සෑම ක්‍ෂෙත්‍රයකම ගැටලු ඇති කරමින් සෙනසුරු වක්‍ර ගමනේ

2859

සාමාන්‍යයෙන් ග්‍රහයන් ගමන් කරනුයේ රාශියෙන් රාශියට භාවයෙන්, භාවයට ය. එසේ යන අතර තුර එම ග්‍රහයා ආපස්සට ගමන් කරයි. එය වක්‍ර වීමක් ලෙස හඳුන්වයි. දුකට අධිපති ග්‍රහයකු මෙන්ම කම්කරු පීඩිත ජනයා නියෝජනය කරන ග්‍රහයකු ලෙස සලකන ශනි 2024.06.29 සිට 2024.11.16 දක්වා දින 139ක් චලිතය තුළ ගමන් කරනු ලබයි. ශනිගේ වක්‍ර චලිතය සෑම ක්ෂේත්‍රයකම ගැටලු ඇති කරයි. මෙසේ ශනි පිවිස ඇත්තේ ගුරුට අයත් පුවපුටුප නැකැතේ දෙවැනි පාදයටය. පුවපුටුප නැකැත වනාහි කාල වර්ණ, පුල්ලිංග, කූර, ත්‍රිපද, අධෝමුඛ, ආකාශ භූත, තරු දෙකකින් යුත් නැකතකි. මෙහි දෙවැනි පාදය කිවිට අයත්ය.

මෙසේ කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නාධිපති වූ ශනි වක්‍ර චලිතයේ ගමන් කිරීම මහජන සෞඛ්‍යයට, රටේ රෝහල් පද්ධතියට, කෘෂිකර්මයට, වැඩිහිටි ප්‍රජාවට, ප්‍රභල ලෙස බලපෑම් ඇති කරනු ලබයි. තමාගේ දිවා බල තිර වායෝ රාශියක් වූ කුම්භ රාශිය තුළ මෙසේ ශනි වක්‍ර චලිතයේ ගමන් කරයි. ශනි යනු මන්දගාමී ග්‍රහයෙකි. ව්‍යාපාර දියුණු කිරීමට, ව්‍යාප්ත කිරීමට, ගිවිසුම් අත්සන් තැබීමට, නව අවිනිශ්චිත ව්‍යාපාර ආරම්භ කිරීම, වක්‍ර ශනිගේ කාලයේ ඔබ උනන්දු නොවිය යුතුය.

ශනිගේ වක්‍ර චලිතය ඉහළ පෙළේ ප්‍රභූ දේශපාලඥයන්ට යහපත් නැත. කර්මාන්ත සහ වෙළෙඳ ව්‍යාපාර බිඳ වැටෙන බවක් ද පෙනේ. රට තුළට විවිධ වසංගත, වෛරස් රෝග ඒමට පිළිවන. රජයට වඩා විපක්ෂය ප්‍රබල වන බවක් ද පෙන්නුම් කරයි.

ගොවියාට බාධක සහ දුෂ්කරතා ඇති බව පෙනේ. බෝග විනාශයට ද ඉඩ ඇත. ශනි මහජනතාව නියෝජනය කරන බැවින් මහජන උද්ඝෝෂණවල ක්‍රමික වර්ධනයක් ද දැක ගතහැක. තවද අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම්, සමහර භාණ්ඩ හිඟවීම් ද පෙන්නුම් කරති.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ හය අධිපති රාහු සමග සංයෝග වීම මත ජනතාව කලකරීම්, එපාවීම්, සිතුම් පැතුම් ආකල්ප වෛරී ස්වභාවයක් ද ගනී. එසේම අට අධිපති වූ රවි, බුධ ගෝචරව අටවැන්නේ ගමන් කිරීම මත පොදුවේ සියලු ශිෂ්‍යයන්ට අගුණ කරදර ඇති කරයි.

අගෝස්තු 6 සිට 23 අතර කාලය කුම්භ ලග්න කේන්ද්‍රයේ බුධ ග්‍රහයා ද වක්‍ර චලිතයේ ගමන් කරනු ඇත. එම හේතුව නිසා රජයේ අභ්‍යන්තර ගැටලු, ගැටුම් වර්ධනය වීමක් ද පෙනේ. මෙයට අමතරව බුද්ධිමතුනට ආචාර්ය, මහාචාර්ය, කුඩා දරුවන්ට, කතුවරුන්ට විපත් කරදර ඇති කරයි.

බෝහෝවිට මෙම කාලය තුළ කැබිනට් සංශෝධන අමාත්‍ය ධුර වෙනස්කම් ද පෙන්නුම් කරයි. ජනතාව බලාපොරොත්තු වන සහන නොලැබෙන බවක් ද පෙනේ. දුකට අධිපති ශනි වක්‍ර චලිතයක ගමන් කිරීම තුළ බල පෙරළිවලට ඉඩ ඇත.

ප්‍රඥාකාරක ග්‍රහයකු මෙන්ම දෙවියන්ගෙත් දෙවි ලෙස සලකන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ද ඔය අල්ලපනල්ලේ ඔක්. 09 සිට 2025.02.05 දක්වා වක්‍රව ගමන් කරයි. මෙහිදි ගුරුගේ වක්‍ර චලිතය ද රටේ ආර්ථිකයට බලපෑම් ඇති කරනු ලබයි.

යම් ජන්ම පත්‍රයක දුකට අධිපති ශනි නීචව එසේ නොමැති නම් 22 දෙර්කාණාධිපති ට අයත්ව තිබේ නම් එවැනි අයට මෙම ශනිගේ වක්‍ර චලිතය අතිශයින් පීඩාකාරි වනු ඇත. කාන්තා හිංසන, ළමා අපචාර ගැන ද නිරන්තරයෙන්ම වාර්තා වේ. තවද දූෂණ චෝදනාවලට ලක් වූ අයට දඬුවම් නොලැබෙන බවක් ද මෙහිලා සඳහන් කළ හැක. ශනිට අපායේ දොරටුවත්, දිව්‍ය ලෝකයේ යතුරත් පවතින බව පැරණි කියමනක් ද ඇත. එහි සරල අදහස ඔබ අකුසල කර්ම කරන අයකු නම් ශනි ඔබට දැඩි දඬුවම් ලබාදෙන බවය.

කලාකරුවන්ට කලාවට සම්බන්ධ අයට සුබවාදී බවක් ද පෙනේ. හොඳ කලා නිර්මාණ බිහිවන කාලයක් ද වේ.

මෙලෙසින් බලන කල මෙකී නොකී තවත් විවිධාකාර ලෙසින් මහජනතාවට බාධකවලට මුහුණ දීමට සිදු වන බැවින් ඉදිරි කාලය පුරා මෙත් සිතින් යුතුව තම නැණ පමණින් කටයුතු කරමින් ඉවසීමෙන් සිටීම වැදගත්ය.

සෑම ක්‍ෂෙත්‍රයකම ගැටලු ඇති කරමින් සෙනසුරු වක්‍ර ගමනේ

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658

advertistmentadvertistment
advertistmentadvertistment