රටක් ගිනිගත් සඳුදාවක්…. සැබෑ ‘රිටර්න්’ එක අමතක කර පුද්ගලික කොන්තරත් පිරිමහ ගෙන!

1456

‘සර්…. මේ අයව නතර කරන්න අපිට ගහනවා…’ අරගලකරුවන් පොලිසියට බැගෑපත් වෙයි

ආගම්වාදීන් උමන්දාවටත් පහරදීලා

අනේ ගහන්න එපා අපි ආවේ ජොබ් එක බේරගන්න

දිවි ඇති තුරා දේශපාලනයට නොඑමි – ගුණපාල රත්නසේකර කියයි…

රුපියල් බිලියන පන්සීයකට වැඩි දේපළ හානියක්…

කෑම වේලක් සකස් කරගැනීමට ගෑස් නොමැතිව ගිනි පත්තු වී සිටි කොළඹ මිනිස්සු පසුගිය සෙනසුරාදා (07 වැනිදා) වීථිවලට රැස්වී උද්ඝෝෂණ කළහ. මහ මාර්ග හරස් කර, ටයර් පුළුස්සමින් ජනතාව දැවෙන පීඩනය පිට කරන අයුරු ආමර්වීදියේදී අපිදු දුටුවෙමු. එහෙත් කොළඹ මිනිසුන්ට ගෑස් නොලැබිණි. ඉරිදා උදෑසන වන විට ඉන්ධන පෝළිම් මෙන්ම ගෑස් පෝළිම් කිලෝ මීටර් ගණන් දිගු විය. ගෑස්, ඉන්ධන පෝළිම්වල වේලෙන මිනිසුන්ගේ කෝපය ඉහවහ ගොස් තිබිණි. එවැනි පසුබිමක අගමැති මහින්ද රාජපක්‍ෂ මෙරට සතර දෙසින් තම පාක්‍ෂිකයන්ව අරලියගහ මන්දියට කැඳවූයේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සන්සදය මගින් සංවිධානය කර තිබූ ‘කොළඹ ගමනට’ හිටපු මැති, ඇමැතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු ඇතුළු රාජපක්‍ෂ පාක්‍ෂිකයන් විශාල පිරිසක් පැමිණියහ. රුපියල් සතවලට, අරක්කු ටිකට කෑදරකමින් පැමිණි කාලකණ්ණි අතර තම රැකියාව බේරාගැනීමට සහ එළිමහන් වැඩ රාජකාරිවලට රැගෙන ආ බන්ධනාගාර රැඳවියන් ද ඒ අතර සිටින බව වාර්තා වේ. එමෙන්ම පොහොට්ටුවේ දේශපාලනඥයන්ගේ මෙන්ම රාජපක්‍ෂ හිතවාදී රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අනියම් බිරින්දෑවරුද ඒ අතර සිටි බව රහසක් නොවේ. ඒ සියලු දෙනාට අරලිගහ මන්දිරයේ දොරගුළු විවර විය. පිළිගැනීම හෘදයාංගම විය. සංග්‍රහය අති විශිෂ්ඨ විය. බේබදු කාලකණ්ණි බඩ පිරෙන්න කා බී සූර් විය. ඒ අතරේ අගමැති මහින්ද ආදරණීය පාක්‍ෂිකයන්ට ආමන්ත්‍රණය කළේය. ගොර… ගොර… ගෑ ඒ කතාව පැහැදිළි නැත. එහෙත් ‘පළමුවත් මව්බිම… දෙවනුවත් මව්බිම… තෙවනුවත් මව්බිම… ඔබලා වෙනුවෙන් අපි ඉන්නවා…’ අගමැතිවරයාගේ ඒ උස් හඬ අරලියගහ මන්දිරය පුරා රැව්පිළිරැව් දුන්නේය.

‘මේ රට බේරාගත් නායකයා ඔබයි… මතුවටත් ඔබතුමා අපේ අගමැති වෙන්න ඕනෑ… අපේ දෙවියො ඔබතුමා… රැස්ව සිටි පාක්‍ෂිකයන්ගේ එකම ඉල්ලීම වූයේ මහින්ද රාජපක්‍ෂ තවදුරටත් මෙරට අගමැති ලෙස සිටිනවා දැකීමය. වචනයෙන්, වචනය උණුසුම් වෙමින් තිබූ රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේ ගිනි පත්තු කළේය.

‘මාසයක් තිස්සෙ අපි ඉවසනවා. තවත් ඉවසන්න බෑ.

ගෝල්ෆේස් අරගලකරුවන් පළවාහැරීමට ජනාධිපතිතුමාට බැරි නම්, අපි ඒ දේ කරමු…’ ජොන්ස්ටන් දිග හෑල්ලක් කියමින් නිර්පාක්‍ෂික, සාමකාමීව පවත්වාගෙන ගිය ගෝල්ෆේස් අරගලයට පහරදෙන තැනට තම පාක්‍ෂිකයන්ගේ ඔලුගෙඩිවලට විෂ ඇතුළු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරළ, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු දේශපාලනඥයන් පිරිසක් ද පැමිණ සිටි පාක්‍ෂිකයන්ගේ ඔලු ගෙඩිවලට විෂ එන්නත් කළහ.

‘මේක තමයි වේලාව… ගෝල්ෆේස් බහින්න…’

අරලියගහ මන්දිරය තුළ සිටි කවුදෝ බේබද්දෙක් කැමරාව ඉදිරියේ තාලයට කියූ ඒ වචන ටික අධිවේගයෙන් අන්තර්ජාලයේ සංසරණය විය. ගත වූයේ මොහොතකි. අරලියගහ මන්දිරයේ ඉදිරිපස විසල් ගෙට්ටුව විවෘත විය. පොලු, මුගුරු අතට ගත් රාජපක්‍ෂ බළඇනිය අරලිගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගමට ඇතුළු විය. ප්‍රථමයෙන් එහි සිටි මාධ්‍යවේදියකුට පහරදී කැමරාවට ද හානි කළ රාජපක්‍ෂ හිතවාදීහු එම ස්ථානයේ සාමකාමී අරගලයක නිරතව සිටි කාන්තාවන්, තරුණයන් කිහිපදෙනකු ඇතුළු පූජකයන් තිදෙනකුට අමානුෂික ලෙස පහර එල්ල කළහ. එහි ඉදිකර තිබූ අට්ටාල, බැනර්, පෝස්ටර් ඉරා, පුළුස්සා, විදුලි කණුවක සිංහ කෝඩියක් ද දැමීමට රාජපක්‍ෂ පාක්‍ෂිකයෝ කටයුතු කළහ. එම සිංහ කොඩිය දැමීම සඳහා ලයිට් කණුවට නැඟි පුද්ගලයා වටරැක බන්ධනාගාරයෙන් රැගෙනවිත් සිටි රැදවියෙක් ද යන්න හඳුනාගැනීමට මේ සටහන තබන මොහොත වන විටත් පරීක්‍ෂණ සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ.

රටක් ගිනිගත් සඳුදාවක්.... සැබෑ 'රිටර්න්' එක අමතක කර පුද්ගලික කොන්තරත් පිරිමහ ගෙන!

මයිනාගෝගම අරගල භූමිය වැනසූ රාජපක්‍ෂ පාක්‍ෂිකයො ජය හඬ නංවමින් ගාලුමුවදොර පිටියට දිව ගියහ. මයිනාගෝගම අරගලකරුවන්ට පහරදෙන අයුරු බලා සිටි පොලිසිය ඔවුන් පසුපස හඹා ගියා විනා රාජපක්‍ෂ පාක්‍ෂිකයන්ගේ ගමන නතර කිරීමට කටයුතු කරන බවක් නොපෙණිනි. පොලිස් නිලධාරීන් විසින් ෂ්‍රැංග්‍රිලා හෝටලය ඉදිරිපිට අත්වැල් බැඳගෙන මග ඇහිරුව ද රාජපක්‍ෂ සුනාමිය ගෝඨාගෝගමට පැමිණීම නතර කළ නොහැකි විය. කඳුළු ගෑස්, ජල ප්‍රහාරක රථ ප්‍රදර්ශන රථ පමණක් විය.

ගෝල්ෆේස් පිටිය මැදින් දිවගිය රාජපක්‍ෂ මැර කණ්ඩායම ප්‍රථමයෙන් ගෝඨාගෝගම පුස්තකාලයට පහරදී ගිනි තැබූහ. අනතුරුව එම අරගල භූමිය පුරා ඉදිකර තිබූ සියලුම කූඩාරම් කඩා බිඳ දමා ගිනි බත් කළහ.

‘සර්… මේ අයව නතර කරන්න. අපිට ගහනවා…’ අරගල භූමියේ තරුණ, තරුණියෝ පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වූහ. එහෙත් ඵලක් නොවිණි. පොලිසිය කඳුළු ගෑස්, ජල පහර එල්ල කළේ ද ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන රාජපක්‍ෂ පාක්‍ෂිකයන් දෙසට නොව, අරගල භූමිය වෙතටය. රාජ්‍ය බලය අතට ගත් රාජපක්‍ෂ මැර කණ්ඩායම සාමකාමී අරගලකරුවන්ට එළවා එළවා පහර දුන්හ. අහිංසක තරුණ, තරුණියන්ට පහරදෙන මිලේච්ඡත්වය දකින මිනිසුන්ගේ හදවත් කම්පනයට පත් විය. ඇතැම්හු රූප පෙට්ටි ඉදිරියේ කඳුළු සැලූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තලා තම පාක්‍ෂිකයන් උසිගන්වන හඬ ගෝල්ෆේස් පිටිය සිසාරා රැව්දෙන විට ජනතාවගේ කෝපය ගිනි පත්තු විය. ගෑස්, තෙල් පෝළිම්වල වියළෙමින්, ගිනියම්ව සිටි කොළඹ මිනිස්සු ගාලුමුවදොර පිටියට දිව ආහ. රාජ්‍ය, පෞද්ගලික කාර්යාලවල සේවයේ නියුතුව සිටි තරුණ, තරුණියන් එක පිම්මේ ගෝල්ෆේස් පිටියට දිව ආහ. කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු, සුළු සේවකයන්, අලුත්කඩේ උසාවියේ නීතිඥ මහත්වරු එකී නොකී විවිධ තරාතිරම්වල වෘත්තිකයන්, විවිධ ව්‍යාපාරිකයන්, විශ්වවිද්‍යාල සිසුහු, කොළඹ ප්‍රදේශවාසීහු ගෝල්ෆේස් පිටියට පැමිණියහ. ඒ අතරට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් ද ගෝල්ෆේස් පිටිය හරහා ගමන් කරන අයුරු කැමරා කාචවල රැඳිනි. ඒ සමඟ පැමිණි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසට අරගලකරුවන් පහරදීමට තැත් කිරීමත් සමඟ ඔවුහු වාහනවල නැඟී පළා ගියහ. ගත වූයේ මොහොතකි. ගාලුමුවදොර පිටිය එකම ජන ගඟක් විය. ෆේස්බුක්, වට්ස්ඇෆ්, යූටියුබ් සමාජ මාධ්‍ය හරහා පණිවුඩ හුවමාරු කරගනිමින් විවිධ ස්ථානවලට එකතු වූ පිරිස් කොළඹ සියලු මාර්ග රකිමින් ‘ආදරයේ අරගලයට’ පහරදුන් කාලකණ්ණින්ව කොටු කළහ. පොලු, මුගුරු අතැති තරුණ පිරිස් කොටහේන, කොල්ලුපිටිය හන්දිය, කොම්පක්‍ද්ක්‍දවීදිය ප්‍රදේශවලින් මාර්ග හරස් කරගෙන රැකගෙන සිටියහ. ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ට පහරදීමට සූර් පිට දිව ගිය ගමේ චණ්ඩින්ට දුවන අත සොයාගැනීමට නොහැකි විය. පිරිසක් දිවවිත් අරගලියගහ මැඳුරටම වැදිණි. තව පිරිසක් හිස හැරුණු අතේ දිව ගියහ. කොළඹ මාර්ග ගැන හරි හැටි නොදන්නා වන්නි හත්පත්තුවේ රාජපක්‍ෂ පාක්‍ෂිකයන් බහුතරය කොම්පක්‍ද්ක්‍දවීදිය දෙසට දිව ගොස් තිබිණි. එම ප්‍රදේශයේ තැන, තැන කල්ලි ගැසී සිටි ප්‍රකෝපකාරී ප්‍රදේශවාසීන්ට කොටු වූ රාජපක්‍ෂ මැරයන්ට අමානුෂික ලෙස පහරදී බේර වැවේ ගිල්වා තිබිණි.

‘ගෝඨාගමට පහරදීම වැරැදියි. ඒක අපි හෙළා දකිනවා. ඒ වගේම තිරිසන් පහරදීමක් රාජපක්‍ෂ පාක්‍ෂිකයන්ටත් එල්ල කළා.

“දරුවෙක් හම්බවෙන්න ඉන්නවා නම් ගෙදරට වෙලා ඉන්න තිබුණනෙ ගෑනියේ. මහින්දට …………… දෙන්න ආවද…’ කියලා අහලා තමයි ඒ බඩදරු අම්මා කෙනෙක්ව බේරේ වැවට විසි කළේ. මහින්ද කහඳගමට ගහලා ඇඳුම් ඉරා දාලා යට ඇඳුම පිටින් පාරේ ඇදගෙන ගියා. තව කෙනෙක්ගේ යට ඇඳුමත් ඉරා දාලා පාරේ ඇවිද්දුවා. සමහර පුද්ගලයන්ව ගහලා ඇඳුම් ගලවලා දණගස්වලා තිබුණා. බේරේ වැවේ බස්වලා තිබුණු ගෑනු, මිනිසුන්ට වරින්, වර එන, එන අය පොලුවලින් පහර දුන්නා. පැය ගාණකට වතුරෙන් ගොඩ වෙන්න දුන්නේ නෑ.

“අපිව බලහත්කාරයෙන් අරගෙන ආවේ. අනේ… ගහන්න එපා. අපි ජොබ් එක බේරගන්න ආවේ… සමහර ගෑනු, පිරිමි එහෙම කියනකොටත් පහර දුන්නා…”

රටක් ගිනිගත් සඳුදාවක්.... සැබෑ 'රිටර්න්' එක අමතක කර පුද්ගලික කොන්තරත් පිරිමහ ගෙන!

“ගහන්න එපා… අපි සිරකරුවෝ… මෙහෙම දේකට අරගෙන එනවා කියලා අපි දැනගෙන හිටියේ නෑ. අනේ අපි අසරණයි ගහන්න එපා… කියලා එක තරුණයෙක් අත්දෙක එකතු කරලා වැන්දා. ඒ තරුණයට නම් වැඩිය ගැහුවේ නෑ. අරලිගහ මන්දිරය ඇතුළේ කැමරා ඉදිරිපිට ලොකු ටෝක් දීපු ගෑනු, පිරිමින්ට නම් ඇති වෙන්න සැලකුවා. කෙස්වැටිවලින් ඇදගෙන ගිහින් බිම දාගෙන ගහලා බේරේ වැවට විසි කළා. එවැනි ම්ලෙච්ඡ පහරදීම් අනුමත කරන්න බෑ…”

රාජපක්‍ෂ පාක්‍ෂිකයන්ට පහරදෙන අයුරු දෑසින් දුටු කෙනෙක් කියන විදිහට ප්‍රහාරය අශිෂ්ඨය. බේරේ වැවට දමා තිබුණු මිනිසුන්ට තිරිසන් සතුන්ටවත් පහරනොදෙන ආකාරයට පොලුවලින් ගහන වීඩියෝ දර්ශන මුහුණුපොතෙන් අපිදු දුටුවෙමු. බඩ මහත, මහ තඩි මිනිස්සු දෑතින් විලි වසාගෙන මහ මඟ ඇවිදින අයුරු ද දුටුවෙමු. වෘත්තීය සමිති නායිකාවකට දස වධ දෙමින් මහ මඟ ඇදගෙන ගිය හැටි දුටුවෙමු. එවැනි ප්‍රහාරදීම් ම්ලේච්ඡ බව සැබෑය. එහෙත් ඔවුන්ට පඩිසම් දෙනු ලැබූයේ දිට්ඨධම්ම වේදනීය කර්මයයි. සිංහ ලීලාවෙන් මයිනාගෝගම, ගෝඨාගෝගම අරගලභූමිවලට ඇතුළු වී එහි සිටි තරුණ, තරුණියන් පූජකයන්ට එළවා, එළවා පොලුවලින් පහරදුන් අයුරු ගෝත්‍රික සමාජයකදීවත් නොවෙන තරම්ය. එසේ පහරකෑමට ලක් වූ අහිංසක තරුණ, තරුණියන් මේ සටහන තබන මොහොත වන විටත් රෝහල්වල ප්‍රතිකාර ලබති. කිහිපදෙනෙක් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති. එහෙයින් ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රති ප්‍රහාරවල ශිෂ්ඨභාවය සෙවීමෙන් ඵලක් නැත.

සාමකාමී අරගලකරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරයත් සමඟ මුළු රටම ඇවිස්සිණි. ගෝඨාගෝගම සාමකාමී අරගලයට පහරදීමට රාජපක්‍ෂ පාක්‍ෂිකයන් කොළඹ පැමිණි වාහනවල විස්තර ඇතුළත් පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණයවීමට පටන් ගත්තේය. ඒ සමඟම කාර්යාලයෙන් පිටව ගිය අපට පංචිකාවත්ත වටරවුම අසලදී අධි සුඛෝපභෝගී සුපිරි බස් රථයක් බුර, බුරා පිච්චෙන අයුරු දැකගැනීමට ලැබිණී. එම අධි සුඛෝපභෝගී බස් රථය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහචරයන් පැමිණි එක් බස් රථයක් බව දැනගැනීමට ලැබිණි. මරදාන, මාලිගාවත්ත මිනිසුන් පාර මැද ටයර් පුළුස්සමින් ගෝඨාගෝගමට ප්‍රහාරදීමට පැමිණි පිරිස හොයන ප්‍රචණ්ඩකාරී ස්වරූපය දකින විට නලල් තලය තෙත් විය. මහ මඟ ජෑම්ය. පාසල් ළමයි සී, සී කඩ දිව ගියහ. ඇතැම් පුංචි ළමයි, ගැහැනු ළමයි බියට පත්ව බස් නැවතුම්පළවල හඬා වැළපෙමින් සිටින අයුරු අපි දුටුවෙමු. ඒ දසුන් දකින අප කම්පනයට පත් විය. පුංචි බොරැල්ලෙන් කළුතර බස් රථයකට ගොඩ වූයේ හැකි ඉක්මණින් ගෙදරට යෑමටය. එහෙත් ගමන සුංන්ගු විය. වැල්ලවත්තේ සිට කළුතර දක්වා ස්ථාන කිහිපයකදී ප්‍රකෝපකාරී පිරිස් විසින් බස් රථය පරීක්‍ෂා කරන ලදී.

‘මයිනට කඩේ ගිය අය ඉන්නවා නම් දැම්ම බැහැපල්ලා…’

‘අරක්කු ගඳ ගහන එවුන් ඉන්නවා නම් කියාපියව්… එහෙම ඉඳලා අවුහුණොත් බස් එකේ සියලුදෙනාට කන්න වෙනවා…’

කරදර කළාට සමාවෙන්න… අපි මේ දේවල් කරන්නේ රටේ සියලු ජනතාව වෙනුවෙන්. අර අහිංසක කොල්ලො, කෙල්ලො මාසයක් තිස්සේ ගෝල්ෆේස් පිටියේ අරගල කරන්නේ රාජපක්‍ෂ පිළිකාවෙන් රට බේරාගන්න. එහෙම ළමයින්ට සතුන්ට වගේ පහරදෙනකොට අපිට බලාගෙන ඉන්න පුළුවන්ද? හන්දියක්, හන්දියක් ගානේ බස් රථය නතර කරමින් කොළඹ ගිය මහින්ද හිතවාදීන් සෙව්ව තරුණයන් කියන හැඟුම්බර කතාවලට බස් රථයේ සිටි මගීන්ගේ පපු කැවුතු ඉරාගෙන සියුම් ලේ නහරවලට පවා දැනෙන බව භාන්ත්‍ර වී තිබුණු මුහුණුවලින් පෙණිනි. ඒ වනවිට මහ මඟ ද එකම ගාලගෝට්ටියකි. ‘කපුටු කාක්… කාක්…’ කාක්…’ නලා හඬ පාර දිගේ දෝංකාර දුන්නේය. ගිලන් රථවල නාදය ඇසෙන සෑම තත්පරයකදීම හදවත පිච්චිණි. තැන, තැන පිච්චෙන වාහනවල, ටයර්වල පුළුටු ගඳට නාස් පුඬු දැවිණි. ඉඳිකටු වැස්ස හිටි හැටියේ දඩබ්බර විය. එහෙත් මහ වැසි නොතකා ප්‍රකෝපකාරී පිරිස් වාහන නතර කර පරීක්‍ෂා කළහ. ප්‍රකෝපකාරී පිරිසට අවනත වෙමින් මගී ජනතාවගෙන් පිරුණු බස් රථය සෙමින් ඉදිරියට ඇදිණි. ඇඳිරියත්, වැහි අන්ධකාරයත් එකතු වී අවට කළුවර වෙමින් තිබිණි. මහ මඟට එකතු වී සිටින පිරිස ද වැඩි වෙමින් තිබිණි. මොරටුව ප්‍රදේශයේ පාර දිගට එකම ජන ගඟකි.

‘අර තියෙන්නේ ඔයලාගේ ගමේ මාල හොරාගේ ලේකම්ගේ කැබ් එක. ඉදිරියෙන් තව ලොකු බස් එකක් තියෙනවා බලාගෙන යන්න…’ ජන ගඟ අතරින් බස් රථයට හිස දැමූ තරුණයෙක් කුඩු පට්ටම් කර, කණ පිට හරවා පාර අද්දර දමා තිබූ අධි සුඛෝපභෝගී ජීප් රථයක් දෙසට අත දිගු කළේය. ඒ ජීප් රථයෙන් ගන්න දෙයක් නැත. මගේ සිත සාපලත් ත්‍රස්තවාදී යුද්ධයේ අවසාන දින කිහිපයට දිව ගියේය. උතුර, නැගෙනහිර භූමියේ විනාශ වී තිබූ වාහනවල අබලි කොටස් මනසේ ඇඳෙන්නට විය. නැවතත් මේ විනාශ වෙමින් තිබෙන්නේ රටේ දේපළ කියා හිතෙන විට හදවත පිච්චිණි. ඩොලර් නොමැතිව මුළු රටම බංකොළොත් වී තිබෙන පසුබිමක රටේ දේපළ මේ අයුරින් විනාශ කර දැමීම මහා කරුමයක් පඩිසම්දීමක් වැනිය. එහෙත් මේ මොහොතේ ඊට එරෙහිව වචනයක් කතා කිරීම මිනී වළ කපාගැනීමකි. එහෙයින් නොකර ශබ්ද අවට විපරම් කරමින් ගමන් කළේය. රෑ බෝවීමත් සමඟ ප්‍රකෝපකාරී පිරිස් හන්දියක්, හන්දියක් ගානෙ වාහන නතර කරමින් පරීක්‍ෂා කළහ. අවසානයේ කළුතර නගරයෙන් බස් රථයෙන් බහින විට වේලාව රාත්‍රී 08 ය. පුංචි බොරැල්ලෙන් බස් රථයට ගොඩ වූයේ සවස 2 ටය. වැඩ කරන පැය හයකට ආසන්න කාලයක් මහ මඟ දැවිණි.

මගතොටේ ප්‍රචණ්ඩත්වය එසේ උණුසුම් වෙමින් තිබියදී, නිවසට පැමිණ රූපවාහිනිය දෙස බලන විට මුළු රටම එකම ගිනි ගොඩකි. නගරවලට, ගමේ කඩපිළට එකතු වූ ප්‍රකෝපකාරී පිරිස ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයන්ගේ නිවෙස්, සෙසු දේපළ ගිනිබත් කරන අයුරු රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කෙරිණි. නිට්ටඹුවේ වෙඩි තැබීමකින් පසු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂකයකු වන පොලිස් සැරයන් අහංගම විතාරණලාගේ ජයන්ත ගුණවර්ධන පහරකෑමට ලක්ව මැරී වැටී සිටින අයුරු සමාජ මාධ්‍ය හරහා සංසරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඒ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබුණේ අරලියගහ මන්දිරයේ අවසාන භෝජන සංග්‍රහයට සහභාගි වී ගෙදර යන අතරතුරදීය. එනම් ඔහු ගමන් කරමින් සිටි ජීප් රථය නිට්ටඹුව ප්‍රදේශයේදී නතර කර සෝදිසි කිරීමට උත්සාහ කළ තරුණයන් දෙසට වෙඩි තබා වාහනයෙන් බැස පලායමින් සිටියදී ප්‍රකෝපකාරී පිරිස විසින් පහරදී මරා දමා ඇති බව වාර්තා වේ. මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් එල්ල කළ වෙඩි පහරට ගොදුරුව තිදෙනෙක් බරපතළ තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුණයකු මියගොස් තිබිණී. ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණදී තිබුණේ කල්එළිය, නාපිටිගම පදිංචිව සිටි ඉහළ ගමගේ හර්ෂ නදීෂාන් ජයවීරය. එමෙන්ම ගෝඨාගෝගම ප්‍රචණ්ඩත්වය පාලන කිරීමට කඳුළු ගෑස් පහර එල්ල කරන ලද තුවක්කුවක් පුපුරා යෑම හේතුවෙන් උප පොලිස් පරීක්‍ෂක රංගන තුෂාර ප්‍රනාන්දු මහතා මියගොස් තිබිණි. කොටුව අරගල භූමියට කඩා වැදුණු මැර කණ්ඩායම විසින් එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයට ගොදුරු වූ අසූව හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙක් ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වර්තා වේ.

පසුගිය 09 වැනිදා මාරයාගේ රාත්‍රීයේ ප්‍රකෝපකාරී පිරිසක් ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. වී. සරත් කුමාර මහතාගේ නිවෙසට පහරදීමට තැත් කිරීමේදී කම්පනයට පත් වූ සභාපතිවරයා හෘදයාබාධයක් වැළඳී ජීවිතක්‍ෂයට පත් වී තිබිණි. එමෙන්ම එදින රාත්‍රියේදී වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට පහරදීමට පැමිණි පිරිසට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් තරුණයන් දෙදෙනකු මියගොස් තිබිණි. තවත් පුද්ගලයන් කිහිපදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබිණි. මීගමුව මහ හුණුපිටියේ පිහිටි ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් සුපිරි හෝටලයට පහරදීමට පැමිණි ප්‍රකෝපකාරී පිරිසට හෝටල් පාර්ශ්වයෙන් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් එක් අයකු මියගොස් තවත් පස්දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා විය. මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි නාවික හමුදා ඉංජිනේරු සිවිල් බළකායේ සේවයේ නියුතු සඳලංකා හේවගේ ප්‍රදීප් ප්‍රියන්ත ප්‍රනාන්දුය. ඔහුට වයස අවුරුදු තිහකි. අවිවාහකයෙකි. එමෙන්ම පසුගිය 09 වැනිදා අරලිගහ මන්දිරයේ අවසාන භෝජන සංග්‍රහයෙන් පසුව ඇවිළී ගිය ගින්නට මැදිව පුද්ගලයන් 219 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. රෝහල්ගත කරන ලද එම පිරිස අතර කාන්තාවන් 10 දෙනකු ද සිටින බව වාර්තා විය. ගැටුම්වලින් තුවාල ලැබූ තවත් තුවාලකරුවන් 41 දෙනකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබිණි. එම තුවාලකරුවන් අතර ද කාන්තාවන් දෙදෙනකු ද සිටිති.

රටක් ගිනිගත් සඳුදාවක්.... සැබෑ 'රිටර්න්' එක අමතක කර පුද්ගලික කොන්තරත් පිරිමහ ගෙන!

මාරයාගේ දිනය පසුගිය 09 වැනිදා එසේ ගෙවී ගොස් පහුවදා හිමිදිරියේ සිටම ප්‍රකෝපකාරී පිරිස් යළිත් ක්‍රියාත්මක වෙමින් තිබිණි. කටුනායක අධිවේගී මාර්ගය ඇතුළු ගුවන් තොටුපළට ඇතුළු වන සෙසු මාර්ග ජනතා ග්‍රහණයට නතු කරගනිමින් ගුවන්තොටුපළට යන සියලු වාහන පරීක්‍ෂා කිරීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. ඒ අල්ලපනල්ලේ මහින්ද රාජපක්‍ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් ගුවන් යානයක නැඟී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ගිය බවට පැතිර ගිය කතාවත් සමඟ ත්‍රිකුණාමලය ප්‍රදේශවාසීහු නාවික හමුදා කඳවුර වැටලූහ. කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණ කළහ. කටුනායක, ත්‍රිකුණාමලය එසේ ගිනියම් වෙද්දී, සවස් කාලයේදී සිවිල් ඇඳුමින් සැරසී අරලිගහ මන්දිරය පිටුපස බේරේ වැව අසළ මාර්ගයේ ගමන් කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ප්‍රකෝපකාරී පිරිසක් පහරදෙනු ලැබිණි. දෙතුන් දෙනෙක් ආරක්‍ෂිත හිස් ආවරණවලින් පහරදෙන අතරේ කිහිපදෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හිසට ටොකු ඇන්නහ. මොහොතින්, මොහොත වැපිරුණු ප්‍රචණ්ඩත්වය එදින රාත්‍රිය වන විට වෙනත් දිසාවකට හැරිණි. මංකොල්ලකෑම ඉස්මතු විය. මත්ලෝලීන්, හොරු, මංකොල්ලකාරයො කල්ලි ගැසී සුපිරි වෙළෙඳසල්, මත්පැන්හල් බිඳ මුදල්, බඩු භාණ්ඩ සොරාගෙන යෑමට පටන්ගත්හ. මීගමුව ඇවෙන්ඩ්‍රා හෝටලයේ ගෘහ උපකරණත් කරතියාගෙන යන අවස්ථාවාදී කොල්ලකරුවන්ව මාධ්‍ය ඉදිරියේ ද ප්‍රදර්ශනය කෙරිණි. හොරු, මංකොල්ලකාරයෝ එක පැත්තකින් ක්‍රියාත්ම වෙද්දී, තුච්ච කුහක හැත්ත ක්‍රියාත්මක වෙමින් විරුද්ධවාදීන්ගේ දේපළ ගිනි බත් කළහ. මැදමුලනේ රාජපක්‍ෂ සොහොන් කොත් කඩා බිඳ දැමීම මියැදුණු මිනිසුන්ගෙන් ද පළිගැනීමකි. උමන්දාව වැනි පූජනීය සිද්ධස්ථානවලට පහරදීම ජාතිවාදී ගිනි ඇවිළවීමකි.

මේ සටහන අවසාන කරන මොහොත වන විට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 55 දෙනකුගේ නිවාස ගිනිබත් කර හමාරය. කොළඹ බේරේ වැවට තල්ලු කර වාහන කිහිපයක් තවමත් දියේය. තවත් සුඛෝපභෝගී රථ ඇතුළු වාහන එකසීය අනූහතරක් තැන, තැන ගිනිතබා විනාශ කර ඇති අයුරු පෙනේ. ඒ අතර දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවට අයත් වාහන පහළොවක් ද ඇතුළත්ය. එම නගර සභාවට පහරදී විශාල හානියක් සිදු කර ඇති බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් යැයි හඳුනාගත් ව්‍යාපාරිකයන්ගේ තරුපහේ හෝටල්, තරු රහිත හෝටල් කිහිපයක්ද, කඩ සාප්පු, කාර්යාල ගිනිබත් කර විනාශ කෙරිණි. දැවැන්ත ආර්ථික අර්බුදයක සිරවී සිටින රටට රුපියල් බිලියන පන්සීයකට වැඩි දේපළ හානියක් සිදු වී ඇති බව වාර්තා වෙමින් තිබේ. එමෙන්ම දුක්මහන්සි වී යහපත් ලෙස මුදල් උපයමින් ගෙවල් දොරවල් හදාගෙන පසුව දේශපාලනයට පැමිණ සිටි ගුණපාල රත්නසේකර වැනි මහත්වරුන්ගේ නිවාස ද ගිනිබත් කිරීම මහා පාපයකි.

‘මා දේශපාලනයෙන් හම්බ කරපු එක රුපියලක්වත් නෑ. දිවා රෑ නිදි නොලබා දැනුම බෙදමින් සොයාගත් දෑ දැන් ගිනි ගනිමින් තිබේ. දිවි ඇති තුරා දේශපාලනයට නොඑමි…’ ගුණපාල රත්නසේකර තබා තිබූ එම ෆේස්බුක් සටහන දුටු විට දෑස් බොඳ විය. එමෙන්ම දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති අහිංසක මිනිසුන්ගේ ගෙවල් දොරවල්, ව්‍යාපාර පවා ගිනිබත් කර ඇති අයුරු දකින විට මෙවැනි රටක ජීවත්වීම කරුමයක් යැයි සිතිණි. යමෙක් හොරා කා හෝ නිවසක් ගොඩනඟන්නේ කප්පරක් සිහින පොදි බැඳගෙනය. ව්‍යාපාරයක් පටන්ගන්නේ පරම්පරාවකටය. එවැනි සිහින මාළිගා බිඳ දැමීම මේ රටට තවත් සාපය එකතු කිරීමකි. වෛරය වැපිරීමකි. තව, තවත් සාපලත් ප්‍රචණ්ඩත්වය රට පුරා වැපිරීමට පෙර රට තුළ සාමය ඇති කිරීමේ වගකීම හමුදාවට භාරදීම ආණ්ඩුව ගත් යහපත් විසඳුමකි. දැන් රට සාමකාමීය. එහෙත් නොවිය යුතු දේ සිදු වී හමාරය. ලේ වැඟිරිණි. රටවැසියන් මැරිණි. විශාල දේපළ හානි සිදු විය. මේ බිහිසුණු ඛේදවාචකයට මුල මහින්ද රාජපක්‍ෂ හිටපු අගමැතිවරයාගේ බලතණ්හාව බව සමාජයේ පැතිරෙන මතයකි. එමෙන්ම රාජපක්‍ෂවරුන් සහ මහින්ද රාජපක්‍ෂ නොමැති රටක අනාගතයක් නැති දේශපාලන අහිගුණ්ඨිකයන්ගේ මෝඩ තකතීරුකම් යැයි ද තවත් සමාජ මතයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදුන් හැටනව ලක්‍ෂය තවමත් සිටිනා බවට පොහොට්ටුවේ දේශපාලනඥයන්ගේ තිබූ හීනමානයත් මේ මහා ඛේදවාචකයට ප්‍රධාන කාරණයක් වූ බව සැබෑය.

රටක් ගිනිගත් සඳුදාවක්.... සැබෑ 'රිටර්න්' එක අමතක කර පුද්ගලික කොන්තරත් පිරිමහ ගෙන!

2009 මැයි 18 වැනිදා මේ රටේ බහුතරයකට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති දෙවියෙකි. තිස්වසරක සාපලත් යුද්ධය අවසාන කරමින් මිනීමරු කොටි ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් මරා දැමූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ජාතියේ වීරයා ඔහුය. එහෙත් 2022 මැයි මස 09 වැනිදා මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ද මෙරට බහුතරය පිළිකුල් කරන නාකි මයිනා ගාණට වැටිණි. ඒ තැනට වැටීම ගැන විග්‍රහ කිරීමට නොයන්නේ මොළ කළඳක් හෝ තිබෙන ඕනෑම කෙනෙක් රාජපක්‍ෂවරු අපකීර්තියට පත්වීමේ හේතු දන්නා නිසාය. එමෙන්ම බලතණ්හාවේ උමතුව පිරිහීමේ ආරම්භය බව බුදුදහමේ පාඩමකි. මහින්ද රාජපක්‍ෂ ඇතුළු බල ලෝබී දේශපාලන කණ්ඩායම එම දහම් පාඩම අනාගත පරපුරට නැවත සිහිපත් කරදී තිබේ. සෑම පෝය දිනකම ධර්මය අහන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අතහැරීමෙන් ලැබෙන සැනසීම ගැන අවබෝධ නොවීම නම් ඔහුගේ පෙර අකුසලයක් පඩිසන්දීමක් බව අපගේ හැඟීමය.

එහෙත් අතීතය පාඩමක් පමණි. දැන් අපි නිවෙමු. ප්‍රකෝපකාරී සිත් නිවමු. අපේ රට වැටී සිටින අර්බුදයෙන් ගොඩගැනීමට සියලු දෙනා සාමකාමීව එකතු වීමු. මේ රට වැටී තිබෙන ආර්ථික අගාධයේ තරම ඔබ දන්නේ නම් හදවතේ ලේ නහර සිරවෙන තරමට බය සිතෙන බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. දැන්වත් ඔබ ඉදිරියේ තිබෙන පොදු අනතුර තේරුම්ගෙන කටයුතු කිරීම සියලු පුරවැසියන්ගේ වගකීමකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment