සිංගප්පූරුවේදී මහේන්ද්‍රන් සමග ආහාර ගත් පුවත ජනපති ප්‍රතික්‍ෂේප කරයි  

123

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමග තමා සිංගප්පූරුවේදී ආහාර ගත් බවට පළ වන පුවත් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) සඳහන් කළේය.

සමගි ජන බලවේගය මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඊයේ විවාදයේදී ජනාධිපතිවරයා ජපානය බලා යන අතරතුර සිංගප්පූරුවෙන් බැස අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමග එකට ආහාර ගත් බවට කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ජනපතිවරයා එසේ පැවසීය. එහිදී ඇතිවූ කතා බහ මෙසේය.

එස්. එම්. මරික්කාර් මහතා- ජපානයට යන අතරතුර ජනාධිපතිතුමා පැය 06ක් සිංගප්පූරුවේ හිටියා. පත්තරවල ගියේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා හමුවුණා කියලා. නමුත් අපට තිබෙන වාර්තා අනුව නම් ජනාධිපතිතුමා ජපානයට යන ගමන් සිංගප්පූරුවෙන් බැහැලා කෑම කාලා තිබෙන්නේ මහ බැංකු මංකොල්ලයට වගකියන්න ඕනෑ අර්ජුන් මහේන්ද්‍රන් එක්ක කියලායි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා – අර්ජුන් මහේන්ද්‍රන් මහතා මා සමග සිංගප්පූරුවේදී දවල් කෑම ගත්තා කියලා දැන් කියවුණා. මම කියන්න කැමතියි එහි ඇමැතිතුමා එක්කයි උදේ කෑම ගත්තේ. මම සිංගප්පූරු එයාර් ලයින් එකේදී තමයි දවල් ආහාරය ගත්තේ. ගුවන් යානයට නැගලා. ඕනේ නම් මම ඒ මෙනු එකත් ගෙනල්ලා පෙන්වන්නම්. ඒ නිසා මම කනගාටු වෙනවා මරික්කාර් මන්ත්‍රීතුමා මෙහෙම අසත්‍ය ප්‍රකාශයක් කරපු එක ගැන. අනෙක දැන් මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා මැද පන්තියේ අය තමයි එකතුවෙලා අරගලයට එන්නේ කියලා. විශාල අරගලයක් එනවා කියලා. මේක මීට ඉස්සෙල්ලා කිව්වේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය. මම සතුටු වෙනවා මේ මරික්කාර් මන්ත්‍රීතුමායි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියයි එක මතයකට පැමිණීම ගැන. ඊට එකඟ වෙන්නේ නෑ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ අඩිපාරේ මරික්කාර් මන්ත්‍රීතුමා යනවා.

එස්. එම්. මරික්කාර් මහතා – මම නොදැක්ක එකක් ගැනයි මම කිව්වේ. මම මේක දැක්කේ ජනමාධ්‍යයෙන්. ඉක්බාල් අතාස් මහතා ඒ ගැන ලියලා තිබෙනවා. ඔබතුමා හොඳටම දන්නවා ඔබතුමා මගේ නායකයා වෙලා ඉන්න කාලේ මම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ අඩි පාරේ කවදාවත් ගිහින් නෑ කියලා. මම යන්නෙත් නෑ.

ජනාධිපතිවරයා – ඔබතුමා එහෙම යන්නේ නැත්නම් තියෙන්නේ මා එක්ක ගමන යන්නයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment