සැකය නිසා කළ කුරිරු ඝාතනයක්… සැකකරු මහ උළු ගෙදරට

1325

බිරිඳ සමග අනියම් පෙමක් ඇතැයි වූ සැකය නිසා බිරිඳගේ අක්කගේ මහත්තයාට වෙඩි තබා මැරූ පොලිස් කොස්තාපල් මරණ දඬුවම දෙන තෙක් මහ උළුගෙදරට යයි.

දූරදර්ශීභාවය ජීවිතයකට අත්‍යවශ්‍ය දෙයකි. දූරදර්ශී නොවන්නා ඉක්මනින් වැනසීමට පත්වන්නේ ළඟ බලා ඉක්මන් තීරණ ගැනීම හේතුවෙනි. ”කෝසම්බි ජාතකයේ ඒ සඳහා වන හොඳ උදාහරණය බොහෝ අයට අද අමතක වී ගොසිනි. බඹදත් රජු විසින් දීඝතිස්ස රජු අල්ලා මරන්න රැගෙන යන අවස්ථාවේ එම ස්ථානයට කලබලයෙන් පැමිණි දීඝතිස්ස රජුගේ පුතාට ඔහු ලබා දුන්නේ අපූරු අදාර්ශයකි. ”පුත දීඝායු දුර බලන්න – ළඟ නොබලන්න’’ කියාය. වර්ථමාන තරුණ පරපුරට යළි කෝසම්බි ජාතකය කියා දීමට සිදුව තිබේ. තරුණ ප‍්‍රජාව තුළ නිරතුරුවම ඇත්තේ කලහකාරී සිතුවිලි පමණි. බොහෝ දෙනකු යම් ගැටලූවකදී කටයුතු කරන්නේ අදූරදර්ශීවය. එහි ප‍්‍රතිඵල අද සමාජයේ නන් දෙසින් අපට අසන්නට දකින්නට ලැබේ. යමක් සිදු කිරීමෙන් පසු අප කොතෙක් කම්පා වුවද පළක් නොමැතිය. අපි සිතිය යුත්තේ යමක් සිදුවීමට මත්තෙන්ය.

සමාජයේ ඔබටද හොඳ ආදර්ශයක් සැපයීම වෙනුවෙන් පාඨක ඔබට අප මේ කතාව ලියන්නට සිතුණි. මිනිස් සිතේ ඇතිවන පුංචි සැකයක් මහ ගහක් සේ දලූලා වැඩෙන්නට ඉඩ දීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම අපරාධය සිදුව තිබේ. මෙම සිදුවීමෙන් නිදහස් වූවෝ කිසිවකුත් නොමැතිය. දරුවන් සිව් දෙනකුට හා බිරිඳකට සැමියෙක් අකාලයේ අහිමිව ගොස් තිබේ. බිරිඳ කෙරෙහි වූ අසීමාන්තික සැකය නිසා බිරිඳ අද වෙන්ව සමාජයේ තනිව ජීවත් වෙති. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාටද බිරිඳ දරුවන් අතහැර ගොස් මරණීය දණ්ඩනය නියම කරනතෙක් මහ උළුගෙදරට වී සිටීමට සිදුව තිබේ. ඒ නිසා සමාජයේ සියලූ දෙනාගේ දැනුවත් වීමට මේ සටහන් අප මෙලෙස තැබීමට තීරණය කළෙමි.

බෝදාගම, තණමල්විල පදිංචි 55 හැවිරිදි වියේ පසු වූ එල්. ඞී. ජයලත් හා එස්. ආර්. සුමනාවතී දෙදෙනාට දාව දරුවන් පස් දෙනෙකි. ඒ ගැහැණු දරුවන් 03ක් හා පිරිමි දරුවන් 02ක් ලෙසය. මෙම දරුවන් අතරින් වැඩිමහල් දියණිය වූ නිල්මිණී විවාහ වූයේ 1993 වසරේදීය. ඒ පොලිස් කොස්තාපල්වරයකු වූ දිසානායක මුදියන්සේලාගේ ජයසුන්දර නැමති අයත් සමගය. විවාහයෙන් වසර දෙකකට පසු එනම් 1995 වසරේදී ජයසුන්දර පොලිස් රැකියාවෙන් ඉවත්ව 1997 වසරේ සිට 03 කණුව, අඟුණුකොළවැව, බෝදාගම ලිපිනයේ පිහිටි නිවසේ බිරිඳ සමග ගොවිතැන් කටයුතු කරගෙන ජීවත් විය. විවාහයෙන් ඔවුන් දෙදෙනාට දාව දරුවන් සිව් දෙනකුද විය. නිල්මිණිගේ බාල සොහොයුරිය වූයේ පද්මිණීය. පද්මිණී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු වසර 03ක් තණමල්විල ගාමන්ට් එකක රැකියාව කළ අතර එහිදී වූ දැන හැඳින ගැනීමක් මත බෝදාගම පදිංචි අයකු හා 1997 වසරේදී විවාහ වී තිබේ. දෙදෙනා අතර වූ නොගැළපීම මත පද්මිණී සිය සැමියගෙන් නිත්‍යානුකූලව වෙන් වී තිබේ. ඒ විවාහයෙන් වසරකට පසුවය. පසුව නිවසට වී මැහුම් ගෙතුම් වැඩකරගෙන පද්මිණී නිවසට වී සිටි අතර මැහුම් උපදේශිකාවක් ලෙස ප‍්‍රදේශයේ ආයතනයක ටික කලක් සේවය කිරීමටද අවස්ථාව ලැබී තිබේ. එලෙස කටයුතු කරගෙන යද්දී පද්මිණීට හෙට්ටිආරච්චිගේ ජයසේන නැමති අය හමුවී තිබේ. ඔහු තිස්සමහාරාම පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. දෙදෙනා අතර වූ හාදකම දුරදිග ගොස් වෙනම නිවසක්ද කුළියට ගෙන දෙදෙනා විවාහ නොවී 2005 දෙසැම්බර් මාසයේ සිට අඹුසැමියන් ලෙස ජීවත්ව සිට තිබේ. එලෙස ජීවත් වූ දෙදෙනා 2008 වසරේදී නිත්‍යානුකූලව විවාහ වී ඇති අතර විවාහයෙන් දෙදෙනාට දාව එක් දරුවකුද බිහි වී තිබේ. විවාහයයෙන් පසුවද දෙදෙනාට පවුල් කෑමට සිදු වූයේ මාස කිහිපයක් පමණි. ජයසේන අධික ලෙස මත්පැන් බීමට ඇබ්බැහි විය. ඒ හේතුව නිසාම දෙදෙනා අතර නිතර නිතර ආරවුල් හටගැනීමට පටන් ගැණුනි. බීගෙන නිවසට පැමිණෙන පද්මිණීගේ සැමියා වූ ජයසේන නිතර නිතර පද්මිණීව සැක කරන්නට විය. ”තෝ අක්කගේ මිනිහත් එක්ක හොඳයිලූ… මන් තොපි ඔක්කොම මරනවා’’ කියමින් ජයසේන නිතර නිතර රණ්ඩු කරන්නට විය. දෙදෙනා අතර නිතර නිතර රණ්ඩු ඇතිවීම හේතුවෙන් පද්මිණීගේ අක්කා වූ නිල්මිණී හා ඇයගේ සැමියා වූ ජයසුන්දර (මරණකරු) දෙදෙනාට අවවාද කළ අවස්ථාද බොහෝ විය. ජයසේන බීගෙන ගෙදර ඇවිත් රණ්ඩු කරන විට පද්මිණී ඔහුව මගහැර කාගේ හෝ නිවසකට වී සැඟවී සිටින්නීය. සිය බිරිඳ වූ පද්මිණී ඇයගේ අක්කගේ සැමියා වූ ජයසුන්දර සමග ඇයි හොඳයියක් පවත්වන බවට ජයසේනගේ හිතේ වූ සැකය දිනෙන් දින දලූ දා වැඩෙන්නට විය. සියලූ දෙනා එක්ව එවැනි පලහිලව්වක් ජයසුන්දර හා පද්මිණී දෙදෙනා අතර නැති බව කීවද ජයසේන එය පිළි නොගත්තේය. දිනෙන් දින ඔහු තුළ වූ සැකය වැඩි වෙන්නට විය.

දිනය 2008.10.31 ය. නිල්මිණීගේ සැමියා වූ ජයසේනද එදින රාත‍්‍රී රාජකාරි කරන දිනයක් විය. ඒ අනුව තිස්සමහාරාම පොලිසියට අනියුක්තව රාජකාරී කළ ජයසේන රාළහාමි එදින රාත‍්‍රි තිස්සමහාරාම අධිකරණ භූමියේ රාත‍්‍රි ආරක්ෂක රාජකාරියේ යොදවා තිබුණි. එදින රැය පහන් වන තුරුම ජයසේන සිය බිරිඳ වූ පද්මිණී පිළිබඳ සැකයෙන් පසුවන්නට විය. තමන් රාජකාරියට පැමිණි වෙලේ තම බිරිඳ වූ පද්මිණී නිල්මිණීගේ සැමියා වූ ජයසුන්දර සමග අනියම් ඇසුරක් පවත්වනවා ඇතැයි නිතර සිතන්නට විය. 2008.11.01 දින දහසක් බුදුන් බුදුවෙන පාන්දර සිය රාජකාරිය නිමා වීමටත් පෙර ජයසේන සිය අත වූ ගිනි අවියද රැගෙන පිම්මේ අඟුණුකොළවැව පිහිටි සිය බිරිඳගේ අක්කගේ ගෙදරට ගියේය. ඒ යන විට වේලාව 05.30ට ආසන්නය. ඒ වන විටත් නිල්මිණී හා ජයසුන්දර නිදි යහනේ විය. නිවසට ගිය ජයසේන ජයසුන්දරට කතා කළේය. එදින ජයසුන්දර සමග ගොවිතැන් වැඩකරන හිතුවතෙකුද නිවසේ රැඳී සිට තිබේ. ජයසුන්දර මල්ලි කවුද අන්න පොලිසියේ රාළහාමි කෙනෙක් ඇවිත් ඔයාට කතා කරනවා යැයි නිවසේ සිටි ජයසුන්දරගේ යහළුවා පැවසීය.

ඒ අනුව නිදි යහනේ සිටි ජයසුන්දර නිවසින් එළියට ආවේ පැමිණියේ කවුරුන්දැයි බැලීමටය. ඒ පිටුපසින් ජයසුන්දරගේ බිරිඳ වූ නිල්මිණීද දොර අසලට ආවේය. දුරතියාම පැමිණ සිටින්නේ සිය නැඟනියගේ සැමියා බව දුටු නිල්මිණී කහට කෝපයක් වක්කිරීමට කුස්සිය දෙසට ගියාය. ජයසුන්දර ද පැමිණ සිටින්නේ සිය බිරිඳගේ නැඟණියගේ මහත්තයා නිසා සිනාසීගෙනම ඔහු අසලට ගියේය. ගත වූයේ නිමේෂයකි. ජයසේන අත වූ ටී පනස් හය වර්ගයේ ගිනි අවියෙන් ජයසුන්දරගේ පපුව පසාරු කරගෙන යෑමට වෙඩි උණ්ඩ 10ක් පමණ තැබීය. එළියෙන් ඇසුණු වෙඩි ශබ්දය බැලීමට ජයසුන්දරගේ බිරිඳ වූ නිල්මිණී දොර අසලට පැමිණ බලද්දී ජයසේන සැමියාට වෙඩි තබා යනු දැක තිබේ. වෙඩි තැබීමට වූ එකම හේතුව වී තිබුණේ ජයසුන්දර ජයසේනගේ බිරිඳ සමග අනියම් සබඳතාවයක් ඇතැයි ඔහු තුළ වූ සැකයය.

වෙඩි පහර කාගෙනම ජයසුන්දර දිව විත් නිවස තුළ ඇද වැටීය. ජයසුන්දරගේ බිරිඳගේ විලාප හ`ඩ ඇසී අසල්වැසියන් එහි විත් බලන විට ජයසුන්දර නිවස තුළම මැරී වැටී තිබුණි. ලූණුගම්වෙහෙර පොලිසියට අදාළ සිදු වීම පිළිබඳව දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණි. ඒ අනුව වහා ක‍්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර සිද්ධිය පිළිබඳව තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කෙරුණි. ඒ අනුව තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත‍්‍රාත් නීතිඥ ගුණවර්ධන මහතා විසින් සිද්ධිය පිළිබඳව මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර සිරුර දෙබරවැව මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ලූණුගම්වෙහෙර පොලිසියට නියෝග කෙරුණ අතර චූදිත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා ලූණුගම්වෙහෙර පොලිසියට නියෝග කෙරුණි.

කෙසේ වෙතත් සිද්ධියෙන් පසු ටී 56 වර්ගයේ ගිනි අවිය හා උණ්ඩද සමග සැකකාර පොලිස් කොස්තාපල්වරයා ප‍්‍රදේශයෙන් පළාගොස් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ විවිධ ප‍්‍රදේශවල රැඳී සිටිමින් පාතාල කල්ලි සමග සමීප සබඳතා පවත්වමින් සිට තිබේ. එලෙස පොලිසියට කට්ටි පනිමින් සිටි චූදිත පොලිස් කොස්තාපල්වරයා 2010.03.28 දින බලහරුව බඹරකන්ද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා නිලධාරීන් විසින් බඹරකන්ද ප‍්‍රදේශයේ යුද පුහුණු අභ්‍යාසයක නිරතව සිටියදීය. එම අවස්ථාවේ චූදිත පොලිස් කොස්තාපල්වරයා තවත් පුද්ගලයකු සමග අංක තහඩු රහිත යතුරුපැදියකින් කැලයේ සැඟව සිටියදී කමාන්ඩෝ නිලධාරීන් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථනයක්, ටී 56 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 22 හා මැගසින් 01ක් සොයාගෙන තිබේ. පසුව විමර්ෂණ කටයුතු සඳහා ඔවුන් දෙදෙනා තණමල්විල පොලිසියට භාර දීමට කමාන්ඩෝ නිලධාරීන් කටයුතු කර තිබේ. පසුව චූදිතයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි එක් චූදිතයකු වූ පොලිස් කොස්තාපල් ජයසේන නැමති අය ලූණුගම්වෙහෙර පොලිස් බලප‍්‍රදේශයේ වූ අඟුණුකොළවැව සිදුවූ මරණයේ චූදිත බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව චූදිතට එරෙහිව තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදට චූදිත පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අධිචෝදනා ගොනු කෙරුණි. හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ පළමු දිනයේ චූදිතට ඇප තැබීම සඳහාද ඉදිරිපත්ව තිබුණේ තමන්ගේ බිරිඳ වූ පද්මිණී හා තවත් ඥාතියකු පමණි. ඒ අනුව නඩු විභාගය ආරම්භ කෙරුණු අතර චූදිත ඇප මත නිදහස්ව අධිකරණය වෙත පැමිණියේය. එලෙස අධිකරණයට පැමිණෙමින් සිටියදී චූදිත පොලිස් කොස්තාපල්වරයා යළි දිගින් දිගටම බිරිඳ වූ පද්මිණී සමග ආරවුල් ඇති කරගැනීම හේතුවෙන් පද්මිණී අධිකරණයට ඉදිරිපත්ව තමන් චූදිත පොලිස් කොස්තාපල්වරයා වූ ජයසේන නැමති අයගේ ඇපකාරත්වයෙන් ඉල්ලා අස්වන බව අධිකරණයට පැවසීය. ඒ අනුව චූදිත ඒ වෙනුවට වෙනත් ඇපකාරයකු ඉදිරිපත් කළ අතර බිරිඳ සිය ඇපකාරත්වයෙන් ඉවත් වූ කේන්තියට චූදිත පොලිස් කොස්තාපල්වරයා විසින් බිරිඳ පදිංචිව සිටි නිවසට ගිනි තබා විනාශ කරන ලදී. ඒ අනුව පොලිසිය විසින් චූදිත අත්අඩංගුවට ගෙන යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු චූදිත පොලිස් කොස්තාපල්වරයා ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරුණි.

එලෙස පැවති නඩු විභාගයේදී චූදිතට එරෙහිව නඟා තිබූ අධිචෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් හම්බන්තොට පූර්වගාමී මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා චූදිතට මරණීය දණ්ඩනය නියම කෙරුණි. ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් නියම කරන ස්ථානයකදී හා වේලාවකදී චූදිතට මරණීය දණ්ඩනය නියම කරනතෙක් චූදිත කොළඹ පිහිටි වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙරුණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශෙහාන් මුස්තාපා මහතා පැමිණිල්ල මෙයෙවන ලදී.

සටහන හා සේයා රූ – මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment