සැකකාරියන් අතර මව සමග දියණිය… රට පුරා නගර කිහිපයක සාරි සොරාගත් ජාවාරම්කාර කල්ලිය අත්අඩංගුවට

103

ගම්පහ නගරයේ පිහිටි රෙදි පිළි අලෙවි සැලකින් වටිනා සාරි සොරාගත් බව කියන කාන්තාවන් තිදෙනකු සහ ඊට සහාය ලබා දුන් ත්‍රිරෝද රථ රියැදුරෙකු 12 දා අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය පවසයි.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකාරියන් තිදෙනා සහ ත්‍රිවිල් රථ රියැදුරු ගම්පහ, මීගමුව, කඩවත, කලුතර, පානදුර සහ අවිස්සාවෙල්ල යන නගරවල පිහිටි රෙදිපිළි අලෙවි සැල්වලින් ද සාරි සොරාගෙන ගොස් ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

කාන්තාවන් තිදෙනා අතර මව සහ දියණියකුත් ඔවුන්ගේ ඥාතිවරියක් වන බවත් මොවුන් සහ ත්‍රිරෝද රථ රියැදුරු සංවිධානාත්මකව වටිනා සාරි සොරකම් කර ඇති බව පොලිසිය කීය.

මෙම කාන්තාවන් තිදෙනා රෙදි පිළි වෙළෙඳ සල්වල වෙත ගොස් දෙදෙනකු සාරි තෝරා බලමින් සිටින අතරතුර අනෙක් කාන්තාව තම ඇදුම් තුළ සාරි සඟවා ගැනීම සිදු කරමින් වටිනාකමින් අධික සාරි සොරකම් කිරීම සිදු කොට තිබේ. මොවුන් වෙළෙඳසල්වලින් මෙලෙස සොරාගත් වටිනා සාරි 38 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

ගම්පහ නගරයේ රෙදිපිළි වෙළෙඳසැලක සාරි අඩුවීමක් සිදුව ඇති බව පෙනීයෑම මත එහි හිමිකරු විසින් ගම්පහ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම වෙළෙඳසැලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී සැක සහිතව කාන්තාවන් තිදෙනෙකු හැසිරීම සහ ත්‍රිරෝද රථයක් වෙත කිහිපවරක් ගමන් කරන ආකාරය අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව ත්‍රිරෝද රථයේ අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා වයස අවුරුදු 40 සහ 50 වයසේ පසුවන කාන්තාවක් තිදෙනා සහ සොරකම් කළ සාරි රැගෙන යෑම සිදු කළ ත්‍රිරෝද රථ රියැදුරාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දුර ප්‍රදේශයක කාන්තාවකට මෙම සාරි තොගය අලෙවි කොට ඇති බව ප්‍රකාශ වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙ. පො. අ. ජගත් රෝහණ සහ ස.පො.අ. තුසිත කුමාර යන මහත්වරුන් ගේ උපදෙස් මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. මාලින්ද කුමාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන චාරක සහ ලක්ෂිත, සැරයන්වරුන් වන රොෂාන් (12839), ප්‍රේමලාල් (32795), ප්‍රියන්ත (55438), කොස්තාපල්වරුන්වන සම්පත් (1418), ලියනගේ (75444), කාන්තා පොලිස් කොස්තාපල් දිසානායක (2929) යන නිලධාරීහු වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරති.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment