සාහිත්‍ය ලෝකයේ ජ්‍යෙෂ්ඨතමයා සහ විශිෂ්ටතමයා අමරසේකර

695

අමරසේකරයන්ගේ විචාර ස්වරය සැහැසි විය. එහෙත් ඔහු අදත් තමාට අභිමත සාහිත්‍ය – සමාජ – දේශපාලන මතවාද වෙනුවෙන් අභීතව හා අදීනව පෙනී සිටින්නේය.

ආචාර්ය ගුණදාස අමරසේකර සූරීහු මෙම මස 12 වැනිදා 94 වැනි වියට පා තබති. ඒ නිමිත්තෙන් පළවන්නා වූ මෙම ලිපිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් අමරසේකරයන්ට ‘ඩී ලිට (D. Lit) උපාධිය සමර්පණය කරන ලද අවස්ථාවේදී සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න පැවැත්වූ දේශනය ඇසුරින් සැකසිණ.

ගුණදාස සූරියආරච්චි අමරසේකර මහතා 1929 නොවැම්බර් 12 වැනිදා ජන්මලාභය ලද්දේ ගාල්ලේ, යටලමත්තෙහි ය. පස්වැනි ශ්‍රේණිය දක්වා ගමේ පාසලේ අකුරු කළ අමරසේකර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයට ඇතුළත් විය. 1957 දී දන්ත ශල්‍ය වෛද්‍යවරයකු බවට පත්ව එතැන් පටන් 1986 දී විශ්‍රාම ගන්නා තුරු ස්වකීය වෘත්තීය ක්‍ෂේත්‍රයෙහි ඉහළම තනතුරු දරමින් මෙරට දන්ත සෞඛ්‍ය සේවාවේ අභිවර්ධනය උදෙසා එතුමා මහා මෙහෙයක් කළේය.

එහෙත් අමරසේකරයන් අපගේ අභිවාදනයට පාත්‍ර වන්නේ ඔහුගේ වෘත්තීය ජීවිතයේදී ඔහු විසින් කරන ලද්දා වූ එකී මෙහෙය නිසා නොවේ. අර්ධ ශතකයකට අධික කාලයක් එතුමා විසින් කරන්ට යෙදුණු අයම් විතරින් පුළුල් වූ ද නිර්මාණශීලීත්වයෙන් ආඩ්‍ය වූ ද රසාලිප්ත භාවයෙන් රමණීය වූ ද විචාර චින්තාවෙන් අලෝලනාත්මක වූද, අභින්න වූ හා අවිච්ඡින්න වූ ද උත්තුංග සාහිත්‍ය සම්ප්‍රදානය නිසා ය.

ගුණදාස අමරසේකර මහතාගේ සාහිත්‍ය ව්‍යාපාරය වනාහි කෙටි කථාව, නවකථාව, කවිය, විචාරය යන සතරදිග්භාගයන්හි විහිද ගිය ක්‍රියාවලියකි. හෙතෙම සාහිත්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ එක්විසි වියැති කොලු ගැටවරයකු ව සිටියදී ය. ඒ රතු රෝස මල (1950) නම් කෙටිකතා සංග්‍රහය රචනා කරමිනි. සිය ප්‍රථම කෘතියෙන්ම රසික – විචාරක උභය පාර්ශ්වයන් හි අවධානයට පාත්‍ර වූ අමරසේකර නම් කෙටිකථාකරුවා ඉන් අනතුරුව ජීවන සුවඳ (1959) එකම කතාව (1972) එක්ටැමෙන් පොළොවට (1974) කතා පහක් (1975) ගල් පිළිමය සහ බොල් පිළිමය (1987) මරණ මංචකයේ දුටු සිහිනය (1993), පිළිම ලොවයි පියවි ලොවයි (1995) යන කෙටි කතා පොත් ලියා පළ කළේය. මේ ග්‍රන්ථාවලියෙහි ඇතැම් කෘතියක් ඉංග්‍රීසි හා රුසියානු භාෂාවලට නැඟුණු අතර ඇතැම් කෘතියක් උසස් පෙළ සහ විශ්වවිද්‍යාලයීය පාඨ්‍ය ග්‍රන්ථ බවට පත්විය.

‘කරුමක්කාරයෝ’ නම් වූ නවකථාව රචනා කරමින් 1955 දී අප ලේඛකයාණෝ නවකථා ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූහ. එද සිංහල නවකථා වංශයෙහි නව මානයක් සටහන් කරන කෘතියක් විය. අමරසේකරයන්ගේ දෙවැනි නවකථාව වූ ‘යළි උපන්නෙමි’ (1960) තරම් සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රය, දෙදරවූ තවත් කෘතියක් නැත. ඊට හේතුභූත වූයේ එහි අන්තර්ගතයයි. සිංහල සාහිත්‍ය ඉතිහාසයෙහි සභ්‍ය අසභ්‍ය වාදය පැනනැඟීමට හේතු පාදක වූ මේ කෘතියෙහි ඇතැම් කොටස් පාර්ලිමේන්තුවේදී පවා කියවන්නට යෙදුණි. මෙබඳු පොත් පළ කරන්නන්ට හා විකුණන්නන්ට එරෙහිව නඩු පැවරිය යුතු යැයි සංස්කෘතික අමාත්‍යාංශය කියා සිටියේය. දෙපා නොලද්දෝ (1962) නමැති අමරසේකරයන්ගේ තෙවැනි නවකථාවට ද මෙබඳු චෝදනා එල්ල විය. අමරසේකර මහතා මෙකී කෘති පිළිබඳව දැරූ අදහස් පැසුළු පවසමි. ගන්ධබ්බ අපදානය (1966), අසත්‍ය කථාවක් (1980), ප්‍රේමයේ සත්‍ය කථාවක් (1981) ඔහුගේ අවශේෂ නවකථා අතර වෙයි. ඉකුත් ශතවර්ෂයේ සිංහල සමාජ විපර්යාසයන්ට අති ප්‍රබල ලෙස බලපෑ ‘සිංහල මැද පන්තිය’ අළලා අමරසේකර මහතා විසින් විරචිත වෙළුම් සයකින් සමන්විත නවකථාවලිය, එනම් ගමනක මුල (1984), ගම්දොරින් එළියට (1986) ඉණිමඟ ඉහළට (1992), වංකගිරියක (1993), යළි මඟ වෙත (1993) දුරු රටක දුකට කිරියක (2002) යන නවකථා පන්තිය ඔහුගේ ප්‍රතිභානය ද සමාජ වික්‍ඳ්ඤාණය ද මැනවින් ප්‍රකට කරන්නේය.

ගුණදාස අමරසේකර නමැති කවියා සාහිත්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ භාවගීත (1957) නම් වූ කෘතිය රචනා කරමිනි. මෙහිදී ඔහු විසින් නූතන කවීන්ට හඳුන්වා දෙන ලද ‘පස් මත් විරිත’ නමැති විරිත් වෙසෙස, අද ඔවුන්ගේ ජනප්‍රියම කාව්‍ය ආකෘතිය බවට පත්ව තිබේ. තවද ඔහු උයනක හිඳ ලියූ කවි (1958), අමල් බිසෝ (1962), ගුරුළු වත (1963), ආවර්ජනා (1975), අසක් දා කව (2003) යන කාව්‍යාවලිය ඔස්සේ කාව්‍ය භාෂාව හා කාව්‍ය ආකෘතිය පිළිබඳ අනේකවිධ අත්හදා බැලීම් කරමින් සිංහල කවියට අනුප්‍රාණයක් ලබා දුන්නේය.

ගුණදාර අමරසේකර මහතාගේ විචාර ලිපිවලින් සාහිත්‍ය – සමාජ – දේශපාලන ක්‍ෂේත්‍රය ඒකකෝලාහල වූයේය. තවමත් ඒ කෝලාහල සංසිඳී නැත. අලියා සහ අන්ධයෝ (1967), අබුද්දස්ස යුගයක් (1976), අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද? (1977), ගනඳුර මැදියම දකිනෙමි අරුණළු (1988), අරුණලු සෙරෙන් අරුණෝදයට (1992), සිංහල කාව්‍ය සම්ප්‍රදාය (1996) යන පොත් පෙළෙහි සහ පත්‍ර සඟරාදියෙහි මේ විචාර ලිපි දක්නා ලැබේ. මෙහිදී ඔහු සිය අතීත නිර්මාණ පිළිබඳ ස්වයං විවේචනයක යෙදුණේය. ඇතැම් විචාරකයන් ඉහළින් ඔසවා තැබූ ‘යළි උපන්නෙමි’ නවකථාව සිංහල සමාජය නොහැඳින කළ අධම, නොමේරූ කෙප්පයක් ලෙස සලකා අවඥාවේ කෙවිටෙන් බැහැර කළේය. ‘අමල්බිසෝ’ කාව්‍ය සංග්‍රහයෙහි ආ ‘ගඟ ළඟ බුදුරුව’ නමැති කවි පන්තිය විසිකර දැම්මේය. තමා ද රචනයෙන් දායක වූ නිසඳැස් කවි කලාව, සිංහල කාව්‍ය සම්ප්‍රදායේ සුළඟවත් නොවැදුණු ‘අංශභාඟ කාව්‍ය ක්‍රමයකැයි ප්‍රතික්‍ෂේප කළේය. තමා ද ඇතුළත් පේරාදෙණිය සාහිත්‍යය, මුල් ඉදිරුණු සාහිත්‍යයකැයි පිටුදුටුවේය. අපගේ සාහිත්‍ය ඉතිහාසයෙහි ස්වකීය නිර්මාණ පිළිබඳ මෙබඳු නිර්දය ආවර්ජනයක යෙදුණු එකම ලේඛකයා ගුණදාස අමරසේකර මහතා ය.

අමරසේකරයන්ගේ විචාර ස්වරය සැහැසි විය. සමාජ – දේශපාලන විචාරයේදී වඩාත් සැහැසි විය. එහිදී ඔහුගේ වාක්කෝෂයේ ‘ජනතාවාදී පපඩම් නාටක’, ‘ලංකාවේ තුප්පහි මාක්ස්වාදය’, ‘වසල වෙළෙඳ කුලය’, ‘ළිං ගෙබ්බෝ’, ‘අවජාතක සාහිත්‍ය’. ‘පල්වළ ඉහගෙන කෑම’, ‘සාහිත්‍ය සෙප්පඩ විජ්ජාව’, ‘මොට්ටයා’, ‘ඒජන්තයා’ වැනි වදන් විය. ‘ජාතික චින්තනය’ නම් වූ තමා අනුදත් මතවාදය හේතුකොටගෙන ද දේශපාලන කටයුතුවලට සෘජුව සම්බන්ධවීම හේතුකොට ගෙන ද අමරසේකරයෝ බොහේ දෙනාගේ කර්කශ විවේචනයට භාජනය වූහ. එහෙත් ඔහු අදත් තමාට අභිමත සාහිත්‍ය – සමාජ – දේශපාලන මතවාද වෙනුවෙන් අභීතව හා අදීනව පෙනී සිටින්නේය.

අමරසේකරයන්ගේ පරම ප්‍රතිපාක්‍ෂිකයා පවා එක හඬින් පිළිගන්නා එක් දෙයක් ඇත. එනම් ඔහු වනාහි මෙරට ‘ධරමාන සාහිත්‍යධරයන් අතර විශිෂ්ටතමයා බවයි.

සම්මානිත මහාචාර්ය – සුනිල් ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment