සාහිත කෙත වනසන “පී.ඩී.එෆ්” හොරු

168

පහුගිය දින කීපය ඇතුළත සමාජ මාධ්‍ය කැළඹූ මාතෘකාවක් තමයි මේ “පී.ඩී.එෆ් ජාවාරම” කියන මාතෘකාව.. මේ මාතෘකාව මේ වන විට සමාජ මාධ්‍ය ඉක්මවා ගිහින් විද්‍යුත් මාධ්‍ය දක්වාත් ඇවිත් ඉවරයි.

ජාවාරම්, මංකොල්ලකෑම්, සොරකම් වගේ දේවල් අපේ රටේ මිනිස්සුන්ට ආගන්තුක වචන නෙවෙයි. ඒත් මොකක්ද මේ “පී.ඩී.එෆ් ජාවාරම”.? අනිවාර්යෙන්ම මේ මාතෘකාව නම් අපේ රටේ බහුතරයකට තවමත් ආගන්තුක කතාවක්. ඒ නිසා මුලින්ම ඒ ගැන පැහැදිළි කරලා දෙන එක වැදගත්..

“පී.ඩී.එෆ්” කියන කෙටි යෙදුමෙන් හැඳින්වෙන්නේ Portable Document Format (PDF) එහෙමත් නැතිනම් පහසුවෙන් ඒ මේ අත ගෙන යා හැකි ලේඛණ ආකෘතියක් කියන එකයි. මේ ලේඛණ ආකෘතිය මුද්‍රිත ලේඛණයක තියෙන සියලුම අංගයන් විද්‍යුත් රූපයක් ලෙස ග්‍රහණය කරගෙන ඇති, කියවන්න, බලන්න, ගවේෂණය කරන්න හෝ මුද්‍රණය කරන්න වෙනත් කෙනකුට පහසුවෙන්ම යොමු කරන්න පුළුවන් විදිහේ ගොනු ආකෘතියක්.

ඉතින්, වර්තමානයේදී මේ කතාබහට ලක් වෙන “පී.ඩි.එෆ් මංකොල්ලයේදී සිද්ධ වෙන්නෙ, ලංකාවේ මුද්‍රණය වෙන කෘති මේ විදිහේ පීඩීඑෆ් ආකෘති බවට පත් කරලා, අන්තර්ජාලය ඔස්සේ, සමාජ මාධ්‍ය සහ වෙනත් වෙබ් අඩවි ඔස්සේ බෙදාහරින එකයි. ඔවුන් මේ විදිහට මේ නවකතා, පරිවර්තන හෝ වෙනත් කෘතීන් බෙදා හරින්නේ අනවසරයෙන්. නීති විරෝධී ආකාරයෙන්. ඒ කියන්නේ මේ පොත්වල හිමිකම් දරන පාර්ශ්වයන් වන කතුවරුන්, ප්‍රකාශකවරුන්ගේ නිසි අවසරයක් නැතිව. සරලවම කිව්වොත් “හොරෙන්.” මේ හොරකම මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දැවැන්ත හානියක් සිදු කරන ක්‍රියාවක්. ඒ වගේම එය නීති විරෝධී ක්‍රියාවක්. 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ හයවන වගන්තියේ සඳහන් වෙන අන්දමට, කිසියම් පුද්ගලයකු විසින් යම් කෘතියක් එකී කෘතියේ කතුවරයාගේ හෝ ප්‍රකාශන අයිතිය සතු ආයතනයේ අවසරයකින් තොරව අදාළ කෘතිය හෝ කෘතියේ කොටසක් බැහැර කිරීම, බෙදාහැරීම දඬුවම් ලැබිය යුතු වරදක්.

පාඨකයන් වශයෙන් අපට අඩු මුදලක් වැය කරමින් කියවන්න පුළුවන් නීත්‍යානුකූල පීඩීඑෆ් තියෙනවද.? කෙනකුට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

පොතක් කිව්වාම අපේ මතකයට නැඟෙන්නෙම අතින් අරගෙන, පිටු පෙරළමින්, කඩදාසි වල, තීන්ත වල සුවඳ විඳිමින්, කියවන්න පුළුවන් දෙයක්.. ඒත් තාක්ෂණයේ දියුණුවත් එක්ක පොත්වලටත් අලුත් ස්වරූපයන් ලැබුණා. පී.ඩී.එෆ් කියන්නෙ පොතක් ඉදිරිපත් කරන්නට පුළුවන් ස්වරූපයන්ගෙන් එකක් පමණයි. තාක්ෂණය දියුණු වෙලා, පරිගණකය අත්ලට ගන්න පුළුවන් තැනට එනකොට, ජංගම දුරකථනය සියලුම කාර්යයන්වලට යොදා ගන්න මෙවලමක් දක්වාම දියුණු වෙනකොට, පොත් ඩිජිටල් ස්වරූප අරගෙන අන්තර්ජාලය ඔස්සේ මිනිසුන්ගේ අත්ලට ආවා. පීඩීඑෆ්, ඊ බුක් ( E-books), ඕඩියෝ බුක්ස් (audio books) වගේ වෙනස් ස්වරූපයන්ගෙන් පොත් කියවන්න මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල්වල පාඨකයන් හුරුව සිටිනවා. ලෝකයේ දැවැන්ත ප්‍රකාශන ආයතන පවා යම් පොතක මුද්‍රිත පිටපත වෙළෙඳපොළට නිකුත් කරද්දීම, එහි විද්‍යුත් පිටපත්ද නියමිත මිලක් ගෙවා මිලදී ගැනීමේ පහසුකම සලසනවා. ලංකාවේත් ඇතැම් ප්‍රකාශන ආයතන විසින් මේ ආකාරයට පොත්වල විද්‍යුත් කොපි වෙළෙඳපොළට නිකුත් කරන්නට කටයුතු කරලා තියෙනවා. ගුණසේන ආයතනයෙන් බිහි කළ “ගුරුළුගෝමී” “ඇප් එක” එවැන්නක්. වර්තමානයේ පැතිරිලා තියෙන මේ හොර පීඩීඑෆ් ජාවාරම නිසා ඒ නීත්‍යානුකූල විද්‍යුත් පොත්වල අලෙවියටත් දැන් බාධා ඇති වෙලා.

ලේඛකයෙක්, ලේඛිකාවක් තමන්ගේ හිතේ උපදින වස්තු බීජය පොතක් බවට පත් කරලා, පාඨකයාගේ අතට ලබා දෙන්න සෑහෙන වෙහෙසක් දරනවා. කාලය ශ්‍රමය වැය කරලා, බොහෝ විට තමන්ගේ අතින්ම වියදම් කරගෙන අදාළ තොරතුරු එක්රැස් කරලා, ඒ වෙනුවෙන් සෑහෙන තරමේ මහන්සියක් වෙනවා. සමහර වෙලාවට එක පොතකට අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීමට පවා ලේඛකයකුට වසර ගණනාවක් වැය වන අවස්ථාවන් තියෙනවා. ලංකාවේ පොත් කර්මාන්තය දැවැන්ත ව්‍යාපාරයක් නොවෙන නිසා පොතක් ලිවීමෙන් ලේඛකයකුට ලැබෙන්නෙ සුළු ආර්ථික ප්‍රතිලාභයක්. ජනප්‍රිය කතුවරයකුට හැරෙන්නට සාමාන්‍ය ලේඛකයකුට මේ ලිවීම වෘත්තියක් වශයෙන් කරන්නට බැහැ. ඒ නිසාම බොහෝ ලේඛකයන් පොත් ලිවීම කරන්නේ තවත් රැකියාවක් කරන ගමන්. ඒ කියන්නේ පොතක් වෙනුවෙන් ඔවුන් කැප කරන්නෙ තමන්ගෙ විවේක කාලය.. නැතිනම් රාත්‍රී කාලය. රාත්‍රීන් ගණනාවක් නිදි වරමින්, වෙහෙස මහන්සියෙන් කරුණු එකතු කරමින් ඔවුන් අපේ සාහිත්‍යය ලෝකයට කෘතියක් එකතු කරනවා කියන්නේම මහ දැවැන්ත කැපකිරීමක්.

පරිවර්තන කෘතීන් ගත්තොත්, එයත් ස්වතන්ත්‍ර කෘතියක් බිහි කරන තරමටම වෙහෙසකර කාර්යයක්. ඒ වගේම ස්වතන්ත්‍ර කෘතීන්වලට වඩා මුදලක් වැය කළ යුතු කාර්යයක්. සිංහල භාෂාවෙන් කියවන පාඨකයන් වෙනුවෙන් විදෙස් කෘති පරිවර්තනය කර ලබා දෙන්නට නම්, ඒ සඳහා ඒ කෘතිවල මුල් කතෘවරුන්ගෙන්, අදාළ ප්‍රකාශන ආයතනවලින් නිසි අවසරය ලබාගත යුතු වෙනවා. ඒ සඳහා ඒ ඒ ආයතනවලට ලක්ෂ ගණනින් මුදල් ගෙවන්නට සිදු වෙනවා.

මේ වගේ කැප කිරීම් කරලා ලියා ගන්න පොත, නැතිනම් පරිවර්තනය, ප්‍රකාශකයකු අතට පත් වුණාම, එය පොතක් බවට පත් කරන්න ඒ ප්‍රකාශකයාටත් සෑහෙන වියදමක්, කැප කිරීමක් කරන්නට සිදු වෙනවා. පොතේ පිටු සැකසුම්වලට, සෝදු පත් බලන්න, කවර නිර්මාණයට, මුද්‍රණයට, බෙදාහැරීමට ප්‍රකාශකයකුට ලොකු මහන්සියක් වගේම වියදමකුත් දරන්නට සිදු වෙනවා. මේ සියලු දේත් කරලා, බොහෝ පොත්වලින් එක් මුද්‍රණ වාරයකට මුද්‍රණය වෙන්නේ පොත් දාහක් දෙදාහක් වැනි සංඛ්‍යාවක් පමණයි. ඒ, අපේ රටේ පොත් ක්ෂේත්‍රය අනෙක් රටවල්වල වගේ දැවැන්ත කර්මාන්තයක් නොවෙන නිසාත්, එක් වසරක් ඇතුළත විකුණාගත හැකි වෙන්නේ පොත් දාහක් දෙදාහක් වැනි සංඛ්‍යාවක් පමණක් වෙන නිසාත්..

මේ වගේ දුෂ්කර ව්‍යායාමයකට පස්සෙ, පොතක් වෙළෙඳපොළට නිකුත් වුණාම, ඒ පොත නිකුත් වෙලා අවුරුද්දක්වත් – සමහර විට මාස ගණනක්වත්- ගත වෙන්න කළින්ම, ඒ පොත කතුවරයාගේ හෝ ප්‍රකාශකයාගේ අවසරයකින් තොරව අනීතික පී.ඩී.එෆ් බවට පත් කරලා, අන්තර්ජාලයෙන් නොමිලයේ බෙදා හැරෙනවා නම්…

ඔව්.. ඒ වගේ තත්ත්වයකදී, අර පොත ලියන්නට වෙහෙසුණු ලේඛකයාටත්, එය මුද්‍රණය කරන්නට ධනයත් ශ්‍රමයත් කැප කළ ප්‍රකාශකයාටත්, ඒ වෙනුවෙන් වැඩ කළ ප්‍රකාශන ක්ෂේත්‍රයේ අනෙකුත් සියලු වෘත්තිකයන්ටත් වදින පහර ගැන අමුතුවෙන් කිව යුතු නෑ නේද.?

මේ පී.ඩී.එෆ් ජාවාරම අදක ඊයේක ඇති වුණ ප්‍රශ්නයක් නෙවෙයි. අවුරුදු ගණනාවක පටන් මේ සොරකම සිදුවෙමින් පවතිනවා. එහෙත් මුලින් මුලින් වෙබ් අඩවි කිහිපයකින් පමණක් අනවසර පී.ඩී.එෆ් බෙදා හැරීම සිදු වුණත් මේ වන විට සමාජ මාධ්‍ය සමූහ, බ්ලොග් අඩවි රාශියකින් මේ සොරකම සිදු වෙමින් තියෙනවා. ඒ සමාජ මාධ්‍ය සමූහවල හා බ්ලොග් අඩවි තුළ තිස්දාහකට අධික සාමාජික පිරිසකුත් ඉන්නවා. මෙරට ලේඛක ලේඛිකාවන් 700 කට අධික ප්‍රමාණයකගේ පොත් තුන්දහසකට අධික ප්‍රමාණයක් මේ වෙබ් අඩවි තුළ අනවසරයෙන් බෙදා හැරෙනවා. මෙය කොතරම් දැවැන්ත සොරකමක් දැයි ඔබට සිතා ගන්නට පුළුවන්ද..

ඉතින් පොත් ගන්නට මුදල් නැති පාඨකයන් වෙනුවෙන් නොමිලේ පොත් බාගත කරගන්නට අවස්ථාව ලබා දීම ලොකු වරදක්ද.? කෙනකුට එහෙම හිතෙන්නට පුළුවන්. ඒත් මේ ජාවාරම මතුපිටින් පෙනෙන ආකාරයට, නොමිලේ පොත් බෙදාහැරීමේ සමාජ සත්කාරයක් නෙවෙයි. ඔවුන් නොමිලේ පොත් බෙදාහරිමින් තමන්ගේ වෙබ් අඩවිවල පරිශීලකයන් සංඛ්‍යාව වැඩි කරගන්නවා. ඒ වෙබ් අඩවිවලට පිවිසෙන පිරිස වැඩි වෙන විට ඔවුන් ඒ මගින් වෙළෙඳ දැන්වීම් පළ කරමින් මුදල් උපයනවා. එපමණකින් නොනැවතී, ඔවුන් සතුව ඇති පීඩීඑෆ් පොත් මුද්‍රණය කර මුද්‍රිත පිටපත් විකිණීම පවා කරන බවට මේ වන විට සාක්ෂි ලැබෙමින් පවතිනවා.

මෙහි ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද.? පොත් කියවන්නට කැමති, ඒත් පොතක් මිලදී ගන්නට මුදල් නැති හෝ ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්නට අකමැති ඔබට අද දවසේ පොතක් කියවන්නට ලැබේවි. ඒත් මේ ආකාරයට දැනට වෙළෙඳපොළේ ඇති පොත් නොමිලේ බෙදාහැරෙන කොට, ඒ පොත්වල අලෙවිය අඩු වීම අනිවාර්යෙන් සිදු වෙනවා. මේ වන විටත් එය සිදු වෙලා හමාරයි. පොත්වල අලෙවිය අඩු වුණාම, ප්‍රකාශකයන්ට පොත් මුද්‍රණය සීමා කරන්නට සිදු වෙනවා. ඇත්තටම ලාභයක් නැති ව්‍යාපාරයකින් පලක් නැහැනෙ. පොත් මුද්‍රණය සීමා කෙරෙනකොට අලුතින් මුද්‍රණය කෙරෙන පොත් සංඛ්‍යාව අඩු වීමත් සහ අලුත් පොත් වෙළෙඳපොළට නොපැමිණීමත් සිදු වෙනවා. ඒ කියන්නේ පොත් ප්‍රකාශකයන් පොත් මුද්‍රණය කරන්නේ නැති නම්, ලේඛකයන්ටත් ලිවීම සීමා කරන්නට සිදු වේවි. අලුත් ලේඛක ලේඛිකාවන් බිහිවීම නවතීවි. එතකොට පාඨක ඔබ හෙට දවසේ කියවන්නට බලාපොරොත්තුවෙන් හිටපු පොත් ඔබට අහිමි වේවි. අලුත් පොත්, අලුත් ලේඛක ලේඛකයන් නැති විට මේ ක්ෂේත්‍රයේ ඉදිරි ගමන නවතීවි. ලේඛකයා, ප්‍රකාශකයා පමණක් නෙවෙයි පොත්වල පිටු සකසන, සෝදුපත් කියවන, කවර නිර්මාණය කරන වෘත්තිකයන්ගේ පටන් පොත් බෙදාහරින්නන් දක්වා වන, ප්‍රකාශන ක්ෂේත්‍රයේ සිය දහස් ගණනකගේ රැකියා අහිමි වේවි. ඒ හැම දෙයකටමත් වඩා, කියවීමෙන් ගොඩ නැඟෙන අපේ ඊළඟ පරම්පරාවේ යහපත් අනාගතයත් අහිමි වේවි. ඇත්තටම එය අපරාධයක්.

මේ අපරාධයේ වින්දිතයන් වූ ලේඛක ලේඛිකාවන් මීට පෙරත් තනි තනිව මේ වෙනුවෙන් සටන් කළා. තමන්ගේ බුද්ධිමය දේපල අයිතිය වෙනුවෙන් තනි තනිව කතා කළා. ඒත් මේ වන විට මේ ප්‍රශ්නය ඔඩු දුවලා. කතුවරුන්ට, ප්‍රකාශකයන්ට අභියෝග කරන්නට තරම් සොරුන් ශක්තිමත් වෙලා. පසුගිය දවසක සිදුවුණු එවැනි අභියෝගයකින් පසුව තමයි, මේ සියලු කතුවරුන්, ප්‍රකාශකවරුන් හා බහුතර පාඨකයන් එකතු වෙලා මේ ජාවාරමට එරෙහිව කතා කරන්නට තීරණය කරන්නේ. දින අටක් තිස්සේ කෙරුණු සාමූහික මෙහෙයුමකින් මේ පී.ඩී.එෆ්. හොරකමට වගකිවයුතු පාර්ශ්වන් පිළිබඳව කරුණු අනාවරණය කර ගන්නටත් මේ පිරිසට හැකි වුණා. ඉන් පසුව එතෙක් අසංවිධානාත්මක පිරිසක් ලෙස කටයුතු කළ මේ පිරිස සංවිධානාත්මක ව්‍යුහයක් ගොඩනඟාගෙන, මේ ප්‍රශ්නය නීතිය හමුවට ගෙන යන්නට තීරණය කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ලේඛක, පාඨක, ප්‍රකාශක යන තුන්වැදෑරුම් පිරිසගේ එකතුවෙන් “අනීතික පී.ඩී.එෆ්. මංකොල්ලයට එරෙහි ලේඛක, ප්‍රකාශක හා පාඨක එකමුතුව” කියන සංවිධානාත්මක ව්‍යුහය බිහිවෙන්නේ. මේ ලේඛක, ප්‍රකාශක, පාඨක එකමුතුව සමග ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයද එකතු වීමත් සමග පසුගියදා ඔවුන් විසින් පැමිණිළි තිස් පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන්නා. එයිනුදු නොනැවතී මෙම සංගමය විසින් තව දුරටත් මේ අනීතික පී.ඩී.එෆ්. පිළිබඳව ගවේෂණය කරන බවත්, දැනට මග හැරී ඇති අනීතික පී.ඩී.එෆ්. අඩවි පිළිබඳව ඉදිරියේදී පැමිණිලි ගොනු කරන බවත්, ඉදිරියේදීත් මේ ගැන සෙවිල්ලෙන් සිටින බවත් ලේඛක, ප්‍රකාශක, පාඨක එකමුතුවේ සභාපතිනිය වන තනෝජා වඩුගේ මහත්මිය අප සමග පවසා සිටියා.

නිම්මි මුදිතා හේරත්
****

අනවසර පීඩීඑෆ් ජාවාරමෙන් පොතක වටිනාකම හානිවෙනවා

සාහිත කෙත වනසන “පී.ඩී.එෆ්” හොරු

සමාජය ඇතුළේ දී පොතක් සාමාන්‍යයෙන් දෙයාකාරයකට වටිනාකමට, ඇගයීමකට ලක් වෙනවා. ඉන් පළමුවැන්න පොතකට ලැබෙන වෙළෙඳපොළ වටිනාකමයි. දෙවැන්න තමයි එය බුද්ධිමය දේපලක් වශයෙන් ලැබෙන්නා වූ වටිනාකම. එය කිසිසේත් මිල කළ නොහැකියි. රටේ නීති පද්ධතිය තුළ බුද්ධිමය දේපල පනත හා ඒ හා සම්බන්ධ ආයතන ඇත්තේ පොතක් හෝ ඕනෑම නිර්මාණයක මේ කී දෙවන අයිතිය ආරක්ෂා කිරීමටයි. අනවසර පීඩීඑෆ් ජාවාරමෙන් පොතක මේ දෙයාකාරයේම වටිනාකම්වලට හානිවී අවතක්සේරුවට ලක් වී තියෙනවා. ලංකාව වගේ රටක ගත්කතුවරුන් ගෙන් බහුතරයක් ලිවීම තම වෘත්තීය කරගත් අය. ඒ නිසා අනවසරයෙන් පොත් පීඩීඑෆ් වීමෙන් ඒ පිරිසට විශාල හානියක් පාඩුවක් සිද්ධ වෙනවා. අනික් අතට අපේ රටේ සමාජය තුළ බුද්ධිමය දේපළකට තිබෙන්නා වූ සුරක්ෂිතතාවය මොකක්ද කියන ප්‍රශ්නය දැන් අපි හමුවේ තියෙනවා. ලේඛකයෙක් දුක්මහන්සියෙන් කරපු නිර්මාණයක් කිසිදු අවසරයකින් හෝ වග විභාගයකින් තොරව ප්‍රමිතියෙන් තොර පීඩීඑෆ් බවට පත් කරමින් ලංකාවේ පවත්නා බුද්ධිමය දේපළ නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් බෙදාහැරීම තුළින් නිර්මාණකරුවා අධෙර්යයමත් භාවයට පත් වෙනවා. සියලු දේට පළමු නිර්මාණකරුවකුට බයක් හැකක් නැතුව තමන්ගේ නිර්මාණය නිදහසේ මුදාහැරිය හැකි සමාජයක් අප විසින් බිහි කළ යුතුයි. ඒ වගේම පොත ජීවිකාව කරගෙන ලිවීමේ පටන් මුද්‍රණය, අලෙවිය තෙක් සංකීර්ණ ක්‍රියාදාමය තුළ යැපෙන්නන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතුයි.

ප්‍රවීණ ලේඛිකා මොනිකා පුෂ්පකුමාරි
****

PDF සොරුන්ට අවුවෙච්ච ලේඛක ලේඛිකාවන් 700කට වැඩියි.

සාහිත කෙත වනසන “පී.ඩී.එෆ්” හොරු

මේ වන විටත් කර්මාන්තයක් විදිහට ලංකාවෙ පොත් ප්‍රකාශනය අසීරු අඩියක තියෙන්නෙ. කඩදාසි මිල, තීන්ත, ප්ලේට් වගේ අනෙක් අමුද්‍රව්‍යවල මිල එකට හතර ගුණයකින් විතර වැඩි වෙලා. මේ හේතුව නිසා පොත්වල මිල ඉහළ ගිහින්. අලෙවිය අඩු වෙලා. මේ අර්බුදය දඩමීමා කරගෙන තමයි සංවිධානාත්මක පිරිසක් මේ විදිහට ලේඛක ලේඛිකාවන්ගේ පොත් අනවසරයෙන් PDF බවට පත්කරල අන්තර්ජාලය හරහා බෙදා හැරීම පටන්ගෙන තිබෙන්නෙ. මේක අද ඊයෙ සිදු වුණ දෙයක් නෙමෙයි. වසර ගණනක් තිස්සෙ සුළු වශයෙන් සිදු වුණා. එහෙත් ලේඛක ලේඛිකාවන් විටින් විට හුදෙකලාව මේ සම්බන්ධයෙන් සටන් කළා මිස එකට එක්වී විරෝධය පළ කිරීමක් සිදු වූයේ නැහැ. මුද්‍රණ ක්ෂේත්‍රය තුළින් ලොකු විරෝධයක් මතු නොවන විට මේ ජාවාරම්කරුවන් වඩාත් සංවිධානාත්මකව මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා. ඒ නිසාම අද වෙනකොට එය පුළුල්ව ව්‍යාප්ත වූ ජාලයක් බවට පත්වෙලා විතරක් නෙමෙයි, ලේඛකයන්ට ප්‍රසිද්ධියේ අභියෝග කරන තත්ත්වයකටත් පත්වෙලා. මේ අනීතික … ජාවාරමට එරෙහිව තමයි ලේඛකයන්, ප්‍රකාශකයන් සහ පාඨකයන් එකට එකතු වුණේ. මේ වෙනකොටත් තම කෘති අනවසර PDF සොරුන්ගේ ග්‍රහණයට නතුවූ ලේඛක ලේඛිකාවන් 700කට අධිකයි. පොත් වශයෙන් ගත්තොත් පොත් 3000කට අධිකයි. තවදුරටත් මෙවැනි සොරුන්ට නිදැල්ලේ සාහිත්‍ය කලාව විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි. ඔවුන් නීතිය ගැන සැලකීමක් නැහැ, ලේඛකයක් කෘතියක් බිහි කිරීමට දරන වෙහෙස සහ ප්‍රකාශකයන් පොතක් මුද්‍රණය කිරීමට දරන පිරිවැය ගැන තැකීමක් නැහැ. මුද්‍රණ කර්මාන්තයෙන් යැපෙන දහස් ගණනක් අහිංසක මිනිසුන්ගේ රැකියා අවදානමට පත්වීම ගැන තැකීමක් නැහැ. මේ තත්ත්වය තවදුරටත් පැවතුණොත් එය අනාගතයේ මුද්‍රණ කර්මාන්තට මරු පහරක් වීම වැළැක්විය නොහැකියි. මේ නිසා අපට සිදුවුණා මුලින්ම ලේඛක ලේඛිකාවන්, ප්‍රකාශකයන් සහ පාඨකයන් එකම අරමුණකට ගෙන එන්න. යළි නොලියමි කියන විරෝධතාවය ඇරඹුණේ එහි ප්‍රතිඵලයක් විදිහට. ඇත්තටම තමන්ගේ නිර්මාණ අමු අමුවේ මංකොල්ල කන විට ලේඛකයකුට ලියන්න නොසිතෙන එක පුදුමයක් නෙමෙයි. යළි නොලියමි තුළින් අපි අපේ විරෝධය සංකේතාත්මකව ප්‍රකාශ කළේ ඒ විදිහට. එහෙත් අපි එතනින් නැවතුණේ නෑ. මේ මංකොල්ලකරුවන් ගැන හැකි සෑම තොරතුරක්ම සොයා ගත්තා. ඒ වගේම අපි නීතිය ගැන විශ්වාස කළා. ඒ නිසාම අපි පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ බුද්ධිමය දේපළ මංකොල්ලය ගැන පැමිණිලි ඉදිරිපත් කළා. එදිනම මේ සම්බන්ධ අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය මූලික පියවර තබනු ලැබුවා. අපේ ක්‍රියාමාර්ග සාර්ථක බව අපට දැන් තොරතුරු ලැබෙමින් තිබෙනවා. තව කෙටි කාලයක් තුළ මංකොල්ලකරුවන් රැසක් නීතිය හමුවට ගෙන ඒමට අපට හැකි වේවි. ඒ සමඟම මේ වන විට ඔවුන් තම වෙබ් අඩවි, සමාජ ජාලා සමූහ වසා දමමින් තිබෙනවා. ඔවුන්ගේ සාමාජිකයන් ඒවායින් ඉවත් වෙමින් සිටිනවා. අපට අවශ්‍ය වූ දේ මේවන විට සිදුවෙමින් තිබෙනවා. නීතිය මගින් ඉදිරියේ දී ඔවුන්ට නිසි දඬුවම් ලැබෙනු ඇතැයි අපි සුබවාදී බලාපොරොත්තු තබා ගෙන සිටිනවා. ඒ වගේම අනාගතයේ නැවත මෙවැනි නිර්මාණ මංකොල්ලවලට ඉඩ ඇහිරීම පිණිස පවතින නීතිය තවත් ශක්තිමත් කළ හැකි ආකාරය ගැන ද අප මේ දිනවල සංවාදයට බඳුන් කර තිබෙනවා. මේ සියල්ල නුදුරු අනාගතයේ දී අපට විසඳා ගත හැකිවෙයි. අනීතික PDF වලින් ඈත් වී ඔබ ආදරය කරන ලේඛක ලේඛිකාවන් සහ මේ කර්මාන්තය රැක ගැනීමට ඔබට හැකි දායකත්වය ලබා දෙන ලෙසත් මම මෙරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රවීණ පරිවර්තක/ මාධ්‍යවේදී මංජුල දිසානායක
****

ජාවාරම්කාරයෝ 40කට වැඩියි

සාහිත කෙත වනසන “පී.ඩී.එෆ්” හොරු

වර්තමානයේ මෙරට පවතින ආර්ථික අර්බුදය නිසා ප්‍රකාශන ක්ෂේත්‍රය මුහුණ පා ඇති දැඩි අවදානම් තත්ත්වය දෙගුණ තෙගුණ කරමින් අනීතික PDF ජාවාරමක් ජයට කෙරීගෙන යන බවට බොහෝ සාක්ෂි අපට මේ වන විටත් ලැබී ඇත. උක්ත ජාවාරම නිසා, ලේඛකයාගේ සිට පොත් වෙළෙඳසලෙහි රැකියාව කරන සේවකයා දක්වා වූ සියලුම ජීවිකාවන් අහිමි වී යෑමේ තර්ජනයක් මේ වන විටත් ඇති වී තිබේ. බොහෝ විට පළමු මුද්‍රණය කෘති 1000කට සීමාවන රටක, අනීතික PDF පිටපත් බෙදාගන්නා කණ්ඩායමක් තුළ 30000-40000ක් පමණ පිරිසක් සැරිසරයි. මුද්‍රණ වාර 30-40ක් සිදු කළ හැකි කෘතීන් පළමු හෝ දෙවැනි මුද්‍රණයට සීමා වීම මේ නිසා සිදුව ඇත. මුද්‍රණ පිරිවැය 400% ගුණයකින් පමණ ඉහළ ගිය මෙවන් කාලවකවානුවක මෙම කර්මාන්තය රැක ගැනීමට අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුය. උක්ත ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 40කට ආසන්න ප්‍රමාණයක් අප විසින් සොයාගනු ලැබ ඇති අතර, ඔවුන්ට එරෙහිව ගත හැකි සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

කවීෂ නඳුන් කග්ගොඩආරච්චි අධ්‍යක්ෂ – මියුසස් පබ්ලිෂිං හවුස් පුද්ගලික සමාගම සංවිධායක – අනීතික PDF ජාවාරමට එරෙහි ලේඛක, ප්‍රකාශක සහ පාඨක එකමුතුව

කවීෂ නඳුන් කග්ගොඩආරච්චි
****

අනීතික විදිහට PDF මාර්ගයෙන් බෙදාහැරීම සහ ඒවා කියවීම සාධාරණ ද?

සාහිත කෙත වනසන “පී.ඩී.එෆ්” හොරු

ජීවිතය කියන්නේම අවසානය දක්වා හුස්ම ගන්න හේතුවක් හොයන දිග කතා පොතක්. ඉතින් හොඳ පාඨකයෙක් විදිහට පොත් කියන්නේ ම මට මගේ ජීවිතය වගේ පණ ඇති දෙයක්. කොටින්ම පොත් කියන ප්‍රාණියාව මට දැනෙන්නේ, මගෙ වටේට බැඳලා තියන ශක්තිමත්, සජීවී ප්‍රාකාරයක් විදිහට. ඒ ප්‍රාකාරය ඇතුලේ තියන මානසික විවේකයෙන් මම හැමදාමත් සුවපත් වෙනවා. පාඨකයෙක් විදිහට, මගේ ජීවිතය ඇතුලේ මේ කියන වාතාවරණය ඇති වෙන්න මූලික හේතුව, ‘පොත්’. පොත් බිහිවෙන්න මූලික හේතුව, ‘ලේඛකයා’. ‘ලේඛකයා’ කියන පුද්ගලයා නොහිටින්න, මගේ ජීවිතයේ දැන් තියන වාතාවරණය මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නත් තිබ්බා. කොටින්ම ‘ලේඛකයා’ මාව සුවපත් කරනවා; පාඨක ඔබවත් සුවපත් කරනවා. ඒත් අද, පාඨක අපිව සුව කරන ඒ ලේඛකයාගේ නිර්මාණ තර්ජනයට ලක් වෙලා. ඔවුන්ගේ නිර්මාණ අනීතික විදිහට, තර්ජනාත්මකව මංකොල්ල කනවා. අද වෙනකොට, ලේඛකයාගේ බුද්ධිමය දේපළ මංකොල්ලය ගැන; අනීතික, අනවසර PDF ජාවාරම ගැන, මුළු රටම දැනුවත්. හොඳ පාඨකයන් විදිහට අපි අපෙන් ම මෙන් මේ ප්‍රශ්නය අහන්න ඕන. අවුරුදු ගණන් වෙහෙසිලා, කරුණු කාරණා එකතු කරලා; ගලපලා, තමන්ගේ කාලය, ශ්‍රමය, මුදල් වැය කරලා ලේඛකයා කරන නිර්මාණයට අපි වටිනාකමක් දිය යුතු නැතිද? අවුරුදු ගානක ලේඛකයා ගේ මහන්සිය, අනීතික විදිහට PDF මාර්ගයෙන් බෙදාහැරීම සහ ඒවා කියවීම සාධාරණ ද? සහෘද පාඨකයිනි, පොතක් කියන්නේ ම ජීවිතයක්; තවත් එක ආත්මයක්. ඒ ජීවිතය භෞතිකව ස්පර්ශ නොකර ඒක අත්විඳින්නේ කොහොමද? අනීතික PDF නිසා මේ ක්‍රමයෙන් වැළලී යන්නේ අපේ සාහිත්‍ය නෙවේ ද? ලේඛකයා නොරැකෙන තැන සාහිත්‍යක් කොහෙද?. අනීතික, අනවසර PDF වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් තියන මේ වෙලාවේ, එයාකාරයේ PDF තරයේ ප්‍රතික්ෂේප කරමින් හොඳ; සාධාරණය පාඨකයෙක්ගේ වගකීම අපි ඉටු කරමු. –

විචාරක දුල්ශාන් සංජය චන්ද්‍රසිරි

advertistmentadvertistment
advertistmentadvertistment