙන්නේ තුන්වෙනිදා. මේ පාරවත් ඇප ගන්න ඕනා. මේකේ ඉ`දලා එපාවෙලා තියෙන්නේ. ඇතුළේ ඉන්න එවුන්ගෙනුත් කරදරයි.

‘‘ඉතින් මොකද අපි කරන්න ඕනේ. ලෝයර්ට කියමු.

‘‘ඒක හරි. හැබැයි පොඩි දෙයක් වෙන්න ඕනා.

‘‘ඒ මොකක්ද?

‘‘ඒ පාර පොලිසිය විරුද්ධ නොවුනොත් මට අනිවාර්යෙන්ම ඇප ගන්න පුළුවන්.

‘‘එහෙමද?

‘‘හැබැයි විරුද්ධ වුණොත් ආපහු ඇතුළට යන්න වෙනවා.

‘‘ඉතින් ඒකට මොකද කරන්නේ.

‘‘එකම දෙයයි කරන්න තියෙන්නේ. කෝට් සාජන්ව අල්ලන එක. ඒකා ජරා පප්පාලූ. ඇතුළෙ වුන්ම කියනවා. කොහොම හරි සල්ලි දීලා සාජන් කාරයාව අල්ල ගනින්.

‘‘හරි මම බලන්නම්.

දෙදෙනාගේ කතාව එලෙස අවසන් විය. ඉන්පසු එම පුද්ගලයා සාලිය වැව පොලිසියේ අධිකරණ කටයුතු භාරව කටයුතු කරන පොලිස් සැරයන්වරයා මුණගැසීමට ගියේය. ඒ එම පොලිස් නිලධාරියා අඳුනන තවත් මිතුරකු මාර්ගයෙන් ය. එලෙස ගොස් ඔවුන් මෙලෙස කතා කළේය.

‘‘සර් මේ තමයි මම අර කියපු කෙනා.

‘‘ඇත්තද?. ළමා අපයෝජනයට සම්බන්ධ නඩුව.

‘‘ඔව් සර් ඒක තමයි. දැන් මාස ගාණක් මිනිහා ඇතුළේ.

‘‘අපි විරුද්ධ වෙනකම් මිනිහා ඇතුළෙ තමයි.

‘‘අනේ සර් මොකක් හරි කරලා දෙන්න.

‘‘ඒක තමයි සර්. ලොකු උදව්වක් පුළුවන්නම්. අපි දන්නවනේ සර්ට විතරයි මේක කරන්න පුළුවන්. අනෙක් පුද්ගලයාද එලෙස පැවසුවේය.

‘‘බලමු බලමු. ඕවා නිකං ආවට ගියාට කරන්න බැහැ.

‘‘සර් කියන්න මොකක්ද වෙන්න ඕනේ කියලා අපි එක කරන්නම්.

‘‘රුපියල් හැත්තෑ පන්දහසක් දෙන්න මම වැඬේ කරලා දෙන්නම්.

‘‘අනේ සර් තව පොඞ්ඩක් අඩු කරන්න අපි ළඟ එච්චර සල්ලි නැහැ.

‘‘එහෙම කියලා බැහැ. මේවා අඩුවට කරන ඒව නොවේ.

‘‘ඇත්තටම අපි ළඟ එච්චර මුදලක් නැහැ. එයා එළියට ආවට පස්සෙ සර්ට තව සල්ලි ටිකක් දෙන්නම්. දැනට විසිපන්දාහක් දෙන්නම් වැඬේ කරලා දෙන්න.

‘‘අනේ මන්දා කුණුකොල්ලෙට කරන්න බැහැ.

‘‘එහෙම කියන්න එපා වැඬේ කරලා දෙන්න. මිනිහා එළියට ආවට පස්සෙ තව සල්ලි ටිකක් දෙයි.

‘‘හරි… හරි… නඩු දිනය දවසේ උදේට සල්ලි අරන් එනවා. උසාවියේ වැසිකිළියේදී සල්ලි මට දෙන්න. ඉතුරු ටික මම බලාගන්නම්.

අවසානයේ සාලියවැව පොලිසියේ අධිකරණ භාර පොලිස් සැරයන්වරයා රුපියල් විසිපන්දාහක අල්ලස් මුදලකට අධිකරණයේදී එම සැකකරුට ඇප ලබාගැනීමේදී විරුද්ධ නොවී සිටීමට එකඟ විය. වින්දිත දැරියගේ සහෝදරයාට පොලිස් සැරයන්වරයාගේ අල්ලස් ලබාගැනීමේ සිද්ධිය දැනගන්නට ලැබුණි. වහාම ඔහු ඒ පිළිබඳව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය. ඒ අනුව ක‍්‍රියාත්මක වූ එම නිලධාරීන් මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කළේය.

නියමිත දිනය උදා විය. පොලිස් සැරයන්වරයා පුත්තලම අධිකරණය වෙත ගියේය. එදින රාජකාරි කටයුතුවලට වඩා ඔහුගේ සිතේ තිබුණේ රුපියල් විසිපන්දාහසක අල්ලස් මුදල ලබා ගැනීමේ අරමුණයි.

සැකකරුගේ පාර්ශ්වයේ පුද්ගලයකුද රුපියල් 25,000ක මුදල රැගෙන අධිකරණ භූමියට පැමිණියේය. එලෙස පැමිණි ඔහු පෙර කතා කරගත් පරිදි අධිකරණ භූමියේ ඇති වැසිකිළිය වෙත ගියේය. පොලිස් සැරයන්වරයා ද ඔහු පසුපස ගියේය.

අල්ලස් සහ දූෂණ කොමිෂන් විමර්ශන සභාවේ වෙස්වලාගත් නිලධාරීන්ද මේ සියල්ල දෙස ඇස ගසා ගෙන සිටියේය.

කතා කරගත් පරිදි පොලිස් සැරයන්වරයා අධිකරණ භූමියේ වැසිකිළිය තුළදී රුපියල් විසිපන්දාහක අල්ලස් මුදල ගැනීමට සැරසුණේය. ඒ සමඟම වෙස්වලාගෙන සිටි අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් පසු පොලිස් සැරයන්වරයා බේරීම සඳහා නොයෙක් කතා පැවසුවේය. එහෙත් පලක් වූයේ නැත. අවසානයේ ඔහු දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ සැකකරුවකුට අධිකරණයේදී ඇප ලබාගැනීමේදී විරුද්ධ නොවී සිටීම වෙනුවෙන් රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් කළ මෙම පොලිස් සැරයන්වරයාට හැකි උපරිම දඬුවම් ලබාදිය යුතුය. එලෙසම මෙම දූෂිත නිලධාරියා මීට පෙරත් මුදල් මත සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියා ද යන්න පරීක්ෂා කළ යුතුය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment