සැලසුම් සාර්ථක වුණොත් ශ්‍රී ලංකා ආර්ථිකය අවුරුද්දෙන් ගොඩ මහ බැංකු අධිපති විශ්වාසය පළ කරයි

836

මේ වනවිට සැලසුම් කර ඇති ප්‍රධාන කරුණු ඉදිරි මාස 6, 7 තුළ සම්පූර්ණ කර ගත හැකි වුවහොත් මාස 12 ක පමණ කාලයකදී ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත්කර ගැනීමට හැකි වනු ඇතැයි තමා සිතන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීම සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කාරණා ඉදිරි මාස 6, 7 තුළ සම්පූර්ණ කර ගත හැකි වුවහොත් අර්ථිකය මෙසේ ස්ථාවර කරගත හැකි බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ මාධ්‍ය සමාජය පෙරේදා (23 දා) සවස කොළඹ හිල්ටන් හෝටලයේදී සංවිධානය කර තිබූ හමුවේ ප්‍රධාන ආරාධිත දෙසුම පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

තමා කියන්නේ භාණ්ඩ මිල ගණන් පහළ යෑමක් ගැන නොව ආර්ථිකය දැනට පවතින තත්ත්වයට වඩා යහපත් මට්ටමකට ස්ථාවර වනු ඇති බව යැයි ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය. මේ පවතින විදේශ විනිමය අර්බුදයට දිගුකාලීන විසඳුම වන්නේ අප විදේශ විනිමය වියදම් කරනවාට වඩා විදේශ විනිමය උපයන රටක් බවට පරිවර්තනය වීමයි. මේ අනුව මැදිකාලීනව සහ දිගුකාලීනව අපි අපේ රටේ විදේශ විනිමය ඉපැයීමේ හැකියාව වර්ධනය කරගත යුතු බවද එසේ නැතහොත් අපට දිගින් දිගටම ඉදිරියේදීත් විදේශ විනිමය අර්බුදයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

ණයහිමියන්ට කිසිදු දැනුම්දීමක් නොකර ණය ගෙවීමට නොහැකි වීමේ ඉතා අහිතකර තත්ත්වය වළක්වා ගැනීම සඳහා පසුගිය අප්‍රේල් 12 වැනිදා අපට විදේශ ණය ගෙවීම අත්හිටුවීමට සිදුවුණා. අප මුහුණ දී සිටින තත්ත්වය අනුව අපට මේ මොහොතේ ණය ගෙවීමට අපහසු බව සහ ඒ සඳහා කාලය ලබාදෙන ලෙස අපි අපගේ ණය හිමියන්ට දැනුම් දුන්නා. මෙය අපට මුහුණ දීමට සිදුව තිබූ අහිතකර තත්ත්වයන් අතරින් හොඳම අහිතකර විකල්පයයි. මේ අනුව අපේ ණයහිමියන් සමග ඉදිරියේදී එකඟතාවකට එළැඹෙන තෙක් විදේශ ණය ගෙවීම සඳහා විදේශ විනිමය අවශ්‍ය නොවන බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment