සෑම ඉන්ධන ලීටරයකින්ම සංස්ථාවට රු. 6ක අමතර පාඩුවක්!

149

සේවකයන් පන්දහස් දෙසීයක් නඩත්තු කරමින් ඉන්ධන අලෙවි කිරීමට හා තෙල් තොග ගබඩා වෙත මුදලක් ගෙවීමට සිදුව තිබෙන නිසා අලෙවි කරන සෑම ඉන්ධන ලීටරයකින්ම තෙල් සංස්ථාවට රුපියල් හයක අමතර පාඩුවක් විඳීමට සිදුව ඇතැයි තෙල් සංස්ථා ගිණුම් අංශ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ඉන්දියන් තෙල් සමාගමත් මේ වනවිට අප රටතුළ ඉන්ධන අලෙවි කිරීමේ කටයුතුවල නිරත වී සිටියත් එම සමාගමට මේසා විශාල සේවක පිරිසක් නොමැති නිසා ඉන්ධන අලෙවියේ දී දැරීමට සිදුවන වියදම් අඩු බවද හෙතෙම කීය.

සපුගස්කන්ද පිරිපහදු සේවකයන් නොසලකා හැර බැලූවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව, තෙල් තොග ගබඩා පර්යන්ත (සීපීඑස්ටීඑල්) සමාගමේ සිටින නිලධාරීන් ඇතුළු සේවක පිරිසට අතිවිශාල වැටුප්, අතිකාල, දිරිදීමනා හා අනෙකුත් පහසුකම් සලසාදීම සඳහා පමණක් මේ ආකාරයට සෑම ලීටරයකින්ම රුපියල් හයක් වෙන්කිරීමට සිදුව ඇත.

මෙරටට ගෙනඑන ඉන්ධන ගබඩා කිරීමේදී තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත තෙල් සංස්ථාව ඉන්ධන ලීටරයක් වෙනුවෙන් රුපියල් තුනක් ගෙවිය යුතුව ඇත. එසේ තිබියදී තෙල් අලෙවියෙන් සංස්ථාව පාඩු ලබන බව කියමින් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඉන්ධන මිල අනිවාර්යයෙන් වැඩිකළ යුතු බව පවසා තිබේ.

මේ වනවිට රුපියල් කෝටි 11,000ක පාඩුවක් ලබන ආයතනයක් වී තිබෙන ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට සෑම පාලන කාලයකම සේවකයන් අලූතින් බඳවාගත් අතර මේ අර්බුදකාරී කාලයේදී ද එම ආයතනවලට අලූත් සේවකයන් බඳවාගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment