සැහැල්ලූ ජීවිතය හා ජීවිතයේ සතුට

420

එළිමහනේ තණකොළ පිට්ටනියක, සිහිල් සුළං වදිමින් අවට පරිසරයේ සුපිපුණු මලින් සුවද විදිමින්, අහසේ පාවෙන වළාකුළු දෙස බලාගෙන සිටින විට කයට දැනෙන සතුට, සිතට දැනෙන සතුට අසීමිතය. මහවටිනාකමක් වැය කොට, වටිනා අමුද්‍රව්‍ය යොදා තනන ලද නිවසක කාමරයක සුව පහසු ඇද මෙට්ට, පුටු මේස, විවිධ දේ පුරවන ලද රාක්ක කබඞ්, පුද්ගලයාට අවශ්‍ය වන විවිධ බඩුබාහිරාදියෙන් පුරවා ඇති කාමරයක සිටිය දී ඉහතින් දැක්වූ ආකාරයට සිතට සතුටක් දැනුනාද? මොහොතක් සිතන්න බරසාර ජීවිතයද සැහැල්ලූ ජීවිතය ද වඩා සරු ජීවිතය. වඩා සතුට තිබෙන්නේ කිසිවක් නැති ජීවිතය තුළ උවද එය ලෝකය පිළි නොගනී. සතුට තිබෙන්නේ බොහෝ දේ තමන්ට අයත් කර ගැනීම තුළ යයි සිතන මිනිසා තරගයට අයත් කර ගනියි. අකමැත්තෙන් අතහරියි. සතුට ලබන්නට සතුට පසු පස ලූහු බදියි. සතුට මිරිඟුවක් වී දුක ජීවිතය වැළද ගනියි.

 කිසිවක් නැති තැන සතුට ඇත. කිසිවක් නොකොට අතපය බැඳ ගෙන, නිදාගෙන සිටි පමණින් සතුට නැත. අවශ්‍යතා පොදි බැඳ ඒ පසුපස දිවීම ද සතුට නොවේ. මේ අතර වූ තත්වය සතුට පවතියි. හිඟ නැති බර නැති ජීවිතය සහැල්ලූ ජීවිතයයි. එවන් ජීවිතයකට මඟ කියනුයේ ලොව පහළ වූ විශිෂ්ටතම ශාස්තෘවර සම්බුදු පියාණන් වහන්සේ පමණි. බුදු රජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය තුළින්, දේශනා තුළින් හා සංඝ සමාජය සංවිධානය කිරීම තුළින් මේ සැහැල්ලූ බව අගය කොට ඇත.

 සත්ත්වයාගේ ආරම්භය බොහෝ සැහැල්ලූ වෙයි.

 ජීවත් වීම පිණිස අප විසින් උපයා ගන්නා දේපල, තනතුරු, ගරු නම්බුනාම තුළින් අපගේ ජීවිත බර වෙයි. යැපුම් ප‍්‍රමාණයට පමණක් නොව එය ඉක්ම වූ ආකාරයට දේපළ එකතු කරයි. ගේ දොර වතු පිටි යාන වාහන පමණක් නොවේ එදින දා දිවිපෙවෙතෙහි ඕනෑ එපාකම් සපුරා ගැනීම උදෙසා ද විවිධ භාණ්ඩ රැස් කරයි. නිවසක් ගත් විට එම නිවස විවිධ භාණ්ඩයන්ගෙන් පිරී පවති. ඒ දේපළ විටෙක අවශ්‍යතාව සදහාම නොව, අලංකාරය, අභිමානය පිණිස වෙයි. තනතුරු ලබයි. ආයතන වල ප‍්‍රධානත්වය ලබයි. විටෙක එක් ආයතනයක නොව ආයතන කිහිපයක තනතුරු ලබයි. එම ආයතන සතු දේපල සුරක්ෂිත කර ගැනීම, සංවර්ධනය කර ගැනීම මෙන් ම ආයතනික සේවාව ඉටු කිරීම කරයි. ගරු නම්බුනාම ලබයි. ඒ ඒ තත්වයන්ට උචිත වී ඒ ඒ තත්වයට ගැළපෙන සේවා කළ යුතු වෙයි. මේ නිසා ජීවත් වීම බරක් වෙයි. සැහැල්ලූ බව නැති වෙයි. කායික මානසික විවේකය අඩු වෙයි. මේවා එකතු කර ගැනීම බුදු දහම ප‍්‍රතික්ෂේප නොකරයි. මිනිස් ලොව කාම ලෝකයකි. කාම ලෝකයෙහි උපත ලද මිනිසා කම් සැප විදිය යුතුයි. හැමදාම ගල් යුගය තුළ ජීවත් විය යුතු යැයි බුදු දහම කිසිවිටක ප‍්‍රකාශ නොකරයි. පුද්ගල සංවර්ධනය, සමාජ සංවර්ධනය බුදු දහමෙහි මූලික අරමුණයි. එහෙත් එය සිදු විය යුතු ආකාරය බුදු දහම දක්වයි. බාහිර අර්ථ සම්පත්තිය හා අභ්‍යන්තර ගුණ සම්පත්තිය සංවර්ධනය බුදු දහමෙහි සංවර්ධනය සංම්බන්ධ සාධකයි. දේපළ මිල මුදල් යාන වාහනවලින් ලබන සංවර්ධනය බාහිර අර්ථසම්පත්තිය වෙයි. ආධ්‍යාත්මිකව ලබන සංවර්ධනය අභ්‍යන්තර ගුණ සම්පත්තියයි. මේ දෙකම සම සමව තිබිය යුතු වෙයි. එකක් ඉහළට ගොස් අනෙක පහළ නම් ඒත් බිද වැටෙයි.ඒ බිද වැටීම තුළ දෙකම විනාශ වෙයි. ආර්ථික දියුණුව පසු පස්සේ පමණක් දිවීම නිසා සමාජයේ ගුණය බිඳ වැටෙයි. පව් අපරාධ විවිධ සමාජ ව්‍යසනයන් ගොඩ

 නැගෙයි. ආධ්‍යාත්මික දියුණුව පමණක් ඇති වී ආර්ථික දියුණුව නොමැති නම් ඒත් අවශ්‍යතා ඉටු කර ගැනීමේ දී සමාජ අපරාධ සිදු වෙයි. කෙතරම් ගුණ වත් වුවද කුස ගින්න නිවා ගන්නට යම් ආදායමක් නොමැති නම් හොරකම් කරන්නට සිදු වෙයි. මේ නිසා සැහැල්ලූ දිවි පැවැත්ම වැදගත් වන්නේ මෙම ජීවන කළමනාකරණය පිණිස වෙයි.

 මේ නිසා කළ යුත්තේ බර අඩු කර ගැනීමයි. සැහැල්ලූ වීමයි. එයින් අදහස් කරනුයේ හරිහම්බ නොකර සිටීම නොවේ. අවබෝධයෙන්, තමන්ගේ ශක්තියට ගැළපෙන අයුරින් කාය විවේකය හා චිත්ත විවේකය ඇතිවන අයුරින් කටයුතු කිරීමයි. සැහැල්ලූව ජීවත් වීමයි. සැහැල්ලූ පැවතුම් ඇති කර ගනිමු. මෙලොව සතුටු වෙමු. පරලොව සතුටු වෙමු. නිවනින් සැනසෙමු.

 * විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිර

advertistmentadvertistment
advertistmentadvertistment