සා.පෙළ නිමවී ගිය සිසුන්ගේ යතුරුපැදි හැපී සිසුවෙක් මරුට

109

අනතුරේ සිසුවිය රෝහලෙන් පැන යයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නිම වී පෙරේදා දින (08 දා) සවස නිවස බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනකු දම්පැලැස්සාගම දී තවත් සිසුවියක පැද වූ යතුරුපැදියක ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටියදී යතුරුපැදියේ පසුපැදිකරු ඊයේ (09 දා) උදෑසන මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ ඉපලෝගම දම්පැලැස්සාගම පදිංචි ධනුෂ්ක මිහිරංග නමැති පාසල් ශිෂ්‍යයෙකි. ඔහු අ/මරදන්කඩවල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූවෙකි.

මරදන්කඩවල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයෙන් පෙරේදා දින විභාගය ලියා අවසන් වී ඔහුගේ පංතියේ තවත් යාළුවකුගේ යතුරුපැදියක නැග නිවස බලා පිටත් වී ඇත.

කුංචිකුලම සිට දම්පැලැස්සාගම දෙසට ධාවනය කරමින් තිබූ සිසුන් පැදවූ යතුරුපැදිය තවත් පාසල් සිසුවියක ඇයගේ යතුරුපැදිය දම්පැලැස්සාගම දෙසට හැරවීමේ දී එහි ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව ඇති බව ඉපලෝගම පොලිසිය කියයි.

එහිදී බරපතළ තුවාල ලැබූ පාසල් සිසුන් දෙදෙනා හා සිසුවිය මරදන්කඩවල ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබිණි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටිය දී යතුරුපැදියේ පසුපැදිකරු ඊයේ (09දා) උදෑසන මියගිය බව පොලිසිය කීය.

පැදිකරු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ප්‍රතිකාර ලබමින් සිටි පාසල් ශිෂ්‍යාව ඊයේ (09) උදෑසන රෝහලට නොදන්වා පිටව ගොස් ඇති බව ද රෝහල් ආරංචි මාර්ග කීය.

අනතුරට පත් යතුරුපැදි දෙක මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත. ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment