සෑම එළවළුවක්ම රු. 400 ට වැඩියි – තවදුරටත් ව්‍යාපාර ගෙනියන්න බෑ

218

* සිල්ලර වෙළෙන්දෝ කියති

උඩරට සහ පහතරට එළවළු වර්ග  රැසක මිල තවදුරටත් ඉහළ යෑම හමුවේ තම ව්‍යාපාර කටයුතු පාඩු ලබන තත්ත්වයකට පත්වී ඇති බව හැටන් ප‍්‍රදේශයේ එළවළු සහ සිල්ලර වෙළෙඳුන් පවසති.

උඩරට සහ පහතරට සෑම එළවළු වර්ගයකම කිලෝවක සිල්ලර මිල  රු. 400 ට වඩා ඉහළ ගොස් ඇති බවත්, තම වෙළෙඳසැල්වලට ලැබෙන එළවළු පිරිපුන් බවින් අඩුව පවතින නිසා, වෙළෙඳපොළේ පවතින මිලට එම එළවළු අලෙවි කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට වෙළෙඳුන් කියා සිටිති.

එළවළු මිල ඉහළ යෑම හමුවේ පාරිභෝගිකයන් වෙනදා මෙන් දින කිහිපයකට සරිලන සේ එළවළු මිල දී නොගන්නා බවත්, එදිනෙදා අවශ්‍යතාව පරිදි ග‍්‍රෑම් 250 ක් වැනි ප‍්‍රමාණයක් මිලදී ගන්නා බව හැටන් ප‍්‍රදේශයේ එළවළු වෙළෙඳුන් පවසති.

මඤ්ඤොක්කා, වට්ටක්කා, කෙසෙල්මුව වැනි එළවළු පමණක්  රු. 200 ට අඩුවෙන් අලෙවි වන බවත්, ව්‍යාංජන සඳහා භාවිතා කරන අඹ කිලෝවක් රු. 160 වැනි මිලකට අලෙවි වන බව එම වෙළෙඳුන් පැවසීය. තම වෙළෙඳසැල්වලට එළවළු තොග වශයෙන් ලබාදෙන හැටන් සහ පිට පළාත්වලින් වෙළෙඳුන් ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම හමුවේ මෙසේ එළවළු මිල ඉහළ ගොස් ඇති බවත්, පවතින රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වීම එළවළු මිල ඉහළ යෑමට ප‍්‍රධාන හේතුව බව වෙළෙඳුන් කියා සිටී.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment