සාෆ් පාපන්දු තරගාවලිය – ශ‍්‍රී ලංකා කණ්ඩායම තව දින තුනකින් නම් කරයි

103

මාලදිවයිනේ මාලේ අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලිය හෙවත් සාෆ් පාපන්දු තරගාවලියට සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම ලබන සඳුදා (27) දින ප‍්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙවර තරගාවලිය ඔක්තෝබර් 01 සිට 16 දක්වා ක‍්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට නම් කළ යුතු ක‍්‍රීඩකයින් සංඛ්‍යාව 23 දෙනෙකි.

මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීම උදෙසා ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ සත්කාරක මාලදිවයින තරග බිමට පිවිසීමට නියමිතය.

මෙහි මූලික වටය ලීග් ක‍්‍රමයට පැවැත්වේ.

ශ‍්‍රී ලංකා ජාතික සංචිතයේ පුහුණුවීම් මේ දිනවල සෞදි අරාබියාවේ රියාද් නගරයේදී ක‍්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා සහභාගි වී සිටින ක‍්‍රීඩකයින් සංඛ්‍යාව 28 දෙනෙකි.

මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ක‍්‍රියාත්මක කෙරෙන කටාර් දේශයේදී ශක්තිමත් පුහුණුවක් ලබාදීමට මුලින් පියවර ගෙන තිබුණත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා එම තීරණය අත්හැර දැමීමට සිදු වී තිබේ.

එහෙත් අවසාන මොහොතේ මෙරට ක‍්‍රීඩකයින් හට සෞදි අරාබියේ දී වැඩිදුර පුහුණුව ලබාදීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයට හැකි වූ බව එහි සභාපති ජස්වර් උමාර් මහතා දිවයිනට පැවසීය.

පසු ගිය ජුනි මස මුල දකුණු කොරියාවේ දී පවත්වන ලද ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ දෙවන වටය සඳහා සහභාගි වූ ශ‍්‍රී ලංකා පිල නියෝජනය කළ ක‍්‍රීඩකයින්ට අමතරව තවත් ක‍්‍රීඩකයින් 05 දෙනෙකු මෙම සංචිතයේ පුහුණුව ලබති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

 

advertistmentadvertistment
advertistmentadvertistment