සැලියුට් එකේ පවර් එක වැඩි වී මුළු කාමරයම සුද්ද කරන්න වෙලා

451

සිරිලාල් විසිඅට හැවිරිදි හැඩි දැඩි තරුණයෙකි. හැඩි දැඩි කීවත් ගැළපෙනම වචනය තරබාරු තඩි මිනිසෙකු යන්නය. පහ සමත් මොහු ජීවිතේ ගැට ගසා ගැනීමට නොකළ දෙයක් නැති තරම්ය.
 
 මොහුගේ ගමේ හොඳම මිතුරා රවීන්ද්‍රය.
 
 ‘මචං, කටුනායක ගාමන්ට් එකක සෙකුරිටි ජොබ් එකකට බඳවා ගන්නවා. හෙට ගිහින් බලමුද? කතා කරගත් පරිදිම දෙදෙනා සම්මුඛ පරීක්ෂණයට ගියේ ඉකුත් සිකුරාදාය.
 
 සම්මුඛ පරීක්ෂණයට මුලින්ම ඇතුළට ගියේ රවීන්ද්‍රය. ඔහු විනාඩි පහෙන් එළියට ආවේ ඔලූව කසමිනි.
 
 ‘මොකද වුණේ ?’ සිරිලාල් ඇසුවේ වැඬේ හරිද අසමිනි.
 
 ‘මචං, ආමි එකේ හිටපු කැප්ටන් කෙනෙක් ඉන්ටවීව් එක කරන්නෙ. ෆෝසස්ද කියලා ඇහුවා.’
 
 ‘හරි මම දෙන්නම් වැඬේ ගොඩ යන්නම…’ එහෙම හිතූ සිරිලාල් හොඳ හුස්මක් ඉහළට ගෙන සම්මුඛ පරීක්ෂණය පවත්වන කාමරයට ගියේ හමුදා සෙබළෙක් පෙළපාලියේ යන ගාම්භීර ගමනිනි.
 
 ‘ගුඞ් ආෆ්ටනූන් සර්….’ ඒ සද්දය ඇසී මේජර් උඩ වීසිවිය. එසැණින් සිරිලාල්ගේ දකුණත වටරවුමෙන් ගොස් නළලත කරා ගියේ මේජර්වරයාගේ මේසය මත තිබූ ෆයිල් කවර සීසී කඩ විසුරවා දමමිනි. මේසය මත තිබූ වීදුරු වතුර බෝතලයත්, වීදුරුවත් සලාන් හඬින් බිඳී ගියේ සිරිලාල්ගේ සැලියුට් පහරේ සැර නළලේ වදින අතරය.
 
 ‘මොනවද තමුසෙ මේ කළේ. ඔය කොළ ටික ෆයිල් වල තිබුණ විදිහට තියනවා. වීදුරු කටු ටිකත් එකක් නෑර ඇහිඳලා මිසක් යන්න දෙන්නේ නෑ. පිස්සු යකා…’ මේජර්ට යකා නැග්ගේ එලෙසිනි. පැය භාගයක් යන තුරුත් මිතුරා නැති නිසා රවීන්ද්‍ර කාමරයට එබිකම් කර බලද්දී සිරිලාල් දාඩිය මුගුරු දමාගෙන බිම දිගාවී සුද්දයකි.
 
 තුඹහකින් එළියට ආ තලගොයකු සේ එළියට ආ සිරිලාල්, මිතුරාට කීවේ සැලියුට් එකේ පවර් එක වැඩිවුණා මචං කියා ය.
 
 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment