සැබෑ නිදහසක් අත්විඳින ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවෙමු

56

නිදහස් පණිවිඩය

දියුණු සමාජ ආර්ථික සහ දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්විඳින ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි කැප වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම පණිවුඩය මෙසේය.

75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අතිශයින්ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයකි.

පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝය. එලෙස අහිමි වූ දේ ළඟාකර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අපගේ මූලික අභිප්‍රායයි.

ඒ සඳහා වූ නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අප දැන් රට හමුවේ තබා ඇත. ප්‍රෞඩ ජාතියක් වූ ශ්‍රී ලාංකීය ජාතියේ අතීත ශක්තීන් නැවත මෙනෙහි කරමින් සහ නවීන තාක්ෂණය සමග

එක් ව තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පියනැගිය යුතු වෙමු.

2023 වසරේ 75 වන නිදහස් දින සැමරුමෙන් ඇරඹෙන මෙම නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ 2048 වසරේ සමරන 100 වැනි නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම මගේ රජයේ මූලික අරමුණයි. 100 වැනි නිදහස් සැමරුම් දිනයේ දී පුරවැසියන්ගේ සියලු මූලික අවශ්‍යතා සපිරුණු, ඉහළ ආර්ථික සමෘද්ධියක් අත්කරගත්, ගෝලීය

ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ උදෙසා අද ගත යුතු පියවර නොබියව ගන්නා බව ප්‍රකාශ කරමි. ඔබගේ විශ්වාසයත්, ආශිර්වාදයත් ඒ සඳහා මම බලාපොරොත්තු වෙමි.

නොබැඳි නමුත් තීරක බලයක් ඇති, නො සැලෙන, දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීම වැනි තිරසර අභිලාෂයන් සහිත නව විදේශ ප්‍රතිපත්තියක් අපි දැන් ක්‍රියාත්මක කරමින් සිටිමු. ලෝකයේ සියලු ජාතීන් සමග එකමුතුව කටයුතු කළ හැකි ශ්‍රී ලාංකිකයන් ලෙස නව නිදහස් වෙළෙඳ ගිවිසුම් කෙරෙහි ද අපි නැඹුරු වෙමින් සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment