සැහැල්ලුව තෘප්තිය ලබාදෙන සංගීතය ජීවිතයට හොඳ ඔසුවක් – ආචාර්ය ස්වර්ණශිකා තිලකරත්න

281

සංගීතය යනු විශ්ව භාෂාවකි. එය සියලු මානව සමාජවල විශ්වීය සංස්කෘතික අංගයන්ගෙන් පෝෂණය වී ඇත. සංගීතය ඉගෙනීමට වයස් භේදයක් නොමැත. කාල සීමාවක් ද නොමැත. අපේ ජීවිතයේ මානුෂවාදී නිම්වළලු පුළුල් කරන සංගීතය ඇසුරු කිරීම, එහි ජීවත්වීම සැබැවින්ම සුන්දර අද්දැකීමකි. අද අපේ කතාබහ එවන් චරිතයක් පිළිබඳවයි.

සැහැල්ලුව තෘප්තිය ලබාදෙන සංගීතය ජීවිතයට හොඳ ඔසුවක් - ආචාර්ය ස්වර්ණශිකා තිලකරත්න

 නමින් ආචාර්ය ස්වර්ණශිකා තිලකරත්න වන ඇය කලා පවුලකට උරුමකම් කියන්නීය. ඇයගේ පියා වන බී. ඩී. තිලකරත්න මහතා විදුහල්පතිවරයෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. එසේම ටවර්හෝල් යුගයේදී රංගනයෙන් මෙන්ම නාට්‍ය නිෂ්පාදනයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට දායක වූවෙකි. ශ්‍රී සංඝබෝධි, සූර සරදියෙල්, විනීත භාර්යාව ඇතුළු නාට්‍ය කීපයක්ම ඔහු ඒ කාලයේදී නිෂ්පාදනය කළේය. ස්වර්ණශිකා අටදෙනකුගෙන් යුත් පවුලේ බාලයායි. ඇයගේ ලොකු අයියා වන ප්‍රේමරංජිත් තිලකරත්න ද ප්‍රවීන නාට්‍යවේදියෙකි. වහලක් නැති ගෙයක්, ශ්‍රී වික්‍රම ඇතුළු නාට්‍ය රැසක් නිෂ්පාදනය හා අධ්‍යක්‍ෂණය කළ ඔහු කෝන්තරය නමැති සංගීත නාටකයේ නිර්මාණකරුවා ද වෙයි. ඇයගේ මව වූයේ නියෝජ්‍ය විදුහල්පතිනියක ලෙස කටයුතු කළ ලිලියට් තිලකරත්න මහත්මියයි.

 කලා පවුලක උපන් ආචාර්ය ස්වර්ණශිකා කුඩා කාලයේ සිටම ගීත ගායනයට දස්කම් දක්වන්නීය. ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පන්නිපිටිය ධර්මපාලයේදී මෙන්ම වැඩිදුර අධ්‍යාපනය ලැබූ කොළඹ විශාඛා විද්‍යාලයේදී ද කලා කටයුතුවලදී තම හඬ පෞරුෂයෙන් පාසලේ කලා කටයුතුවලට දායකත්වය ලබාදුන්නාය. ඒ අතීතය ඇය මෙසේ අප සමග සිහිපත් කළාය.

 කුඩා කාලයේ ඉඳලම මට ගායන හැකියාවක් තිබුණා. නමුත් උසස් අධ්‍යාපනය ලැබුවේ ජීව විද්‍යා විෂයන්ගෙන්. එනිසා සංගීතය වැඩිදුර හදාරන්න බැරි වුණත් පාසලේදී කලා කටයුතුවලට මම සම්බන්ධ වුණා. 1975 දී විශාඛා විද්‍යාලයේ ඉගෙන ගනිද්දී වෙසක් උත්සවයට භක්ති ගීත ගායනා වැඩසටහනක් තිබුණා. ඒ සඳහා කටහඬ පරීක්‍ෂණයක් තිබුණා. එහිදී තෝරාගත් 100 දෙනා අතරට මාත් තේරුණා. පාසලේ ඉගැන්වීම් කටයුතු කළ කරවිට මිස්, සංගීතවේදී රෝහිත විජේසූරිය මෙන්ම රංජිත් හේවාබටගේ තමයි මෙම භක්ති ගීත වැඩසටහනට දායකත්වය ලබාදුන්නේ. දකුණු ආසියානු සංචාරක වර්ෂය වෙනුවෙන් සංචාරක මණ්ඩලයේ අනුග්‍රහයෙන් පැවති මෙම භක්ති ගීත වැඩසටහන එදා ටවුන්හෝල් එකේදී වෙසක් පොහොයට මෙන්ම පොසොන් පොහොයටත් පැවැත්වූවා.

සැහැල්ලුව තෘප්තිය ලබාදෙන සංගීතය ජීවිතයට හොඳ ඔසුවක් - ආචාර්ය ස්වර්ණශිකා තිලකරත්න

ස්වර්ණශිකා තිලකරත්න උසස් පෙළින් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළත් වන්නීය. උපාධිය ලැබීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් අනුරාධපුර පසු අස්වනු තාක්‍ෂණ ආයතනයට එක්වෙනුයේ පර්යේෂණ නිලධාරිනියක වශයෙනි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආහාර තාක්‍ෂණය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරන ඇය 2007 දී ආචාර්ය උපාධිය ලබාගනු ලබන්නේ ඉන්දියාවෙනි. ඇය අනුරාධපුරය පසු අස්වනු තාක්‍ෂණ ආයතනයෙන් විශ්‍රාම යන විට එහි අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරමින් සිටියාය. ඇය තම වෘත්තියට සමුදුන්නද මේ වනවිට වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරයි. ඒ අතරතුර සංගීතය තමාගේ ජීවිතයේ කොටසක් කර ගනිමින් සිය ජීවිතය තෘප්තිමත්ව ගත කිරීමට ඇය දරපු තැත මේ වනවිට මල්ඵල ගැන්වී තිබේ. ඒ ගැන ඇය මෙසේ සිහිපත් කළාය.

 මගේ මහත්මයා ඩී. පී. සී. ස්වර්ණසිරි. ඔහු මගේ පේරාදෙණියේ සමකාලීනයෙක්. ඔහු සහ කීර්ති පැස්කුවල් නුවර ධර්මරාජයේ එකට ඉගෙන ගත්තා. ඒ හැදුනුම්කම් මත මම මුලින්ම සංගීතය හදාරන්න ගියේ ප්‍රවීන සංගීතවේදී කීර්ති පැස්කුවල් මහතා ළඟටයි. මාස තුනක් පමණ ඔහු යටතේ සංගීතය හැදෑරුවා. අනතුරුව සංගීතය වැඩිදුර හැදෑරීම සඳහා මම එඩ්වඩ් – චරිතා මියුසික් ඇකඩමියට බැඳුණා. මම මේ දිනවල සංගීත විශාරද විභාගයන් සඳහා සූදානම් වෙනවා. ඒ සඳහා එඩ්වඩ්, චරිතා යුවළගෙන් ලැබෙන සහයෝගය මම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ දෙපළ නිරහංකාර ආදරණීය කලාකරුවන්. ඔවුන් ඇසුරේ සංගීතය හදාරන්නට ලැබීම වාසනාවක් කියලයි මම හිතන්නේ. මාගේ මුල්ම ගීතය මේ වනවිට පටිගත කරලා තියෙනවා. “අඳුරට හිනහෙන සිතුවිලි අරණක තනිවෙලා” නමින් ගැයෙන ඒ ගීතයේ ගේය පද නිර්මාණය කළේ කුමාර දැදිගමයි. ඊට අපූරු තනුවක් යොදා සංගීතය සැපයුවේ විශාරද එඩ්වඩ් ජයකොඩි මහතායි. මෙම ගීතය එඩ්වඩ් චරිතා මියුසික් ඇකඩමි යූ ටියුබ් චැනලය ඔස්සේ සවන් දිය හැකියි. මේ ආරම්භයක් පමණයි. ඉදිරියේ තවත් නිර්මාණ කීපයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

 ඔබ සංගීතය පූර්ණකාලීනව හදාරන්න ගන්නේ ජීවිතයේ සැඳෑ සමයේදී. ඒ ගැන අපි යමක් දැනගන්න කැමතියි.

 සංගීතය හදාරන්න වයස් සීමාවක් නැහැ. මම ඉන්දියාවේ ආචාර්ය උපාධිය ලබාගන්න ගිය කාලයේදී මේ සම්බන්ධයෙන් විශාල අද්දැකීමක් ලැබුවා. ඉන්දියාවේ ආචාර්ය, මහාචාර්යවරු වයසට ගිහිල්ලත් සංගීතය ඉගෙන ගන්නවා. සංගීතය කියන්නේ ජීවිතයට සැහැල්ලුව, තෘප්තිය ලබාදෙන සුව ඔසුවක්. මම එය අද්දැකීමෙන්ම විඳ තිබෙනවා. සංගීත කටයුතු කරගෙන යෑමේදී මාගේ සැමියාගෙන් මෙන්ම ඇමරිකාවේ සිටින පශ්චාත් උපාධිය හදාරණ ලොකු පුතා ඩිලුශාන්ගෙන් මෙන්ම පශ්චාත් උපාධිය හදාරණ ඔස්ටේ්‍රලියාවේ සිටින උෂාන් පොඩි පුතාගෙන් ලැබෙන ඇගයීම ඉතා ඉහළ මට්ටමක තියෙනවා. එය මට සතුටක්.

 වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment