සැකකරුගේ මරණයට නාකොටික් 7ක් අත්අඩංගුවට- මරණය වූයේ පහරදීමකින් ලේ ගලලා -වෛද්‍ය වාර්තා අනුව උසාවිය තීරණය කරයි

224

23 දා තෙක් රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ සිටි සැකකරුවකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකින් පසුව උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු හත් දෙනෙක් ඊයේ (9 දා) අත්අඩංගුවට ගනු ලැබූහ.

ඉකුත් ජනවාරි මස 10 වැනිදා මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 15 ක් සමගින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් නාරාහේන්පිටදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු තමාව අත්අඩංගුවට ගත් හේතුව විමසමින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග බහින්බස්වීමක පැටලී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

එහිදී සැකකරු බරපතළ ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ටෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාර (41) නමැත්තෙකි. ඔහු හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි. මොහු නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකි.

මෙම සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයෙන් පසු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂකයෙක්, සැරයන්වරයෙක් හා කොස්තාපල්වරු පස් දෙනෙක් ඊයේ (9 දා) මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පොල්වත්ත මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් විසින් එම සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මරණය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී එම මරණය පහරදීමකින් සිදුවූ ලේ ගැලීමක් නිසා සිදුවූවක් බවට ඉදිරිපත් වූ වෛi වාර්තා හා සාක්‍ෂි අනුව අනාවරණය වූයෙන් එම මරණය පහරදීමකින් සිදුවූවක් බවට නිගමනය කළ මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට පසුගිය 6 වැනිදා නියෝග කොට තිබිණි.

වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරු ලෙස කටයුතු කළ මරණකරු ඔහුගේ මිතුරකු සමග එදින දිවා ආහාරය ගැනීමට අවන්හලකට පැමිණ තනිව ආපසු සිය කාර්යාලය බලා යමින් සිටියදී ජීප් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ බවත් ඔහුගේ මෘතදේහය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති බවට ඔහුගේ ඥාතීන්ට පණිවිඩයක් ලැබී ඇති බවත් එම මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබිණි. සැකකාර පොලිස් නිලධාරීන් හත්දෙනා ඊයේ (09 දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

හේමන්ත රන්දුණු, ශිරාන් රණසිංහ සහ ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment