සාහිත්‍යකරුවා කියන්නේ රාජ්‍යයක් තුළ රාජ්‍යයක්

980

වත්මන් ගෝලීය වසංගත තත්ත්වය හමුවේ උදා වූ සාහිත්‍ය මාසය තුළ මෙරට සාහිත්‍ය සමාජයේ දකින්නට ලැබෙන ‘චලනයන්’ පිළිබඳව සම්මානනීය ලේඛක එරික් ඉලයප්ආරච්චි සමඟ සිදුකළ කතාබහක් පහත පළවේ.

 ප‍්‍රශ්නය:- ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වෙනත් රටවලට සාපේක්‍ෂව මෙරට සාහිත්‍ය කලාව පිළිබඳව ඔබගේ විග‍්‍රහය මොන වගේ එකක් ද?

සාහිත්‍යකරුවා කියන්නේ රාජ්‍යයක් තුළ රාජ්‍යයක්

 පිළිතුර:- මධ්‍යකාලීන යුගයේ ඇති වුණු ‘කළු මරණය’ වසංගතයට සමාන කළ හැකි මේ වසංගතය සමාජ ජීවිතය හා සංස්කෘතික ජීවිතය බරපතළ ලෙස සලිත කළා පමණක් නොවෙයි සමාජ හා සංස්කෘතික යටිතලයන්ගේ අසමත්කම හා බංකොලොත්කමත් පෙන්වා දුන්නා. මෙවැනි මහා ව්‍යසනයක් මැද කලාවේ හා සාහිත්‍යයේ ඉරණම පිළිබඳ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමේ දී මතක් වන්නේ නොබෙල් තෑග්ග ලබා ගනිමින් රුසියානු ලේඛක ඇලෙක්සැන්ඩර් සොල්සිනෙට්සින් තමාගේ ප‍්‍රසිද්ධ කතාව ආරම්භ කළ වැකිය යි. එනම්, කලාව ලෝකය ගලවා ගන්නේ ය (Art saves the world) යන ප‍්‍රකාශනය යි. ඔහු පැවසුවේ කලාවේ ආරම්භය ඇත්තේ පුරාණ මිනිසා සිය පරිණාමයේ දී වානරයකුව සිට සිය හස්තය දියුණු කර ගනිමින් බිම තිබුණු ගලක් වැනි යම් දෙයක් අහුලා ගෙන, එය අවියක් ලෙස පාවිච්චි කිරීමට ඊට කිසියම් අලංකරණයක් එකතු කළ අවස්ථාවේ කියලා. ඒ අනුව කලාව ලෝකය ගලවා ගන්නේ යන ඒ කියුම විද්‍යාව ලෝකය ගලවා ගන්නවා කියන එකේ කලාත්මක පැත්තයි.

 ප‍්‍රශ්නය:- මෙරට සාහිත්‍ය සමාජය තුළ වූ මෑත කාලීන චලනයන් පිළිබඳ ඔබගේ විග‍්‍රහය

 පිළිතුර:- නැවත සොල්සිනෙට්සින්ගෙන්ම උපුටා ගන්නවා නම් සාහිත්‍යකරුවා කියන්නේ රාජ්‍යයක් තුළ රාජ්‍යයක්. එහෙම නැතුව රාජ්‍යයේ හොරණෑවක් නොවෙයි. මේ වසංගතය හමුවේ අර්බුදයට ලක්වන්නේ සාහිත්‍යය හා කලාව නොවන රාජ්‍යය නම් ඔහු තමාගේ රාජ්‍යය බේරා ගත යුතුයි. දෙවෙනි ලොක්ඩවුන් එකේ දී 2020. 10. 27 දා ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කළේ ඉතා දිග නවකතා, එනම් යුද්ධය සහ සාමය, ඩොන් කිහොට්, මිඞ්ල්මාර්ච් වැනි සම්භාව්‍ය නවකතා අලෙවිය ශීඝ‍්‍රයෙන් ඉහළ යන බවයි. මාර්තු පළවෙනි ලොක්ඩවුන් එකේ දී ඉංග‍්‍රීසි පාඨකයා ‘පෙන්ගුවින් ක්ලැසික්’ පොත් ගබඩා කර ගත් බවත්, දෙවෙනි ලොක්ඩවුන් එක එහි කියවීම් වාරය වූ බවත් පෙනුණා. ඒ අතර ජෝර්ජ් ඕවල්ගේ ‘1984’ වැනි දුෂ්රාජ්‍ය නවකතා(dystopian novels) කියවීමේ අඩුවීමක් තිබුණා. පරම රාජ්‍ය සංකල්ප බිඳ වැටීම ප‍්‍රබන්ධයක් ලෙස කියවූ පාඨකයින් එය සැබෑ ලෝක යථාර්ථයක් වීම ඊට හේතුවයි. ඒ වර්ගයේ පොත් කියවන පාඨක සමාජය අලූතෙන් යොමු වී තිබුණේ ත‍්‍රාසජනක අපරාධ නවකතාව කියවන්නටයි. ඊට සාපේක්ෂව මේ රටේත් ව්‍යාජ මැජිකල් නවකථාවලින් මෝහනය වීම අඩු වී නැවත නව්‍ය යථාර්ථවාදය සොයා යාමක් දකින්නට ලැබුණා. අශෝක හඳගම දැවැන්ත පරිමාණයේ වේදිකා නාට්‍යයක් සාර්ථකව රඟ දැක්වූවා. බටහිර බ්‍රෝඞ්වේ නාට්‍ය සංස්කෘතිය හා ඔපෙරා වේදිකාව පවා අර්බුදයට පත් වුණු අවස්ථාවක එය ලයනල් වෙන්ඞ්ට් එකට පැමිණියා.

සාහිත්‍යකරුවා කියන්නේ රාජ්‍යයක් තුළ රාජ්‍යයක්


ප‍්‍රශ්නය. පවතින තත්ත්වය තුළ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඇතුළු පොතපත මිල දී ගැනීම තිබුණු තවත් බොහෝ අවස්ථාවන් වසරින් වසර කල් යන තත්ත්වයක් දකින්නට ලැබෙනව. නිර්මාණකරුවෙක් ලෙස ඒ පිළිබඳව ඔබ දරන මතය.

 පිළිතුර:- ඒ පොත් ප‍්‍රදර්ශනය අපගේ සමකාලීන කියවීම් සංස්කෘතියේ දැවැන්ත ස්මාරකයක්. ඊට සහභාගි වන සෙනඟ සංස්කෘතික විරෝධී කුමන්ත‍්‍රණකරුවන්ට බිලි වී විසිර යන්නට ඉඩ දිය යුතු නැහැ. ‘බිග් බෑඞ් වුල්ෆ්’ කොළඹ ප‍්‍රදර්ශනය ඔන්ලයින් ක‍්‍රමයට පැවැත්වූවා. ගිය වසරේ ස්වර්ණ පුස්තක, ගොඩගේ හා විද්‍යොදය සාහිත්‍ය උත්සව පැවැත්වුණා. කොළඹ හා මාලදිවයින් ප‍්‍රංශ තානාපති කාර්යාලය ළඟ දී වසන්ත ඡායාරූප තරගය ‘මගේ දූපත’ නමින් පැවැත්වූවා.

 ප‍්‍රශ්නය‘online’ තාක්ෂණය ඔස්සේ පාඨකයන් තම අවශ්‍යතාවන් සපුරා ගැනීමක් මේ වන විට දක්නට ලැබෙනව. සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතාවක් ලෙස එය හැඳින්විය හැකි ද?

 පිළිතුර:- ඒ ප‍්‍රශ්නයට මට තිබෙන්නේ සිංහල සාහිත්‍ය සංස්කෘතියේ දීර්ඝ කාලීන පැවැත්මට අදාළ පිළිතුරක්. මගේ පිළිතුර සාහිත්‍යය පැවැත්ම පිළිබඳව එෆ්. ආර්. ලීව්ස් විචාරකයා දැක්වූ විශ්වාසයට අදාළ ලීවීසියානු (Leavisian) පිළිතුරක්. අපි කව්රුත් දන්නා ඓතිහාසික කාරණයක් තමයි ඉතාලියේ මයිකල් ඇංජිලෝ, ලියනාඩෝ ඩාවින්චි වැනි මහා පුරුෂයන් බිහි වුණු ‘විද්‍යා පුනර්ජීවනය’ ඇති වුණේ අඳුරු යුගයේ ‘කළු මරණය’ මහා වසංගතයට පසුව බව. මේ කොරෝනා වසංගතය සමඟ අපි යන්නේ තවත් අඳුරු යුගයකට (Dark Age) නම් අලූත් විද්‍යා පුනර්ජීවනයක් වෙනුවෙන් අපි අපගේ සංස්කෘතිය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද‘online’ තාක්ෂණය ඒ වෙනුවෙන් අපිට තියෙන හොඳ පශ්චාත්-නූතන මෙවලමක්. ඒ ඔස්සේ අවශ්‍යතාවන් සපුරා ගැනීමක් මේ වන විට දක්නට ලැබෙනව. ලෝක මට්ටමින් සාහිත්‍යය සම්බන්ධයෙන් සිදු ව‘online’ සංවාද ඉතා වැදගත් මට්ටමක තියෙනවා. ඒවා ශෝක්! පංකාදුයි! එල! බ්‍රෝ! වෝව්! අනිවා! සහ බලූ නගුටු රූප විචාරය ඉක්මවා යනවා. ඒ මාධ්‍යයෙන් සමහර ගැඹුරු කෙටි විචාර ඉදිරිපත් කරන්නේ උසස් අධ්‍යාපනයක් ලැබූ අරාබි කාන්තාවන් ය. ලංකාවේ ද එවැනි විදග්ධ ‘ඔන්ලයින් විචාරකයෝ’ සුළු දෙනෙක් බිහි වෙලා තියෙනවා. වාණිජ ලෝකයේ දූෂණය මැද කලාකරුවකු ‘බොහීමියානු ආත්මයක්’ නඩත්තු කර ගත යුතු බව රංජිත් නාඔටුන්න මාක්ස් ග‍්‍රයින්ඩර් නම් නැණවත් මහතෙක් ඔහුගේ මුහුණුපොතේ උත්ප‍්‍රාසාත්මක ශෛලියකින් මෙසේ ලියා තිබුණා. ‘නූතන කවියෙක් කොරෝනා පොසිටිව් කියා පෝස්ටුවක් දුටුවෙමි. කවි පොසිටිව් වුණාට කවියා නෙගටිව් විය යුතුය යන කලාවේ සොබාදහම කවියෝ පොත්කඩ කරන්නට ගොස් අනාගත්ත නිසා ද මෙහෙම වුණේ කියා සැකයක් පැනනැගුණේ කවි ලියූ මහගම සේකර මතක් වෙලාය. එහි ‘පෝස්ටුවේ’ පුද්ගල අදාළත්වයේ සන්දර්භය නොදන්නා නමුත් එයින් කියවන්නේ කලාකරුවන්ගේ නිර්මාණ ජීවිතය සම්බන්ධයෙන් වැදගත් කාරණයක්. එය මහගම සේකර පමණක් නොව ටී.එස්. එලියට්, ෆ්රාන්ස් කෆ්කා, ජෝසප් කොන්රඞ් වැනි ලේඛකයින් කාස රෝගය, මානසික අවපාතය වගේ ඉතා නිෂේධනාත්මක කායික මානසික තත්ත්ව මැද නිර්මාණයෙහි යෙදුණු ලේඛකයන් ද අපට මතක් කර දෙනවා.

සාහිත්‍යකරුවා කියන්නේ රාජ්‍යයක් තුළ රාජ්‍යයක්

ප‍්‍රශ්නය:- ගත වූ වසර තුන ඇතුළත ඔබ විසින් රචිත නවකතා ත‍්‍රිත්වයක් ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ කෘති බවට පත් වෙනව. ඔබේ නිර්මාණ ජීවිතය තුළ එය සුවිශේෂ තත්ත්වයක් ද?

 පිළිතුර:- සම්මාන දිනුම සාහිත්‍ය ප‍්‍රතිචාර සංස්කෘතියේ එක අංගයක් පමණයි. නොබෙල් තෑග්ග ලැබීම ප‍්‍රමාද වෙද්දී ආජෙන්ටීනියානු ලේඛක ලූයී බොහේෂ් කියන්නට පුරුදු වෙලා හිටිය විහිළුවක් තිබුණා. එනම්, ලේඛකයින්ට නොබෙල් තෑග්ග නොදෙන ස්කැන්ඩිනේවියානු සංස්කෘතික චාරිත‍්‍රයක් ස්වීඩන් කියන රටේ තියනවා කියලා. අර නැණවත් රංජිත් නාඔටුන්න මාක්ස් ග‍්‍රයින්ඩර් මහත්තයා කියනවා වගේ මට තියෙන්නේ ඊට වඩා නිෂේධනාත්මක සුවිශේෂ තත්ත්වයන්. ධර්මසේන පතිරාජ මහත්තයා මියයද්දී අපි ‘කිඹුලා’ නමින්, ‘ත‍්‍රී අන්වයිස් මෙන්’ නමින් තිරරචනා දෙකක් ලියමින් උන්නා. ලයනල් නම් පරිහානිගත වාමාංශික (decadent leftist) චරිතය මුල්කර ගනිමින් ‘පාද යාත‍්‍රා’ නවකතාව සිනමාවට නඟන්නට ඔහුට වුවමනා වුණා. ඊටත් වඩා සුවිශේෂ තත්ත්වය තමයි ‘කුකුලන් කෙටවීම’ පාදක කර ගනිමින් කල්පිටියේ සිංහල ධීවර ප‍්‍රජාව හා ලූණු ලේවාකාර මුස්ලිම් ප‍්‍රජාව පාදක කර ගනිමින් සම්පූර්ණ කර තිබුණු ‘මීපැණි සහ අළු’ චිත‍්‍රපටිය නැතිභංග වීම. එය මෙරට සිදු වුණු මහා සංස්කෘතික අපරාධයක්. පේ‍්‍රමසිරි කේමදාස වෙනුවෙන් ‘අග්නි’ ඔපෙරා පිටපත රචනා කළාට පසු මා එතුමාගේ දියණිය ගයාත‍්‍රි කේමදාස වෙනුවෙන් ‘පූලන් දේවි’ ඔපෙරා පිටපතත්, හර්ෂ ආර්යසිංහ වෙනුවෙන් ‘සොක‍්‍රටීස්’ ඔපෙරා පිටපතත්, අජිත් කුමාරසිරි වෙනුවෙන් ‘පේ‍්‍රම ලාම්පුව’ රොක් ඔපෙරා පිටපතත් රචනා කළා. ඒවා එකක්වත් නිෂ්පාදනය කරන්නට මුදල් හොයා ගන්න ලැබුණේ නැහැ.

 ප‍්‍රශ්නය:- මෙවරත් (2021) ස්වර්ණ පුස්තක සම්මාන දෙවන වටය පිණිස නිර්දේශ කෘති අතරට ඔබගේ නවකතාවක් (මැස්සා) ඇතුළත් වෙනව. එය නිර්මාණාත්මක ප‍්‍රයෝග ඇතුළත් කිරීම තුළ සිදුවන දෙයක් ද? එසේ නොවේ නම් ඔබගේ නිර්මාණාත්මක අනන්‍යතාව කුමක් ද?

 පිළිතුර:- මැස්සා අයිති වන්නේ ව්‍යසන-පාපොච්චාරණ වර්ගයේ නවකතාවලටයි. එනම් කතා නායකයා ඔහුගේ පුද්ගලික අපායක් වැනි හදවත හෙළිදරව් කරන විට ඒ ඔස්සේ සමාජ ව්‍යසනය ගැන කියවෙනවා. මැස්සා මෙරට බරපතළ බුද්ධිමය කඩාවැටීම, ව්‍යාකූලත්වය හා බුද්ධිමය අසරණකම පෙන්නුම් කරන කුඩා නවකතාවක්. එහි කතා නායකයා උසස් අධ්‍යාපනයක් ලබා ගත් තරුණයෙක් වන නමුත් ඔහු මූලික බුද්ධිමය

 පිළිගැනීම් පවා ඉවත දමා හේතුවාදීන්ගේ සංගමයට විරුද්ධව පෘථිවිය පැතලිය කියන මධ්‍යකාලීන අඳුරු යුගයේ ප‍්‍රවාදයට අනුව ‘පෘථිවි සමතලාවාදීන්ගේ සංගමය’ පිහිටුවනවා. මහගෙදරක පැවතුණු දිනපොත් ලිවීමේ සම්ප‍්‍රදාය අනුව ඒ කතාව කියවෙනවා. ඔහුගේ අයියා විද්‍යාඥයෙක්. ඔහු දුර්ලභ සුදු නාගයකු සිය කාමරයේ සුරතලට ඇති කරනවා. ඒ විෂඝෝර සර්පයා දෂ්ට කිරීම නිසා ඔහු මියයනවා. අක්කා නඩුකාරයෙක්. ඇගේ සැමියා පොලිස් නිලධාරියෙක්. සැමියා මානව හිමිකම් චෝදනාවලට ලක් වෙනවා. අක්කා දිවි නසා ගන්නවා. මත්පැන් විෂ වී ඔවුන්ගේ ගමේ බොහෝ දෙනෙක් මියයනවා. විද්‍යා සිසුවකු වුවත් දර්ශනවාදය හදාරන්නට ඔහු සරසවි අවසරය නොලැබෙන අවංක උත්සාහයක් ගන්නවා. සරසවි දර්ශන අංශයේ පීඨාධිපති හාමුදුරුවෝ තම දර්ශන විෂයේ අවසානය දකිමින් විදේශගත වෙනවා.

 ප‍්‍රශ්නය:- ඔබගේ නිර්මාණ තුළ විශද වන ප‍්‍රධාන ලක්ෂණයක් තමයි යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීම රීතියක් ලෙස එය නිර්මාණයක් පිණිස වැදගත් වන්නේ ඇයි

 පිළිතුර:- අද මගේ නවකතව ආකෘතිවාදයට යොමු වුණු යථාර්ථවාදී එකක්. සාහිත්‍ය නිර්මාණයක ආකෘතිය හා අන්තර්ගතය එකිනෙකින් වෙන් කරන්න පුළුවන් කියන මිථ්‍යාව මෙරට ඇති වුණේ සෝවියට් ජනතාවාදය නිසා. ඊට පසුකාලීනව පැමිණි එහි දරුවා වූ ව්‍යාපෘති සාහිත්‍යය එය නව ශෛලි කියන බූරු කූට්ටම ඇනීමක් බවට පෙරළා ගත්තා. මේක අලූත් ජනප‍්‍රිය සිනමාවේ ස්පෙෂල් ඉෆෙක්ට්, හයිටෙක් නිසා ඇති වුණු අදහසක් වෙන්න පුළුවන්. මගේ අනන්‍යතාව ඒ ප‍්‍රවණතා දෙකටම ගොදුරු නොවීමේ ප‍්‍රතිවිපාකයක් විය හැකියි. එය පහසු ගමනක් වුණේ නැහැ. අද ලෝකය පුරාම කිසියම් ප‍්‍රබන්ධිත ස්වරූපයක් සමඟ සමාජ, දේශපාලන හා සංස්කෘතික යථාර්ථය පවතිනවා තමයි. නමුත් එහෙම යථාර්ථයක් නැහැ, තියෙන්නේ ප‍්‍රබන්ධයක් පමණයි කියන පිලිස්තීනු මතයට අපිට එන්න බැහැ. අද කොරෝනා මත පදනම් වුණු ප‍්‍රබන්ධාත්මක උපරි ව්‍යුහයක් තිබුණාට අපිට කියන්න පුළුවන් ද එහෙම විෂබීජයක් නැහැයි, විද්‍යා සංස්කෘතියේ අලූත් පිබිදීමක් නැහැයි, මහජන ව්‍යසනයක් නැහැයි කියලා. ඒත් කෙනෙකුට නවකථාවක් ලියන්න පුළුවන් දිව්‍ය ලෝකයේ හෝ අපායේ හෝ කොරෝනා ව්‍යාප්තියක් ගැන. එහෙම නැතිනම් කොරෝනා නිසා බිහි වුණු කෆ්කානු හෝ ඕවලියානු දුෂ්රාජ්‍යක් ගැන. ඒ තමයි සාහිත්‍යයේ යථාර්ථවාදය.

 ප‍්‍රශ්නය:- ඔබ කෙටි නවකතා පිණිස වැඩි නැඹුරුවක් දක්වන ස්වභාවයක් දකින්නට ලැබෙනව. ඔබ ඒ මතය බැහැර කරනව ද?

 පිළිතුර:- කෙටි නවකතාව වෙනම සාහිත්‍ය ප‍්‍රභේදයක්. එය යථාර්ථය පිළිබඳ වඩාත් ආකෘතිවාදී කටයුත්තක්. මගේ පේත සහ මැස්සා කෙටි නවකතා තමයි. කෙටි නවකතාව චිත‍්‍ර කලාවේ ‘වියුක්ත කලාව’ (Abstract Art) වගේ සාහිත්‍යය සතු වියමන් ගුණයෙන්, සාහිත්‍යතාවයෙන්, ප‍්‍රබන්ධීයභාවයෙන් වඩාත් ප‍්‍රයෝජන ගන්නා සාහිත්‍ය ප‍්‍රභේදයක්. නවකතාවටත් ඇලිස්ගේ විස්මලන්තයේ ඇලිස් වගේ ලොකු වෙන්නටත්, කුඩා වෙන්නටත් පුළුවන් වුණාට අපි එහි සෞන්දර්යවේදය නිවැරදිව වටහා ගත යුතුයි. එනම්, කුඩා නවකතාව ලොකු වී, ලොකු නවකතාව ඇති වුණා නොවෙයි. නවකතාව කුඩා වී ‘නොවෙල්ලා’ හෙවත් කුඩා නවකතාව බිහි වුණයි කියන එක. නොවෙල්ලාව වෙහෙසකර යථාර්ථවාදයේ විරාම සුසුමක් කියන්න පුළුවන්.

 සාකච්ඡා කළේ –  රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment