සැප්තැම්බර් ප‍්‍රහාරය වසර විස්සකට පසු

221

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අඟහරුවාදාවකි. නමුත් 2021 සැප්තැම්බර් 11 වැනි අද දින සෙනසුරාදාවක්ය. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට වසර 20ක් සපිරෙන්නේ අද දිනය. මීට වසර විස්සකට පෙර ඇමරිකානු අහසේ පියාසර කරමින් සිටි ගුවන්යානා හතරක් එකවර පැහැර ගැනීමට ලක් විය. ඉන් දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටුණු අතර අනෙක පෙන්ටගනයේ බටහිර මුහුණට කඩා වැදිණි. සිව්වැනි යානය මගින් ප‍්‍රහාරකයින් හා සටන් වැදුණු නිසා යානය පෙන්සිල්වේනියාවේ පිට්ටනියක් මතට කඩා වැටිණි. මේ යානයේ ඉලක්කය වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැඟිල්ල බව සැක කෙරේ. ලොවම කැළඹූ මේ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් 2977 දෙනෙක් මරණයට පත් වූහ. ඔසාමා බින් ලාඩන්ගේ් අල් කයිඩාව ගැන වැඩියෙන්ම අවධානය යොමු වුණේ මේ ප‍්‍රහාරයෙන් පසුවය. සැප්තැම්බර් ප‍්‍රහාරයෙන් පසුව ඇමරිකාව ත‍්‍රස්තවාදයට එරෙහිව යුද්ධය ආරම්භ කළ අතර එයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගොදුරු වූහ.

බින් ලාඩන් ඝාතනය කිරීමට හැකි වූයේද සැප්තැම්බර් ප‍්‍රහාරයෙන් දස වසරකට පසුවය. වසර විස්සකට පසුව ත‍්‍රස්තවාදයට එරෙහිව සිදුකළ යුද්ධයෙන් ඇමරිකාව ලබා ගත්තේ කුමක්ද? ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් ටි‍්‍රලියන ගණනාවක් පුච්චා දැමීමද? සැප්තැම්බර් ප‍්‍රහාරයෙන් පසුව 2001 ඔක්තෝබර් වෙද්දී ඇමරිකාව කාබුල්හි තලේබාන් පාලනය පෙරළා දැමීම වෙනුවෙන් ප‍්‍රහාර දියත් කරන්නට විය. ඒ අනුව දෙසැම්බර් වෙද්දී තලේබාන් පාලනය බිඳ වැටිණි. නමුත් වසර විස්සකට පසු දැන් කාබුල් නුවර බලයේ සිටින්නේ කවුරුද? ඇමරිකාව විසින් බලයෙන් පහකරනු ලැබූ තලේබාන් සංවිධානයයි. අද තලේබාන් කැබිනට් මණ්ඩලයේ බහුතරයක්ම ඇමරිකාව විසින් ත‍්‍රස්තවාදී නායකයින් ලෙස නම් කරනු ලැබූ පුද්ගලයින්ය. එදා බින්ලාඩන් සමග එකට සටන් වැදුණු පිරිස අද කැබිනට් ඇමැතිවරු බවට පත්ව සිටිති. මේ සියල්ල නිරීක්ෂණය කරන ඇමරිකාව පවසන්නේ තලේබාන්වරු සමග ද සහයෝගයෙන් කටයුතු කිරීමට තමන්ට හැකි බවයි.

සැප්තැම්බර් ප‍්‍රහාරයෙන් පසු ලොව පුරාම මුස්ලිම් අන්තවාදී ව්‍යාපාරයන්ට බලවත් තල්ලූවක් ලැබිණි. ස්ථාවර රාජ්‍ය අසාර්ථක රාජ්‍ය බවට පත් විය. ඇමරිකානු ආක‍්‍රමණය නිසා ඉරාකයට අත්වූයේ කවර ඉරණමක්ද? සදාම් හුසේන් යටතේ ස්ථාවරව පැවැති ඉරාකය අද ඛේදනීය ඉරණමකට ළඟා වී නැද්ද? ඇමරිකාවට ඉරාකයේ සඟවා තිබූ මනුෂ්‍ය සංහතියට විනාශය අත්කරන ආයුධ සොයා ගැනීමට හැකි වූයේ නැත. එහෙත් ඇමරිකානු අක‍්‍රමණය නිසා සිවිල් වැසියන් ලක්ෂ ගණනින් ඝාතනය වූහ. අල්කයිඩා ප‍්‍රහාරය නිසා නිකරුණේ ඉරාක වැසියන් ලක්ෂ ගණනකට මළවුන් සමග යන්නට සිදුවිය. අවසානයේ මුස්ලිම් අන්තවාදයේ උපරිමය සොයන අයිසිස් සංවිධානය මතුවිය. සදාම් එලවා දමා ඉරාකයෙන් ගිය ඇමරිකාවට යළි පැමිණ අබුබකර් බැග්ඩෑඩිගේ අනුගාමිකයින් සමග සටන් වදින්නට සිදුවිය. ඇමරිකාව කාබුල්වලින් යන විට එම භූමියෙන් ද අයිසිස් කෝරසාන් කණ්ඩායම මතු විය. මෙය එකිනෙක සම්බන්ධව ඇති විෂම වක‍්‍රයක් වෙයි. කාබුල් පාලනය යළිත් මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායමක් අතට පත් කිරීමට සිදුවුණේ ද ඇමරිකාවේම කි‍්‍රයාපටිපාටිය තුළිනි. ඇමරිකානු ජනපතිවරුන් සිවුදෙනකු යටතේ තලෙයිබාන්වරුන්ට විරුද්ධව සටන් කළ ද ලැබූ ජයග‍්‍රහණයක් නැත. දැන් ඩොලර් බිලියන සියයක පමණ ආයුධ හා උපකරණ ද කෙලින්ම තලෙයිබාන්වරු අතට පත් වී ඇත. වසර විස්සකට පෙර සිටි තලෙයිබාන්වරුන්ට වඩා අද සිටින කණ්ඩායම වඩා බලවත්ය. ඒ නිසාම ඇමරිකාවටත් ඔවුන් පිළිගැනීමට සිදුව ඇත. ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ඛේදනීය අත්දැකීම මෙයද? නැත්නම් ඉදිරියටත් ගැටුම පැවතීම ඇමරිකානු ආයුධ වෙළඳාමට හිතකරද?

සැප්තැම්බර් ප‍්‍රහාරයට වසර විස්සක් ගෙවෙන මේ මොහොතේ ලෝකය වඩා ආරක්ෂිත නොව අනාරක්ෂිතභාවයට පත්ව ඇතැයි කිව යුතුය. විශේෂයෙන් කාබුල් පරිපාලනය තලේබාන් අතට පත්වීම දකුණු ආසියානු කලාපය පමණක් නොව බටහිර ලෝකයටත් තර්ජනයකි. නිහඬව සිටින අන්තවාදී බලවේග යළි නැඟිටීමට ඇති ඉඩකඩ වැඩිය. නවසීලන්තයේ සිදුවූ පිහි ප‍්‍රහාරය ද එයට හොඳ උදාහරණයකි. එම නිසා කිව හැක්කේ කුමක්ද ඇමරිකාවේ ත‍්‍රස්තවාදයට එරෙහි සටන ලෝකය සුරක්ෂිත කිරීමට නොව තවත් වියවුලට පත් කිරීමට හේතු වී ඇති බව නොවේද?

advertistmentadvertistment
advertistmentadvertistment