සැමියාගෙන්ම ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ අමුතු බිරිඳක්!

750

පැහැරගත් බව කියා සැඟවී ඉඳලා

සිය සැමියා සහ දරුවන් නොමඟ යවමින් රුපියල් ලක්ෂ 35 ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ කාන්තාවක් ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේ ඉකුත් පහළොස් වැනි දිනය.

ඇයගේ ගම ආණමඩුවය. වයස අවුරුදු 50 කි. සැමියා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි. පවුලේ දරුවන් තිදෙනෙකි. වැඩිමහල් පුතා සහ දියණිය විවාහකය. ඔවුන් වෙනම ජීවත් වේ. බාල පුතා ඔවුන් සමගය.

සැමියා විශ්‍රාම යෑමෙන් පසුව විවිධ ඉදිකිරීම්වල කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කළද කාලයාගේ ඇවෑමෙන් එම කොන්ත්‍රාත්වලින් පාඩු ලැබීය. ඒ නිසාවෙන් ඔහු පෞද්ගලික ආරක්ෂක ආයතනයක ආරක්ෂක අංශයේ සේවය කරයි.

වැඩිමහල් දියණියගෙන් සහ පුතාගෙන් නිදහස්ව සිටිය ද ඔවුන් නිතරම උත්සාහ කළේ බාල පුතාට රැකියාවක් සොයා ගැනීමටය. ඒ හේතුවෙන් නිරන්තරයෙන් උත්සාහ කළද රැකියාවක් සොයා ගැනීමට ඇති බාධාව හේතුවෙන් විදෙස් රැකියාවකට යොමු කිරීමට ඔවුන් අදහස් කළේය. බාල පුතාද ඊට එක හෙලාම කැමැත්ත පළ කළේය. ඒ සඳහා විදෙස් රැකියා ආයතනයකට රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් ලබාදීමට කටයුතු කළේය. ඊට අවශ්‍ය මුදල සොයා ගනු ලැබුවේ පොලී පදනම මත ලොකු පුතාගේ බිරිඳ මැදිහත්වී දන්නා අයකුගෙනි. ඒ මවගේ බලවත් ඉල්ලීම මතය.

කාලය ගතවීමත් සමඟ වරින් වර විදේශ රැකියා ආයතනයෙන් විදෙස්ගත වීමට අවශ්‍ය කටයුතු කරන්නේ කිනම් දිනෙකද යන්න නිරන්තරයෙන් ඔවුන් විමසන්නට විය. එහෙත් එය බාලගිරි දෝෂයක් බවට පත්විය. දිනෙන් දින ලබාදීමට නියමිත පොලිය ඉහළ ගියේය. මේ තත්ත්වය මත ඔවුනට පොලී පදනම මත මුදල් ලබාගත් අය නිරන්තරයෙන් කරදර කළේය. එම මුදලේ පොලිය පවා ගෙවා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්විය. මේ අතර මවට සහ පියාට තමාව රට යැවීමට බාල පුතා බල කරමින් කෑකෝ ගැසීම නිසා තාත්තයි පුතයි උරණ වූ අවස්ථා ද එමට ය. ඔවුන් අතර නිරන්තරයෙන් සණ්ඩු සරුවල් ඇතිවිය.

පැවති මානසික පීඩනය මඟහරවා ගැනීමට දෙදනාම තීරණයකට එළඹීය. ඒ සැමියාට අයත් කොට්ටුකච්චිය ප්‍රදේශයේ තිබෙන ඉඩම විකිණීමටය. එහෙත් එසේ එය සැලසුම් කළද එම ඉඩම අඩු මුදලකට ඉල්ලීම හේතුවෙන් එම උත්සාහය ද අසාර්ථක විය.

සැමියාගෙන්ම ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ අමුතු බිරිඳක්!

ඇයගේ ලොකු පුතාගේ ලේලියගෙන් තමන් මදිහත්වී මුදල් ලබා ගැනීම සම්බන්ධව ඇය දැඩි කනස්සල්ලෙන් පසුවූවාය. ඒ නිරන්තරයෙන් මුදල් ලබාගත් පාර්ශ්වය මුදල් කෙසේ වෙතත් අයවිය යුතු පොලියවත් ලබාදෙන මෙන් කරදර කිරීම නිසාය. ඇය නිතර කල්පනා කළේ මේ මුදල් පියවා ගන්නේ කෙසේද යන්නය. විවිධ ක්‍රමෝපායන් සිතට නැඟුණත්, ඒවා ක්‍රියාත්මක කිරීමට තරම් ශක්තියක් ඇයට නොවීය. අවසානයේ ඈ තීරණයකට එළඹුණා ය. ඒ මෙම මුදල් කෙසේ හෝ තම සැමියාගෙන් ලබා ගන්නා බවටය. ඊට සැලසුමක්ද ඇය ක්‍රියාත්මක කළාය.

මොන ප්‍රශ්න මොන ගැටලු ආවත් තමන් කෙසේ හෝ මේ මුදල් නිවසින්ම ලබා ගන්නා අරමුණ ඇතිව ඇය පසුගිය 15 දින උදෑසන ආණමඩුව පිහිටි නිවසින් පිටත් වූයේ සිය දියණිය පදිංචි වාරියපොල හංහමුණ නවගත්තම ප්‍රදේශයටය. දියණියගේ නිවසට ගොස් මද වේලාවක් රැඳී සිටි ඇය සවස් වන විට නිවසට යෑමට අවශ්‍ය බව පවසා දියණියගේ නිවසින් පිටත් වූවාය.

පසුව ඇය මේ සියලු සැලසුම් ක්‍රියාත්මක කිරීමට දියණියගේ නිවස තුළ සුදුසු නොවන බව වටහාගත් ඇය කටුපොත සිටින ඇයගේ සොහොයුරාගේ නිවසට යෑමට කටයුතු කළේය. සොහොයුරා මියගොස් ඇති අතර සොහොයුරාගේ බිරිඳ පමණක් එම නිවසේ රැඳී සිටී. කෙසේ වෙතත් ඇය දැඩි පීඩනයකින් ඉන්නා බවත් මුහුණ පා ඇති තත්ත්වය ද පැහැදිලි කර දින දෙකක් තුනක් එම නිවසේ රැඳී සිටීමට අවශ්‍ය බව පැවසුවාය. එම නිවසේ සිට කිසිවකුටත් නොකියා ඇය තනිවම මුදල් ලබා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට යෙදුනාය.

“වෙන්න කලින් මම එනවා මේ මඟ එන ගමන් මාව ගන්න ආණමඩුව ටවුන් එකට එන්න” මෙහෙයුම ආරම්භ කරමින් ඇය සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබා දුන්නාය.

“මට ටිකක් සනීප මදි පුතාව ටවුන් එකට එවන්නම්”

ඔහු එසේ කියා සිටිමින් ඇයව ගැනීමට යතුරුපැදියෙන් සිය පුතාව පිටත් කිරීමට කටයුතු කළේය. ඒ වන විට සවස හයහමාර පමණ විය.

බස් නැවතුම්පළට ගොස් පැයකට වැඩි කාලයක් ගත කළ බාල පුතා විසින් මවට දුරකථන ඇමතුම් කිහිපයක් ලබා දුන්නද ඇයගේ දුරකථනය ක්‍රියා විරහිත වී තිබීම හේතුවෙන් ඔහු ආපසු නිවසට පැමිණියේය.

කෙසේ නමුත් කාන්තාව සොයා ගැනීමට නොහැකි වීමත් දුරකථනය ක්‍රියා නොකිරීමත් මත පියා ආණමඩුව පොලිසියට 15 දින රාත්‍රියේ ඇයගේ අතුරුදන්වීම සම්බන්ධව පැමිණිලි කිරීමට කටයුතු කළේය.

15 දින මෙම කාන්තාව පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොමැති වීම හේතුවෙන් ආණමඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එච්. ආර්. හේමන්ත නන්ද කුමාර මහතා ඉහළ පොලිස් නිලධාරීන්ට දන්වා මේ පිළිබඳව අදාළ උපදෙස් ලබා ගැනීමෙන් පසු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එස්. ජයන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කළේය.

සැමියාගෙන්ම ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ අමුතු බිරිඳක්!

ඒ අතරතුර 16 දින මෙම කාන්තාව තම ජංගම දුරකථනයෙන් සැමියාට කතා කර සිව් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තමන් ආණමඩුව නගරයේ දී 15 දින සවස පැහැර ගත් බවත් මුදා හැරිමට ලක්ෂ 50 ක කප්පම් මුදලක් ඉල්ලා සිටිමින් තමන්ව මරා දමන බවට තර්ජනය කළ බව පැවසුවාය.

ඒ අනුව මෙම කාන්තාව අවස්ථා ගණනාවකදී සැමියාට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඉක්මනින් අදාළ කප්පම් මුදල ලබා දී තමන් බේරා ගන්නා ලෙස ඇඬූ කඳුළින් කීවාය. සැමියා මේ බව පොලිසියට දැනුම් දීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් ඒ වන විටත් ආණමඩුව පොලිසියේ නිලධාරීන් මෙම කාන්තාව ගමන් කළ ස්ථාන හා අදාළ මාර්ගවල ආවේක්ෂණ කැමරා පරීක්ෂා කරමින් අදාළ පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

එහිදී පොලිසියට කිසිදු ස්ථානයක දී මෙම කාන්තාව පැහැර ගැනීමක් පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට හැකිවිය.

පසුව මෙම කාන්තාවගේ දුරකථනයෙන් 17 දින සැමියාගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත් තැනැත්තකු පැවසුවේ බිරිඳ නිරුපද්‍රිතව බේරා ගැනීමට අවශ්‍ය නම් ලක්ෂ 50 ක් නොව ලක්ෂ 35 ක් ලබා දෙන ලෙසයි. එම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ ඔහු නැවතී සිටින නිවසේ ගවයන් බලා ගන්නා අයෙකුට කියාය. ඔහුට මේ සම්බන්ධව කිසි කෙනකුට නොකියන ලෙස ද ඇය කියා සිටියාය.

පසුව මෙම කාන්තාව සැමියා අමතමින් පැවසූවේ අදාළ මුදල් හැකි ඉක්මනින් තම බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන ලෙසත් එම බැංකු ගිණුම් තමන් සන්තකයේ තිබෙන නිසා මුදල් ලැබුණ පසු පැහැර ගත් පුද්ගලයන්ට ලබා දීමට කටයුතු කිරීමට හැකි බවයි.

මේ සියල්ල ගැන ආණමඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර මෙම කාන්තාවගේ දුරකථන වාර්තාවක් ලබා ගනිමින් ඇය රැඳී සිටින ස්ථාන පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව මෙම කාන්තාව රැඳී සිටි කටුපෙත ප්‍රදේශය පිළිබඳව විශේෂ විමර්ශනයකින් පසුව ඇය රැඳී සිටි නිවසේදී 18 දින කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

අමරනන්ද විජේසේකර මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment