සිංහබාහුගේ ඉතිහාස ගැටලුවට සිනමා ප්‍රබන්ධ පිළිතුර

1110

(ශ්‍රී ලංකාවේ ඉතිහාසය ප්‍රබන්ධ කෙරෙන ඉතිහාස චිත්‍රපට)

ඓතිහාසික පුවතක් රැගත් පළමු චිත්‍රපටය වන “අශෝකමාලා” (1947) සිට “සිංහබාහු” නමැති මේ අවසන් චිත්‍රපටය දක්වා වූ ඉතිහාස චිත්‍රපට සියල්ලම මුහුණ දුන් උභතෝකෝටික අර්බුදයක් වෙයි. එනම් සිනමාකරුවා හෙවත් කවියා තම කාර්යය තුළ පරිකල්පනීය දාර්ශනිකයෙක් වෙනවාද, එසේත් නැතිනම් වාර්තාකාරී ඉතිහාසඥයකු වෙනවාද යන ගැටලුවයි. මේ දෙදෙනාම ඉතිහාස විෂය තුළ ඇසුරු කළ යුතු වූ පොදු භාවිතය වනුයේ සත්‍යය යි.

1940 දශකයේදී සාලිය අශෝකමාලා ඉතිහාස කතාව චිත්‍රපට ගත කරන ශාන්ති කුමාර්ගේ සිට 2020 දශකයේදී සිංහලයාගේ උප්පත්ති කතාව චිත්‍රපට ගත කරන සෝමරත්න දිසානායක දක්වා වූ මෙරට ඉතිහාස පුරාවෘත්ත චිත්‍රපට බවට ප්‍රතිනිර්මාණය කළ චිත්‍රපටකරුවන් රැසකි. ඒ සියල්ලෝම අතින් සිදු වූ පොදු කාර්යයක් වේ. එනම් ඉතිහාසය යනු මතභේදාත්මක විෂයයක් බව දැන දැනම එය නැවත නැවතත් මඩේ දමා සේදීමයි. මෙරට තැනුණු ඉතිහාස පුරාවෘත්ත කේන්ද්‍රකොට ගත් චිත්‍රපටවලින් සිදුව ඇත්තේ ඉතිහාසය පිළිබඳ ගැටලුකාරී මතභේදාත්මක කතිකා යළි යළි උලුප්පමින් සිය අභිමතාර්ථ ඉටු කර ගැනීමෙහිලා භාවිතයට ගැනීමයි.

සිනමාකරුවා, එනම් ප්‍රබන්ධකරුවා (කවියා සහ දාර්ශනික ප්‍රකාශකයා) ශාස්ත්‍රාලීය ඉතිහාසඥයකු නොවේ. ඔහු ශාස්ත්‍රීය ශික්ෂණයකින් කටයුතු නොකරයි. එසේ කළ යුතුද නැත. ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රකාශන අවසර පත්‍රය සිනමාකරුවා සතුය. නමුත් ගැටලුව වන්නේ “සිංහබාහු” කතාව චිත්‍රපටගත කරන සෝමරත්න දිසානායකත්” ඊට පෙර “සිංහබාහු” නමින්ම චිත්‍රපටයක් (1980 දී) ප්‍රතිනිර්මාණය කළ පතිරාජ එල්.එස්. දයානන්දත්, දුටුගැමුණු රජුගේ පුත්, සාලිය කුමරා රොඩී තරුණියකට පෙම්බඳින ඉතිහාස පුවත චිත්‍රපට ගත කරන ශාන්ති කුමාර් සෙනෙවිරත්නත්, ඒ අතරතුර එවැනි ඉතිහාස කතා චිත්‍රපට කතා බවට පෙරළන සිනමාකරුවනුත් යෙදූ උපාය භාවිතයක් වෙයි. එම උපක්‍රමය වනාහී ඉතිහාසය නමැති නියත සිද්ධි දාමයෙන් සිනමාව නමැති ප්‍රබන්ධකරණ පුනරූපන කලාවට උරුම වන එක්තරා වරප්‍රසාදයකි. එනම් එකී ප්‍රබන්ධ කිරීම සඳහා යෝජිත සැක මුසු සත්‍යයම පාදක කර ගැනීමයි.

මෙම මවාපෑම සඳහා අතීතයේ සිදුවූවායැයි අප විශ්වාස කළ යුතු ඉතිහාස පුවත් නිදහසේ භාවිතයට ගැනීමට නිර්මාණකරුවාට අවසර ඇත. එම “ඉතිහාස අවුල්” ලිහා ගැනීම සඳහා එකී ඉතිහාසයේ උරුමකරුවන් වන ජනතාව පොලඹවාලීම යනු එම ජනතාව ප්‍රේක්ෂකයින් බවට පෙරළා සිනමාශාලා වෙත යොමු කරවීමයි. සිනමාශාලාව ගැටලු නිරාකරණය මධ්‍යස්ථානයකි. එම ගැටලු යනු ඉතිහාස ගැටලු ද, පුද්ගලික ගැටලු ද වෙනත් ගැටලු ද යනුවෙන් විවිධාකාර විය හැක. “අබා” චිත්‍රපටයෙන් එහි නිර්මාතෘ ජැක්සන් ඇන්තනී ද වරක් එබඳු ඉතිහාස ගැටලුවක් යළි පාදා මතු කොට ජනතා ජනතා වේදිකාව මත තැබීය. ජනතාව වැල නොකැඩී පඬු අබාගේ ලේ ධාතුව සෙවීම සඳහා සිනමාහල් කරා එක්රොක් වූහ. තිරිසන් සතකු හා මිනිස් දුවකගේ එක්වීමෙන් උපදින දුවක හා පුතකු සහවාස වීමෙන් සිංහලයාගේ උපත සිදු වූ බවට ඇති ඉතිහාස මිථ්‍යා පුවත ද ඊටත් වඩා ආකර්ෂණීය ගැටලුවකි. මිල අධික කැලඹීමකි; උණුසුම් පුවතකි.

සුප්පාදේවී සහ සිංහයාගේ එක්වීමත්, සිය දරුවන් වූ සිංහබාහු සහ සිංහ සීවලීගේ එක්වීමත්, එම සංවාසයෙන් උපදින විජය කුමරු නමැති විෂමාචාර

ඇත්තාගෙන් සිංහලයාගේ ආරම්භය සිදුවීමත් ගැන මහාවංශයෙහි සඳහන් වේ. එකී පුරාවෘත්තයට අභියෝග කිරීම මෙම සිනමාකරුවාගේ මෙවර කාර්යභාරය වී තිබේ.

මෙම පුරාවෘත්තය මීට පෙර ද විවිධ නිර්මාණවලට විවිධ අයුරින් පාදක වී තිබේ. “සිංහබාහු” යන නමින්ම චිත්‍රපටයක් පවා නිපදවා තිබේ. නාට්‍ය, නාඩගම්, කතා කාව්‍ය, නූර්ති ආදී විවිධ මාධ්‍ය තුළින් මෙම ඉතිහාස ගැටලුව ඈත ඉතිහාසයේ පටන් ම බහුලව කතිකාවට ගැනී ඇත. එසේ නම් තවදුරටත් සෝමරත්න දිසානායක නමැති සිනමාකරුවා මෙම මිථ්‍යා කතාව මත මතු කරන මායා රූප හරඹය කුමක් ද?

මහාවංශයේ එන විජය රජුගේ මිත්තණිය වූ සුප්පාදේවී සමඟ සංවාසයෙහි යෙදුණු “සිංහයාට” අභියෝග කිරීම සුළුපටු ප්‍රබන්ධකරණයක් නොවේ. පුරාවෘත්තයක් මත කෙරෙන මෙම ප්‍රබන්ධකරණ අභියෝගය චිත්‍රපටයක ස්වරූපයෙන් අප හමුවෙහි නුදුරේදීම තැබෙනු ඇත. නිර්මාණකරුට පහසු වන පරිදි ඉතිහාස වාර්තාකරණය සහ ප්‍රබන්ධකරණය විසින් ම උභතෝකෝටිකයන් ගොඩනංවනු ලැබ ඇත. මීට පෙර 1961 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් නිර්මාණය කෙරුණු “සිංහබාහු” වේදිකා නාට්‍යය ද, ඊටත් වසර 140කට උඩදී එනම් 1820 දී කිරම ධම්මානන්ද හිමි රචනා කළ “සියබස් මල් දම” නමැති කතා කාව්‍යය ද, ඊට අවුරුදු 30 – 40 කට පසුව පිලිප්පු සිංඤෝ රචනා කළ “සිංහවල්ලී” නාඩගම ද, ඇතුළුව තවත් නාටක නාඩගම් කිහිපයක් ම මෙම පුරාවෘත්තය අළලා සමාජගත වී ඇත. ධර්මජිත් පුනර්ජීව සහ නාමෙල් වීරමුනි විසින් සිංහබාහු නාට්‍යය ඉංග්‍රීසි බසින් දෙවරකදී නිෂ්පාදනය කොට තිබේ. මෙම සිනමාකරුවා ඉන් ඔබ්බට යන ආකාරය අපි විමසන්නෙමු.

ශාස්ත්‍රාලීය ඉතිහාසඥයකු සහ සිනමාකරුවකු ඉතිහාස පුරාවෘත්ත හා මිථ්‍යා ප්‍රබන්ධ කතා ඇසුරු කරන ආකාරය එකිනෙකට වෙනස්ය. සිනමාකරුවා සිදුකරන්නේ එතෙක් ඉතිහාසඥයන් විසින් ශාස්ත්‍රාලීය ශික්ෂණයකින් යුතුව සාක්ෂාත් කරනු ලැබ ඇති විශ්වාසයන් හිතුවක්කාරී ලෙස කඩා බිඳ දැමීමයි. මෙවිට සිදුවිය හැක්කේ එතෙක් අභියෝගයකට හා ප්‍රතික්ෂේප කිරීමකට ලක් නොකොට යටපත් කොට පැවති ගිනි පුපුරු ක්ෂණිකව මහ පොළොවෙන් වහා අහසට පැන දීප්තිමත්ව බැබළෙන්නට පටන් ගැනීමයි. එම රශ්මිය දින සියයක් ඉක්මවා පැවතියහොත් එය ඉතිහාසයෙන් ආයෝජන අවස්ථා සොයන සිනමා කර්මාන්තකරුවන්ගේ සතුටට හේතුවනු ඇත.

සිංහයකුගෙන් ජාතක වූ දරුවන් දෙදෙනකුගෙන් අපේ ජාතිය ආරම්භ වූ බවට ඇති මතය බහුතරයකගේ හිතට කා වැදී ඇත. එය තම හිතට ද විශාල වදයක් ව පැවති බව “සිංහබාහු” චිත්‍රපටය තනන සෝමරත්න දිසානායක පවසයි. සිංහයා තිරිසනෙක් වන බැවින් අප පැවත එන්නේ තිරිසන් ජාතියකින් ද යන ප්‍රශ්නය තම සිත තමාගෙන් ම විමසන බව පවසන මෙම සිනමාකරුවා ඉතිහාසඥයකු නොව කවියෙකි. එසේ ප්‍රබන්ධකයකු වෙමින් ඔහුම පවසන්නේ එම කතාව ගොතන ලද සුරංගනා කතාවක් විය හැකි බවයි. ඉතිහාස ගත වන මෙම නිර්මාණකරුවා තවදුරටත් පවසනුයේ තිරිසන් සතකුගෙන් මනුෂ්‍ය දරුවෙක් බිහි විය නොහැකි බවයි. අප තිරිසනුන්ගෙන් පැවත එන ජාතියක් බවට ඇති මතය බිඳ දැමීමට තමා “සිංහබාහු” චිත්‍රපටය තනන බවයි. (පිනි පලස 2022.6.12, පිටුව 8)

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටත්, පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමිටත්, මහාවංශය ලියන මහානාම මහතෙරුන්ටත් සිංහලයාගේ උප්පත්තියට හේතු වූ එම සිංහයාගේ තිරිසන් භාවය ගැටලුවක් වී නැත. ඔවුන්ගේ ප්‍රකාශනය අනෙකකි. සිනමාකරුවා චිත්‍රපටමය විසඳුමක් යෝජනා කරනුයේ එම ගැටලුවක් නොවූ ගැටලුවටය. මිථ්‍යා කතාවට සත්‍ය වූ දාර්ශනික පිළිතුරු සෙවීම කවියකු නොව ඉතිහාසඥයකුට අයිති කාර්යයකි. සිනමාකරුවකුට අයත් වන්නේ සිදු වූ දේ මත සිදුවිය හැකි දෑ ඉඟි කිරීමය. එවිට මිථ්‍යාවට උචිත අරුත් පාදා ගැනීම රසිකයා සිය වගකීම බවට පෙරළා ගනී. “ඓතිහාසික චිත්‍රපටය” යනු ඉහත කරුණු විග්‍රහය මත කවරාකාර ද? ඓතිහාසික පසුබිමක එනම් නිශ්චිත අතීත යුගයක පිහිටුවා නිර්මාණය කරන චිත්‍රපටය ඓතිහාසික චිත්‍රපටයකැයි සරලව හැඳින්විය හැකිය. ඓතිහාසික චිත්‍රපටයක එම ඓතිහාසිකත්වයට වලංගුතාවක් ලැබෙනුයේ එම චිත්‍රපට කතාව සම්පාදනය කෙරුණු කාලයට අනුකූලවය. “සිංහබාහු” කතාව ලංකාවෙ පළමු රජුටත් එහා පරම්පරා කිහිපයක් අතීතයට අපව ගෙන යයි. එසේ දුරාතීත ගත වන තරමට ම ඒ හා බැඳුණු කතා සහ මිථ්‍යා කතා නිරාකරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මූලාශ්‍ර සොයා ගැනීමට නොහැකි වෙයි. සෝමරත්න දිසානායකට හෝ සරච්චන්ද්‍රට එකී ඉතිහාසය පිළිබඳව සිය අර්ථකථන දීම පහසුවන්නේ ද එබඳු පසුබිමකය.

ඓතිහාසික කතාවක් ගොඩනැඟීමේදී එම ප්‍රබන්ධකරුවාට අතීතයේ වාසය කළා යැයි පැවසෙන ප්‍රකට චරිත ද, අප්‍රකට චරිත ද මෙන් ම කල්පිත චරිත ද යොදාගත හැකි අවසරය ඇත. මහානාම හිමි මහාවංශය ලිවීමේදී සිංහයකු සිය ප්‍රකාශනය සඳහා යොදා ගන්නේ එම අවසරයෙනි. ඇතැම් තැනකදී මහානාම හිමි ද ප්‍රබන්ධකරුවෙකි. එබඳු කල්පිතයක් සත්‍යයැයි විශ්වාස කිරීමට නොව ඉන් ජනිත කෙරෙන අර්ථය විවරණය කිරීමට අප වෙහෙසිය යුතුය. ඓතිහාසික කතා වස්තු සහ මෙරට ඉතිහාස චිත්‍රපට ඉතිහාසය විවරණය කළ යුතු වන්නේ එම ඉතිහාස විෂය නොව සිනමා විෂය මත තබා ය. සිංහයකු දමනය කිරීම නිසා ලංකාදීපයට සිංහල යන නාමය ව්‍යවහාර වූ බවත් වගු රජුගේ දියණිය මහ වනය අරක්ගෙන සිටියා වූ සිංහයකු සමඟ සංවාස කොට නිවුන් දරුවන් දෙදෙනකු බිහි කළ බවත් ‘සිංහල දීප වංශයෙහි. සඳහන් වෙයි. සිංහබාහු සහ සිංහ සීවලී යන එම දරුවන්ගේ මව් සුසීමා ද පියා සීහ ද යනුවෙන් දීපවංශයෙහි වේ. සිංහ සීවලී සීහවල්ලී ලෙස ද, සුසීමා සුප්පා දේවී ලෙස ද හැඳින්වෙයි. මහා වංශය ‘සීහ. නමැති සිංහබාහුගේ පියා හඳුන්වා ඇත්තේ වනයෙහි විසූ තිරිසන් සිංහයකු ලෙසටය. දීපවංශයෙහි එලෙස නොදක්වයි. සෝමරත්න ද සරච්චන්ද්‍ර ද සිය ප්‍රේක්ෂක ජනතාව ද ස්ව ජාතියේ සම්භවය ලෙස විශ්වාස කරනුයේ මහාවංශයෙහි ලේඛනාරූඪ වූ මූලාශ්‍ර තොරතුරු වේ.

ඉතිහාසය සහ සිංහලයාගේ සම්භවය ලියැවී ඇති ආකාරයෙහි අතිශයෝක්තිමය ආකාරය සිනමාකරුවා සිය මවාපෑම්වලට අනුබල කොට ගන්නා අවසර පත්‍රයයි. නිර්මාණකරුවාගේ අභිමතාර්ථ මත එකී අවසර පත්‍රයෙහි අගය විනිශ්චය වෙයි. සෝමරත්නගේ අරමුණ සිංහලයාගේ උපත නිරවුල් කිරීම ය.

“සිංහබාහු නරේන්ද්‍රයා සිංහයෙක් බඳු ශක්තිමත් අයකු බවත් ඔහුගෙන් පැවතෙන්නන්ට සිංහලයෝ යැයි කියන බව දීපවංශ කතුවරයා ලියන අතර මහාවංශ කතුවරයා එය ලියන්නේ වනයේ විසූ තිරිසන්ගත සිංහයකු සමඟ සුප්පාදේවිය සම්බන්ධ වූ බවකි. මෙය යථාර්ථය, සත්‍යය හා විද්‍යාත්මක පසුබිම විකෘති කිරීමකි. තත්වාකාරයෙන් හා තාර්කික ඥානයෙන් නිරවද්‍ය ලෙස අර්ථකථනය කිරීමෙන් දීපවංශ කතුවරයා ජාතික අනන්‍යතාව සුරකිමින් කටයුතු කළ බව මින් හැඟෙයි.

‘සිංහබාහු. චිත්‍රපට මාධ්‍යයට ගෙනෙන සෝමරත්න දිසානායක හමුවෙහි ඇති අභියෝගය කෙතරම් ද?

ඓතිහාසික මූලාශ්‍ර වස්තු විෂය කර ගන්නා සිනමාකරුවා එම සම්ප්‍රදායික කතා පුවත අතික්‍රමණය කළ යුතුය. එම ඓතිහාසික කතා පුවතම යළිත් හුවා දැක්වීම නිර්මාණකරුවාගේ කාර්යභාරය නොවේ. මුල් කතාවේ එන සිද්ධි දාමයන් සමතික්‍රමණය කොට මිනිස් සිත හා ලෝක ස්වභාවය පිළිබඳ නව කතිකා හුවා දැක්වීමට සිනමාකරුවා සමත් විය යුතුය. නිර්මාණකරුවා තමා වස්තු විෂය කර ගන්නා ඉතිහාස කතාව විවරණය කළ යුතු වෙයි. නිර්මාණකරුවා මුල් ඓතිහාසික කතා පුවත අතික්‍රමණය නොකළේ නම් ඔහු පසුවන්නේ එකී අතීත පුවත පුනරුච්චාරණය කරන වාර්තාකරුවකු පසුවන තැනකය. කිරම ධම්මානන්ද හිමි (සියබස් මල්දම) පිලිප්පු සිංඤෝ (සිංහවල්ලී නාඩගම) සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාරගේ (සිංහබාහු නූර්තිය) වැන්නෝ මහාවංශයේ එන “සිංහබාහු” කතා පුවත යළිත් හුවා දක්වනු විනා මුල්කතාව විවරණය කිරීමට හෝ ඉන් මනුෂ්‍යත්වයට පොදු වූ දෘෂ්ටියක් උපුටා දැක්වීමටවත් තැත් නොකළ බව මහාචාර්ය සරච්චන්ද්‍ර “සිංහබාහු” නාට්‍යය එළිදැක්වූ විට කියා තිබේ. (“සිංහබාහු, නාට්‍ය පිටපත, ප්‍රස්ථාවනාව,)

මහාවංශය ලියන මහානාම හිමි, සරච්චන්ද්‍ර සහ සෝමරත්න දිසානායක වැනි විවිධ ප්‍රකාශකයන් මෙම මිථ්‍යා සිංහයාව සිය මැවීම් සඳහා භාවිත කරනුයේ වෙනස් අරමුණු ඇතිවය. සිංහල වංශයේ ආරම්භකයා ලෙස ජන ප්‍රවාදගත විජය කුමරු පැවත එන්නාවූ සිංහයා සිය පුතු වූ සිංහබාහු හෙවත් විජයගේ පියා අතින් මැරුම් කෑ සිදුවීම ග්‍රීසිය, බැබිලෝනියාව හා සුළු ආසියාවේ අනෙකුත් රටවල ප්‍රචලිතව පැවති ජන ප්‍රවාදයන්ට සමාන බව කියැවේ. නාලිනී ද ලැනරෝල් ලියූ “් ඍැසටබ දf ඔැබ ණසබටි” නමැති කෘතියෙහි සිංහල අනුවාදය වූ “දස රජ පුවත”” “ශ්‍රී ලංකාව සහ ලෝකය” නම් ග්‍රන්ථයන්හි දැක්වෙන පරිදි එම රටවල ඇති ජනප්‍රවාදවලට අනුව බිහිසුණු තිරිසනකු හෝ තිරිසන් වෙස්ගත් පූජකයකු සමඟ සටන් වැද පරාජය කිරීම රජකුගේ මෞලි මංගල චාරිත්‍රවලින් එකකි. ග්‍රීක මිථ්‍යා කතාවල එන හෙරක්ලීස් නමැති වීරයා නෙමියන් නම් සිංහයා මරා දමා උගේ සම පැළඳ ගනී. ගිල්ගමේෂ් නම් වූ බැබිලෝනියානු මහා කාව්‍යයේ එන වීරයා විසින් මරා දමනු ලබන්නේ ද සිංහයෙකි. සශ්‍රීකත්වයට අධිපති බැබිලෝනියානු දේවතාවිය වන ඉෂ්ටාර්ගේ ලාංඡනය ද සිංහයෙකි. හේරා නම් සිංහ දේවතාවිය හෝ හිටයිට් දේවතාවිය සිංහයකු වැළඳ ගෙන සිටින ප්‍රතිමාවක් ගැන රොබට් ග්‍රේව්ස් විස්තර කරයි. සිංහබාහුගේ පුත් විජයගේ කතාව සහ ග්‍රීක ජනප්‍රවාද අතර සමානතා දක්නට ලැබේ. විජයගේ මාලිගයෙන් බැහැර කෙරෙන කුවේනි සහ ඇගේ දරුවන්ගේ කතාව ජේසන් විසින් පලවා හැරෙන මීඩියා සහ ඇගේ දරුවන්ගේ කතාවට සමානය. සෝමරත්න දිසානායක සහ එදිරිවීර සරච්චන්ද්‍ර සිය ආත්ම ප්‍රකාශනය සඳහා සිංහයා යොදා ගැනීම ඉහත දැක්වූ ඉතිහාස සිංහ නිරූපණ සමඟ සැසඳීමට රසිකයා පෙලඹෙනු ඇත. “සිංහබාහු” චිත්‍රපටය නුදුරු දිනයක අප විනිශ්චයට ලක්කරනුයේ එකී සිංහබාහු පුවත හා බැඳුණු ඉතිහාස කතාවල සත්‍යය හා ප්‍රබන්ධය අතර තබා සංසන්දනය කරමිනි.

අජිත් ගලප්පත්ති

සිංහබාහුගේ ඉතිහාස ගැටලුවට සිනමා ප්‍රබන්ධ පිළිතුර
advertistmentadvertistment
advertistmentadvertistment