සෑම පැයකටම ලාංකිකයින් 32 ක් රට හැර යනවා – හිටපු කතානායක කරු ජයසූරිය

210

ගෙවුණු මාස අටට වෛද්‍යවරුන් 500ක් රට ගිහින්

 සෑම පැයකටම ලංකාවේ පුරවැසියන් 32 ක් විදේශගත වෙන බවත් පසුගිය මාස 8 අට තුළ වෛද්‍යවරුන් 500 කට වඩා රට හැර ගොස් ඇති අතර ඉංජිනේරුවරු ඇතුළු සිය ගණනක් බුද්ධිමතුන් විදේශගත වෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හා ජාතික ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුවේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.

 පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවතදී ඉකුත් 24දා පවත්වන ලද “ජාතික ආගමික සංහිඳියාව ඇති කිරීම සහ යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” සම්මන්ත්‍රණයේදී ඒමහතා මෙම අදහස් පළකළේය.

 එහිදී වැඩදුරටත් අදහස් දක්වමින් ඒමහතා මෙසේද කීවේය.

 2020 දී ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා. කිසිම ආකාරයක ජන සහභාගීත්වයක් හෝ ජනතා අදහස් ලබා ගැනීම කිසිවිටෙක සිදු වුණේ නෑ. රටේ මුළු විනාශයම ඇති වූයේ 20 වැනි සංශෝධනය නිසා. එම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ සිටම එය වහා අහෝසි කළ යුතු බවට අප විශාල විරෝධයක් ප්‍රකාශ කළේ එහි ඇති භයානක ප්‍රවණතාවය අප වටහා ගත් නිසයි.

 මෙහිදී 19 වැනි සංශෝධනය නැවතත් වහා බලගැන්වීමේ වැදගත්කම ගැන නිරතුරුව හඬක් නැගුවා. රජය පොරොන්දු වූ ආකාරයට ඊළඟ පාර්ලිමේන්තු සැසි වාරයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට යටත්ව පනත බලගැන්වීම අනිවාර්යයෙන් සිදුවිය යුතුයි. එය රජය ජනතාවට දුන් පොරොන්දුවක්.

 ජීවන වියදම, විදුලි කප්පාදුව, ඉන්ධන හා විදේශ විනිමය හිඟය, කෘෂි කර්මාන්තයේ බිඳ වැටීම, ධීවරයින්ට ඇතිවී තිබෙන දුෂ්කරතා ආදී එදිනෙදා ගැටළුවලට අප අවධානය යොමු කළ යුතුයි. අලු‍ත්ම වාර්තා අනුව සෑම පැයකටම ලංකාවේ පුරවැසියන් 32 ක් විදේශගත වෙනවා. පසුගිය මාස 08 තුළ වෛද්‍යවරුන් 500 කට වඩා රට හැර ගොස් තිබෙනවා. ඉංජිනේරුවරු ඇතුළු සිය ගණනක් බුද්ධිමතුන් විදේශගත වෙනවා. මේ සියලු‍ දෙනා විදේශගත වන්නේ අනාගත බලාපොරොත්තු බිඳ වැටුණු විට. ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ප්‍රධාන පරමාර්ථයයි. අප රටේ විශ්වවිද්‍යාල පහසුකම් අවශ්‍ය තරම් නොලැබෙන විට ඉඩකඩම් විකුණන සමහර දෙමව්පියන් දරුවන් සමඟ විදේශගත වෙනවා. මේ අපට අහිමි වන්නේ අනාගත ජාතික සම්පත්. මේ සියලු‍ දෙනා නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ අය. මේවා රටක් පිරිහීමේ පෙර නිමිති. රටක් මේ ආකාරයට දියුණු වෙන්න බැහැ. සෑම පුරවැසියෙකුම මේ කරුණ වටහා ගත යුතුයි. ස්වභාවික සම්පත් පිරුණු එමෙන්ම භූගෝලීය පිහිටීම අනුව අපේ රට වාසනාවන්තයි. තවමත් අපි විශ්වාස කරන්නේ මේ රට ගොඩ නැගිය හැකි බවයි. මෙහිදී ජාතික සමගිය හා එකගතාවය ඉතා වැදගත්. මෙය පළමුවෙන් සිදු විය යුත්තේ පාර්ලිමේන්තුවෙන්. ඉන්පසු සමස්ත පුරවැසියන්ගෙන් එම එකඟත්වය ඇතිවිය යුතුයි.

 සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කිසිම දේශපාලන පක්ෂයකට හෝ බලවේගයකට අයිති නැහැ. එය රටේ උන්නතිය වෙනුවෙන් එක්වුණු දේශප්‍රේමී පුද්ගලයින්ගේ එකමුතුවක්. අපි රට වටා සංචාරය කරමින්, ජනතාවට ආයාචනය කරමින් සිදුකරන්නේ එහෙම ජාතික ආගමික සමගිය හා එකගතාවය වෙනුවෙන් කරන ආයාචනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment