සැබෑ ක්‍රමයේ වෙනසකට 2023 තීරණාත්මකයි!

408

පසුගිය වසරේ නත්තල් දිනය ඉරිදා දිනයක යෙදෙන හෙයින් එදිනට අදාළ රජයේ නිවාඩු දිනය පසුදිනට එනම් දෙසැම්බර් 26 දිනට ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබිණි. ඒ අනුව අදාළ නිවාඩුව 26 වන සඳුදා දිනයේදී ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත. ඒ කොළඹදී දෙසැම්බර් 22 දින පැවති දිසාපති සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළේ අදාළ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික රූපසිංහ විසිනි. සැබෑ ‘සිස්ටම් චේන්ජ්’ එකක (පරිවර්තනයක්) අවශ්‍යතාවය වර්තමාන වික්‍රමසිංහ – රාජපක්ෂ රජයට අබමල් රේණුවක තරමටවත් වැටහෙනවානම් කිසිදු හේතුවකට සති අන්තයේ වැටෙන නිවාඩුවක් සඳුදාට ලබා දීමට අවශ්‍ය නැත. වර්තමාන විපක්ෂය බලයේ සිටියත් මෙම අවාසනාවන්ත තත්ත්වයේ වෙනසක් වන්නේ නැත.

මෙවර තෛපොංගල් උත්සවය යෙදී තිබෙන්නේද ඉරිදා දිනයකය. ඒ ජනවාරි 15 දාය. එදින රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මෙන්ම බැංකු නිවාඩු දිනයකි. ජනවාරි 16 වැනි දින අමතර බැංකු නිවාඩු දිනයකි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට අවශ්‍ය නම් එදිනට අදාළ රජයේ නිවාඩු දිනය පසුදිනට එනම් ජනවාරි 16 දිනට දිය හැකිය. නමුත් ‘සිස්ටම් චේන්ජ්’ එකක් අවශ්‍ය රටක එසේ විය නොහැකිය.

ශ්‍රී ලංකාව උඩු යටිකුරු කළ යුතුය. එසේ කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ ශක්තිය වර්තමාන ආණ්ඩුවට හෝ විපක්ෂයට තිබේද?

ජනවාරි මාසයට දින 31 එකකි. සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දින නමයකි. පෝය සහ අමතර බැංකු නිවාඩු සමඟ ජනවාරි මාසයේ දින 31, දින 11ක් නිවාඩු ය. මෙම තත්ත්වය වෙනස් විය යුතුමය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ රට බංකොළොත් විය. ඒ ‘හපන්කමට’ පාර්ලිමේන්තුව නියෝජනයන් කළ සියලුම පක්ෂ වගකිව යුතු බවට අමුතුවෙන් කිවයුතු නැත. ව්‍යවස්ථාදායකය මෙන්ම විධායකයද තම වගකීම් පැහැර හැර ඇති තත්ත්වයක් තුළ රට බංකොළොත් වූ බව අවධාරණය කළ යුතුය. විධායකය, අමාත්‍යධුරයක් /අමාත්‍ය ධුර දරමින් පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන තාක් ජනාධිපතිවරයාගේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තිබිය නොහැක.

නිල වශයෙන් ශ්‍රී ලංකාවේ බංකොළොත්භාවය පසුගිය වසරේ අප්‍රේල් 12 මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළත් මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට ලබා ඇති ශ්‍රී ලංකාව පසුගිය දශක දෙක ස්ථාවර මූල්‍ය පාලනයක් නොතිබූ රටක් ලෙස හැඳින්විය හැකිය.

තවදුරටත් වර්ධනය වෙමින් පවතින දේශපාලන -ආර්ථික – සමාජීය අර්බුදය ජය ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශය නිසි ලෙස මෙහෙයවීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් ඇත. නමුත් එසේ කරනවා වෙනුවට, ආණ්ඩුව පරණ පුරුදු සෙල්ලමම කරගෙන යෑමට තීරණය කර ඇති බව පෙනේ. එසේ නොවන්නේනම් ඉරිදාවක යෙදුන නත්තල් නිවාඩුව සඳුදා දිනයේදී ලබා දීමට කටයුතු කරන්නේ නැත. තෛපොංගල් උත්සවය සම්බන්ධයෙන් කීමට ඇත්තේද එයමය.

නිවාඩු දින ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා ජාතික ප්‍රතිපත්තියක් ගත යුතුය.

ආසියාවේ අනෙකුත් රටවල්වල රජයේ සහ පෞද්ගලික අංශයේ නිවාඩු ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීම කාලීන අවශ්‍යතාවයකි. වර්තමාන රජය, විපක්ෂය සහ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමිති අතර ද සාකච්ඡා පැවැත්විය යුතුය. මේ ආකාරයට නිවාඩු දෙන රටක ‘සිස්ටම් චේන්ජ්’ එකක් යෝජනා කිරීම ඇත්ත වශයෙන්ම විහිළුවකි.

වසරකට දෙවරක් (ජනවාරි පළමුවැනි දින සහ අප්‍රේල් මාසයේ සිංහල සහ ද්‍රවිඩ අලුත් අවුරුද්දේ) උත්සවශ්‍රීයෙන් වැඩ ආරම්භ කරන ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ලෝකයට රහසක් නොවේ. දහසය වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට ලබා ගත් ශ්‍රී ලංකාව 17 වැනි වරට එම ආයතනය ඉදිරියේ දණින් වැටී ඇත. ඒ ඇමෙරිකන් ඩොලර් බිලියන 50 කට අධික ණය කන්දකට යටවී සිටින අවස්ථාවකදීය. වර්ධනය වෙමින් පවතින එම ණය අර්බුදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන ඇමෙරිකන් ඩොලර් බිලියන 2.9 සමනය කරගත හැකිද? නමුත් ආණ්ඩුව සුපිරියටම ජනවාරි 01 දින වැඩ ආරම්භ කළේය. දේශපාලන සහ හමුදා නායකත්වය මෙවරද මාධ්‍ය සංදර්ශන පැවැත්විය. රාජ්‍ය සහ පෞද්ගලික අංශ නිසියාකාරව ක්‍රියාත්මක රටක බොරු සංදර්ශන පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැත. ‘සිස්ටම් චේන්ජ්’ යන රැවටිල්ල මතුරන්නට අවශ්‍ය නැත.

ජනතාව දුකට පත්කර ‘සුබ නව වසරක් වේවා’ යන ප්‍රාර්ථනය කිරීම ‘සිස්ටම් චේන්ජ්’ එකක් විය නොහැකිය. ඉන්දියාවට, චීනයට සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ණය වී ඇති, එම ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කර ඇති රටක පාලකයන්ට, විපක්ෂයට සහ ඉහළ නිලධාරී පැලැන්තියට රෙද්දක් ඇඳගෙන නව වසරේ වැඩ ආරම්භ කළ හැකිද ?

අවුරුද්දේ පළමුවැනි දින සෙනසුරාදා හෝ ඉරිදා යෙදුන විට සඳුදා දිනයේදී වැඩ ආරම්භ කරන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය රටටම බරක් බව ජනතාව දනී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පිළිබඳව පාර්ලිමේන්තුවේ දී මෑතකදී කළ ප්‍රකාශය බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහ ජනක රත්නායක අතර නැවත වරක් විදුලි බිල අවම වශයෙන් 65% නැංවීම සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටුම අවධාරණය කරන්නේ මේ රටේ ‘සිස්ටම් චේන්ජ්’ එකක් ගැන කතා කිරීම තේරුමක් නැති බවයි. සියල්ල කණපිට හරවා ‘සිස්ටම්’ එක ‘චේන්ජ්’ කර ඇත්තේ දූෂණයට, වංචාවට සහ අක්‍රමිකතාවලට සියලු දොරටු විවෘත කිරීමටයි.

පාර්ලිමේන්තුව ‘සිස්ටම් චේන්ජ්’ එක හොඳටම කර ඇති ආයතනයයි. ඒ පාර්ලිමේන්තුවේ මූල්‍ය වගකීම සහ වගවීම සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම තුළ රට බංකොළොත් කරමිනි.

ආණ්ඩුව සහ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත එකිනෙකට එල්ල කරන චෝදනා සහ විධායක බලතල පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ට (ජනාධිපතිවරයාට අමතරව) එරෙහිව එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්වූ වාසුදේව නානායක්කාර, විමල් විරවංශ සහ උදය ගම්මන්පිල නැඟූ දූෂණ චෝදනා ඔය කවුරුත් මතුරන ‘සිස්ටම් චේන්ජ්’ එක ආරම්භ කළ යුතු ස්ථානය කාට කාටත් මතක් කර දෙයි. මෙම ලියුම්කරුට ‘සිස්ටම් චේන්ජ්’ එකක අවශ්‍යතාවය සැබෑ සහ ප්‍රබල ලෙස දැනුන අවස්ථාවක් වූයේ එම අමාත්‍යවරුන් තිදෙනා 2021 සැප්තැම්බර් 17 දින රාත්‍රියේ ඇමෙරිකානු ‘නිව් ෆොර්ට්‍රස් එනජි’ සමඟ මුදල් අමාත්‍යාංශය අත්සන් කළ ගිවිසුමට එරෙහිව රටේ ඉහළම අධිකරණයේ පැවරූ නඩුව හේතුවක් නොදක්වාම විසිවූ අවස්ථාවේදීය.

එජාපය නියෝජනය කරන එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටි ‘සිස්ටම් චේන්ජ්’ ලබා දීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟ වී ඇති නමුත් විපක්ෂය තවමත් පරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. හිටපු අමාත්‍යවරයා ජනවාරි 3 වෙනිදා සිරිකොතේ පැවති මාධ්‍ය හමුවකදී මෙම චෝදනාව එල්ල කළේය. ඊට පැය කිහිපයකට පසුව ‘සිස්ටම් චේන්ජ්’ එක සිහිනයක් පමණක් බවට අවධාරණය කරන ප්‍රකාශයක් ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශයෙන් නිකුත් විය. ඒ වෙන කිසිම භූමියකට සමාන කළ නොහැකි ශ්‍රී ලංකාවේ ‘සිස්ටම්’ එක වෙනස් කිරීමට කිසිදු බලවේගයකට නොහැකි බව නැවත ස්ථිර කරමිනි.

ආර්ථිකය බිංදුවට වැටී ඇති තත්ත්වය නොසලකා බදු මුදල් ගිලින බහිරවයකු වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම සේවකයන්ට 2022 වසරට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම සංස්ථාවේ සභාපතිවරුන්ගෙන් නිදහසට කාරණා විමසීමට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයක් නොවේද? ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම සේවකයන්ට රුපියල් බිලියන 2.5 – 3 අතිකාල දීමනා ලෙස පසුගිය වසරේ මුල් කාලයේ ගෙවූ බවට පාර්ලිමේන්තුව අදාළ අමාත්‍ය කාංචන විජේසේකර දැනුවත් කළේය. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි. ඒ පිළිබඳව අදටත් නිසියාකාර පරීක්ෂණයක් සිදු වූයේ නැත.

‘සිස්ටම් චේන්ජ්’ එක කිරීමට ප්‍රධානතම බාධාවක් වී ඇත්තේ අමාත්‍යාංශවල ප්‍රධාන ගණන් දෙන නිලධාරියා වන අමාත්‍යාංශයක කිසිදු ලේකම්වරයකු (හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර හැර) අද වනතුරු හෙළිදරව් වූ කිසිදු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් නීතිය ඉදිරියට පමුණුවා නැති බවයි. එදා රටේ ඉහළම අධිකරණය ‘ලංකා මැරයින් සර්විස්’ නඩුවට අදාළව ආචාර්ය ජයසුන්දරට එරෙහිව දුන් තීන්දුව නොසලකා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කළේය. විගණකාධිපතිවරයා හෙළිදරව් කළ පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කමිටුවේද විමසුමට ලක්වූ ‘ලංකා මැරයින් සර්විස්’ ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුව සමඟ දේශපාලන නායකත්වය අනුගත විය යුතුව තිබිණි. එසේ නොවීය. එසේ වූවානම් අද කවුරුත් කතා කරන ‘සිස්ටම් චේන්ජ්’ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තිබිණි.

ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන්වත් ජාතික ප්‍රතිපත්තියක් නැති රටක නිවාඩු දින පිළිබඳව එවැනි තීන්දුවක් ගනීවි යැයි සිතිය නොහැක. බොරුව, දූෂණය සහ වංචාව ජාතික ප්‍රතිපත්තිය වී ඇති තත්ත්වයක් තුළ ‘සිස්ටම් චේන්ජ්’ එක කෙසේ වෙතත් ක්‍රියාත්මක පිළිකුල් ක්‍රමයේ කිසිදු වෙනසක් නැත. ඊට කදිම උදාහරණයක් වන්නේ පළාත් පාලන ඡන්දය මඟහැරීමට ආණ්ඩුව වෙනුවෙන් මැති ඇමැතිවරුන් නිදහසට දෙන හේතුය. රුපියල් බිලියන 10 ක් පමණ මහජන මුදල් වියදම් කර පළාත් පාලන ඡන්දය පවත්වනවාද නැතහොත් එම මුදල වී මිලදී ගැනීමට යෙදිය යුතුද? යන ප්‍රශ්නය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පසුගියදා නැඟීය. අවසන් කන්නයේ වී මිලදී නොගත් වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව පළාත් පාලන ඡන්දය මඟහැරීමට දරන උත්සාහය මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙම අවස්ථාවේ ඡන්දයකට මුහුණ දීමට සූදානම් නැති බව අවධාරණය කරන ලැජ්ජා සහගත අවස්ථාවකි.

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය අනුව රජයේ ප්‍රතිපත්තිය වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී නොගැනීම බව පැහැදිලිය. වර්තමාන කෘෂිකර්මාන්ත අමාත්‍යවරයාද නියෝජනය කළ යහපාලන ආණ්ඩුව (2015-2019) වී ගබඩා කිරීමට මත්තල ගුවන් තොටුපළ පාවිච්චි කළේය. ඒ අසික්කිත දේශපාලන තීන්දුව යහපාලනය කළ ‘සිස්ටම් චේන්ජ්’ එකකි. වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව තුළ මෙම සියලුම කණ්ඩායම් එකට ස්ථානගතවී ඇත. නැත්තේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පමණි. ‘ධර්මිෂ්ට සමාජයක්,’ ‘යහපාලනය’ මෙන්ම ‘සිස්ටම් චේන්ජ්’ එකද තවත් ජනතාව ගොනාට ඇන්දවීමට හිරිකිතයක් නොමැතිව පාවිච්චි කරන වර්තමානයේ ආකර්ශනීය රැවටිල්ලකි.

විගණකාධිපතිවරයා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා ගොන්න පරිශීලනය කරන ඕනෑම අයකුට ‘සිස්ටම් චේන්ජ්’ එක ආරම්භ විය යුත්තේ පාර්ලිමේන්තුවෙන් බව තේරුම් යනවා ඇත. පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. පාර්ලිමේන්තුව තුළ විධායක බලතල ක්‍රියාත්මක කරන ජනධිපතිවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය සිස්ටම් චේන්ජ්’ එකකට භාජනය විය යුතුමය.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ‘සිස්ටම් චේන්ජ්’ එක ක්‍රියාත්මක කරවීමේ නායකත්වය ගත යුතුය. විධායකය පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුද ? යන ප්‍රශ්නය විය යුතුමය. කවුරු කෙසේ කීවත් ජනතාව බලාපොරොත්තු වන ‘සිස්ටම් චේන්ජ්’ එක තවමත් ක්‍රියාත්මක නැත. ව්‍යවස්ථාදායකය තුළ විධායක ජනාධිපතිවරයා අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන තාක්, අමාත්‍යවරු විධායක බලතල අන්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරන තාක් ‘සිස්ටම් චේන්ජ්’ තවත් එක සිහිනයක් පමණක් වනු ඇත. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ‘ධර්මිෂ්ට සමාජයක්,’ සහ ඊට පසු ජනාධිපතිවරුන්ගේ පොරොන්දු ද සිහින පමණක් විය. හත්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභ්‍යයේ දැක්ම කෙළවර වූ ආකාරය ජනතාවට මෙන්ම පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයටම කිසිදා අමතක නොවනු ඇත. ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ඉවත් කිරීමෙන් පසුව කාටත් ආකර්ශනීය වූ ‘සිස්ටම් චේන්ජ්’ එක ද තවමත් සිහිනයකි. ජාතික ආර්ථිකය කඩා වැටී ඇති තත්ත්වයක් තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම අවධාරණය නැවතත් අවධාරණය කරන්නේ ආණ්ඩුව තම වගකීම පැහැර හැර ඇති බවයි. මෙම තත්ත්වය වහාම වෙනස් නොවුන හොත් ඇතිවන ජනතා ‘නැඟිටීම’ ඊට පෙර ක්‍රියාත්මක වූ ගෝ ගෝඨා ගෝ ව්‍යාපාරයට වඩා භයානක විය හැකිය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය අගෝස්තු මාසයේ 31 වන දින කථානායකවරයාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම නැවත මතක්කරගත හැකිය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment