සිංහරාජය ලෝකයට ගෙන ගිය මාටින් අයියා දිවි ගමන නිම කරයි

1154

සිංහරාජ වනාන්තරය ජාතියට පමණක් නොව ලෝකයට ගෙන ගිය ‘සිංහරාජයේ මාටින් අයියා’ නොහොත් ‘ප්‍රොෆෙසර් මාටින්’ රත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (23දා) මධ්‍යම රාත‍්‍රියේදී මිය ගියේය.

1970 මුල් භාගයේදී එවකට පැවති රජය මගින් සිංහරාජය තුනීලෑලි සඳහා කපා එහි මැහෝගනී වගාව ස්ථාපනය කිරීමට තීරණය කිරීමත් සමග මාටින් විජේසිංහ මහතා මෙම ව්‍යාපෘතියට එක්වන්නේ අනියම් කම්කරුවකු ලෙසිනි.

නමුත් ඉහත ව්‍යාපෘතියට ඇති වූ මහජන විරෝධය මත එය 1978 දී අත්හැර දමන ලද අතර, එතැන් පටන් මාටින් විජේසිංහ මහතා කලවාන, කුඩව පිහිටි සිංහරාජ මූලස්ථානය වෙත ස්ථිර කම්කරු තනතුරට උසස් කර සිංහරාජයේ පළමු මුරකරුවා බවට පත්කරන්නට වන දෙපාර්තමේන්තුව ක‍්‍රියා කළේය.

එතැන් පටන් සිංහරාජයේ සියලූ පරීක්ෂණ සමීක්ෂණ කටයුතු සඳහා පැමිණි දෙස්, විදෙස් විද්වතුන්ගේ මග පෙන්වන්නා, ආරක්ෂකයා සහ අත්උදව්කාරයා ලෙස කටයුතු කළ මාටින් විජේසිංහ නොහොත් මාටින් අයියා, සිංහරාජයේ ගහක් ගලක් නෑර ඉතා හොඳින් දැන හැඳිනගෙන සිටියේය.

ඔහු ‘ප්‍රොෆෙසර් මාටින්’ ලෙස අන්වර්ථ නාමයකින් හඳුන්වන ලද්දේ සිංහරාජය තුළ වැවී ඇති සියලූම ලොකු කුඩා ශාකයන්හි උද්භිද විද්‍යාත්මක නම් (Botanical Names) සහ කුරුල්ලන් ඇතුළු වන සතුන්ගේ විද්‍යාත්මක නාමයන් (Scientific Names) සහ මොවුන් දැක ගත හැකි ප‍්‍රදේශද තම මතකයෙන්ම ඉතා හොඳින් දැන සිටි බැවිනි.

මේ නිසා සිංහරාජය ඇසුරෙන් අද ආචාර්ය, මහාචාර්ය පදවි දරන බොහෝ දෙස් විදෙස් විද්වතුන්ගේ ගුරුවරයකු බවට පත්වූ මේ සොඳුරු ගැමියා ස්ථිර කම්කරුවකු ලෙසම සේවය නිමාකර, 1992දී රජයේ සේවයෙන් (වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්) විශ‍්‍රාම ගියේය.

කාලයක් රෝගාතුරව සිටි විජේසිංහ මහතා මිය යනවිට 82 වැනි වියේ පසු විය.

මාටින් විජේසිංහ මහතා විසින් මෙසේ විiාත්මක පර්යේෂණ සඳහා ලබාදෙන ලද දායකත්වයට ගරු කිරීමක් ලෙස 1994 දී එවක ජනාධිපති ඞී.බී. විජේතුංග මහතා අතින් විජේසිංහ මහතා ශ‍්‍රී ලංකාතිලක ගෞරව නාමයේද පිහිටුවා ඇත.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment