සිංහලෙන් ගීතිකා කිව්ව මුල්ම කට්ටිය

205

සිඹිමුව ඔබ සිරිපා කමලා
බඳිමුව ඔබ සිරිපා කමලා
බඳිමුව ඔබ ගෙල දෑත වෙලා
වඳිමුව කැකුළු නෙළා පුදලා
ඇති විලේ කැලේ පිපිලා

අප පෙම්බරියේ
කුමරිය මරියේ
සිරිසැම නොම දින පිරියේ
ඔබ උයනේ අපි කොඳ කැකුළු
ඔබ අප සැම ඔබ ගෙලේ පබලු

ඇන්ඩෲ මාමා හැරමිටියේ වාරුවෙන් අසීරුවෙන් තම කාමරයේ සිට විසිත්ත කාමරයට ඇතුළු වූයේ එම ගීතිකාව ගායනා කරමින්ය.

සිංහලෙන් ගීතිකා කිව්ව මුල්ම කට්ටිය

එවකට මා හමුවනවිට අනූ දෙහැවිරිදි වියේ පසුවුව ද අත පය වාරු නැතිවුව ද ඇන්ඩෲ මාමාගේ එම හඬෙහි ගීතවත් බව වියැකී තිබුණේ නැත.

මග්ගොන අපේ දේව මෑණියන්ගේ පල්ලියේ මංගල්ලෙට 1944 දෙසැම්බර් 8 දා තමයි මර්සලීනු ජයකොඩි සුවාමි ඔය ගීතිකාව ලියලා තාලය දාලා අපිට පුරුදු කරලා අපි ලවා කියෙව්වෙ මග්ගොන උස්වැල්ලේ සින්න හැන්දිගේ ඇන්ඩෲ ප්‍රනාන්දු, ගීතිකාවෙහි ඉතිහාස කතාව පැවසුවේ එසේය.

එම ගීතිකාව මුලින්ම ගායනා කරනවිට ඇන්ඩෲ මාමගේ වයස අවුරුදු තිස්දෙකක් විය. එවකට ගීතිකා කණ්ඩායමෙහි සිටි වැඩිමහල්ම තැනැත්තා විය. වයස අවුරුදු තිස්දෙකේ සිට වයස අවුරුදු දොළහ දක්වා වූ විවිධ වයස් කාණ්ඩවල පිරිමි අය පහළොස් දෙනකු මර්සලීනු ජයකොඩි පියතුමා පුහුණු කළ මුල්ම සිංහල ගීතිකා කණ්ඩායමෙහි විය.

‘මර්සලීනු ජයකොඩි සුවාමි මග්ගොන ශාන්ත මරියා පල්ලිය භාර පියතුමා වශයෙන් පත්වෙලා ආවේ 1944 ජනවාරි මාසයේ. 1949 අප්‍රියෙල් මාසය වෙනකම් අවුරුදු පහක් උන්වහන්සේ මේ පල්ලියේ වැඩකළා. මෙහෙන් උන්වහ්නසේ ගියේ ඥානාර්ථ ප්‍රදීපය පත්තරේ කර්තෘ වෙලා. පූජාත්වරය ලබපු මර්සලීනු ජයකොඩි පියතුමා මෙහාට එන්න ඉස්සර වෙලා කටයුතු කළේ ශාන්ත ජොශප් විද්‍යාලය වගේ විවිධ ආගමික අධ්‍යාපන ආයතනවල. මීසමක වැඩ කරන්න ඉස්සර වෙලාම ආවෙ මේ පල්ලියට. මෙහාට එන්න ඉස්සර වෙලා ජයකොඩි සුවාමි, ගීතිකා කීපයක පද රචනය කරලා ස්වර නිර්මාණය කෙරුවත් උන්වහන්සේගේම මුල්ම ගීතිකා කණ්ඩායමක් පුහුණු කරලා පටන් ගන්න ලැබුණෙ මෙහිදී තමය’ මග්ගොන ශාන්ත මරියා දෙවි මැඳුරේ.

වෙනත් පෙදෙස්වල මෙන්ම එදා මග්ගොන අවට පැතිර තිබුණේ ද ඉතාමත් පිටිසරබද පරිසරයකි. පල්ලියේ මීසම් ගෘහය අසල වත්මනේ ද බොහෝ පැරැණි පාසි බැඳුණ අරලිය ගසක් ඇත. අද මෙන්ම එදත් මෙම අරලිය ගසේ සුදෝ සුදු ලස්සනම ලස්සන පැත්තම සුවඳ කරන අරලිය මල් පිපී තිබුණි. එය පිපුණ සුදු මල් වට්ටියක් විය.

මර්සලීනු ජයකොඩි පියතුමාගේ කවි සංකල්පනාවන් රසයෙන් කුල්මත් කිරීමට ඒ අරලිය ගහ සමත් විය. මෙම අරලය ගස දෙස බලාගෙන මර්සලීනු ජයකොඩි පියතුමා දේව මෑණියන් ගැන ඉතාමත් ජනප්‍රිය මෙම ගීතිකාව නිර්මාණය කළේය.

අරලිය අතු අග ඔබෙ පා නංවා
එන්නකො මල් කුමරී
එන්කො මල් කුමරී – සුකුමල මල් කුමරී
අපේ කුමාරි කැකුළු සිනහ පා
එන්නකො මල් කුමරී

ජයකොඩි පියතුමාගේ ගීතිකා බොහෝමයක අරලිය මල් ගැන සඳහන්ව ඇත. පල්ලිය අසල වූ එම අරලිය ගස මර්සලීනු ජයකොඩි පියතුමා සමග දැඩි සම්බන්ධතාවයක් තිබුණි. පල්ලිය සමීපයේ තාප්පය ඉදිකරද්දී එම අරලිය ගස කැපිය යුතුව තිබුණි. නමුත් අරලිය ගස කපන්නේ නැතිව තාප්පය අරලිය ගස දෙපැත්තෙන් නතර කෙරුණි. අද මෙන්ම එදත් මග්ගොන දෙව්මැඳුරට පැමිණි සියලු පියවරුන් මෙම අරලිය ගසට විශේෂ සැලකිලි දැක්විණ.

අවුරුදු පහක් මග්ගොන ජීවත්ව එහි සැරි සැරූ ජයකොඩි පියතුමන්ට එතුමාගේ රස ගීත කල්පනාවන් පුබුදුවන්නට එම පරිසරයෙනි වූ චමත්කාරය අනිවාර්යයෙන් බලපෑවේය. එකල මග්ගොන වෙලවල් මැඳින් නියරවල උඩින් ගමන්කළ මර්සලීනු ජයකොඩි පියතුමා එහි තිබුණ ස්වභාවික සුන්දරත්වයෙන් අපමණ ලෙස මත්විය.

මග්ගොන, මුංහේන දෙසට යද්දී ලස්සන වෙල්යායක් තිබුණි. එකල එම වෙල්යාය පුරාවට නෙළුම් මල් පිපී තිබුණි. එම නෙළුම් විල දෙස බලාගෙන මර්සලීනු ජයකොඩි පියතුමා මෙම ගීතිකාව නිර්මාණය කළේය.

නෙළුම් පිපිලා
පෙති විසිරීලා
ජලය සුවඳ වෙන්නා
මමත් මලක් නම් පිපී සුවදී
ඔබ ළඟ පරවෙන්නා

කාන්ති කුමරියනී
නාද මිහිරියෙනී
සාන්ත සුසිලායනී
දේව දිනිතියෙනි
දම්ම කිරුළෙහි දිසි දිසි බබළන
රමණීය සිතුමිණෙනි

සිංහලෙන් ගීතිකා කිව්ව මුල්ම කට්ටිය

එක්දහස් නවසිය හතළිස් පහේ දෙසැම්බර් මස අටවැනි දින දේව මෑණියන්ගේ නිර්දෝෂ මංගල්‍යයේ දී මංගල මහා දිව්‍ය පූජාව තැබීම සඳහා ජයකොඩි පියතුමා එම ගීතය පද රචනාකර ස්වර නිර්මාණය කර, පල්ලියේ ගායක කණ්ඩායම ලවා පුහුණුකර ගායනා කරන ලදී.

ඊට පසු කාලයක ලතා වල්පොළ සහ තවත් ගායිකාවන් එම ගීතය ගායනාකර ඇත. එම ගීතය ඇතුළත් නෙළුම් පිපීලා නම් ගීත තැටිය ගුවන් විදුලි සංස්ථාවේ තවමත් අලවිය සඳහා ඇත.

මර්සලීනු ජයකොඩි පියතුමා මෙසේ සිංහල මුද්‍රාව සලකුණු කරන ලද්දේ එක්දහස් පන්සිය තිස් ගණන්වල ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන් විසින් පදනම සකස්කළ කිතුනු ගීතිකා ක්ක්‍ෂේත්‍රයෙහි ිය. ගෝවේ සිට මෙහි සැපැමිණි ගොන්සාල්වේස් පියතුමා බෞද්ධ භික්‍ෂූන් වහන්සේ වෙතින් සිංහල ඉගෙන පෘතුගීසි බසින් ලියැවී තිබුණ යාච්ඤා ගීතිකා සිංහලට පෙරළුෑහ.

ස්වර්ගස්ත වූ හිටපු රදගුරු එඩ්මන් පීරිස් හිමිපාණන් පැවසුවේ ගොන්සාල්වේස් පියතුමන් 1730 දී රචිත මංගල ගීතය නම් කෘතියෙහි මුල්ම සිංහල ගීතිකා ඇතුළත්ව තිබූ බව ය. එවකට ගීතිකා හැඳින්වීමට සින්දුව යන පදවිය භාවිත වී ඇත. දේව මාතා උපන් සින්දුව මංගල්‍යය ආරාධනා සිංදුව, ජේසු මළ උපන් සින්දුව සත්ප්‍රසාද සින්දුව, ආසිරි පැන් සින්දුව යනුවෙන් එවකට ගීතිකා හැඳින්විණ.

එයට පසුව මෝක්ෂ යතුර හෙවත් භක්තිමල්දම යනුවෙන් දොන් දොමිගුං විජේසිංහ මුදලිතුමා ද ප්‍රංශ ජාතික සී. චූනවෙල් පියතුමා ද ජෝන් පහමුණේ පියතුමා ද ආතර් ජයමාන්න පියතුමා ද සිංහල ගීතිකා පොත් සම්පාදනය කළහ.

ඒ අතරම එක්දහස් නවසිය හැට ගණන් දක්වාම ලාංකික කතෝලිකයන්ගේ දිව්‍ය පූජාවේ දී වැඩි වශයෙන් භාවිත වූයේ ලතින් භාෂාවය. එනිසා ම අරුතක් නොවැටහුණත් කතෝලිකයෝ දිව්‍ය පූජා අවස්ථාවේ දී ලතින් ගීතිකා හොඳින් ගායනා කළහ.

ගොන්සාල්වේස් පියනමගේ අභාවය සිදුවූයේ ක්‍රි. ව. 1742 සිට 1933 දක්වා වන වසර 191 තුළ වූ දහස් සංඛ්‍යාත ගීතිකා සමස්තයක් වශයෙන් බලන කල පැහැදිලිව පෙනී යන කරුණු දෙකකි. පළමුවැන්න එම ගීතිකා බොහොමයක් සිංහල ජනයාට ආගන්තුක පද යෝජනයෙන් අව්‍යක්ත ව්‍යවහාරයෙන් ගහණ වූ බවය. දෙවැන්න මෙරට ජනයාට උචිත වන්නාවූ සංගීත ශෛලියක නොපිහිටා හුදෙක් විදේශීය තනු අනුකරණයට වහල්වූ බවය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කැරොල් පසම් කන්තාරු පර්යේෂණ කෘතියෙන් එසේ දක්වන්නේ මර්සලීනු ජයකොඩි පියනමගේ සම්ප්‍රාප්තියට පෙර කිතුනු ගීතිකාවේ හැඩරුව ගුණ පිළිබඳවය.

වොයිස් ටෙස්ට් එකක් කියලා ස-රි-ප-ද-නි කියලා තමයි ගීතිකා කණ්ඩායමට තෝරා ගත්තේ. මුල්ම කාලයේ ගීතිකා කණ්ඩායමට හිටියේ පිරිමි අය පමණයි. අපි පොඩි කීපදෙනෙක්ම හිටියා. අපේ කටහඬවල් ගැහැනු කට හඬවල් වගේ වුණා. ඇන්ඩෲ අයියලා තරමක් වයසින් වැඩි නිසා ඔවුන්ගේ හඬවල් හොඳ පිරිමි ගතියක් තිබුණා. ඒ නිසා ගීතිකා කණ්ඩාමේ පිරිමි ගැහැනු කටහඬවල් දෙකම හොඳට මිශ්‍රවෙලා තිබුණා. මර්සලීනු ජයකොඩි පියතුමාගේ මුල්ම ගීතිකා කණ්ඩායමේ අතරින් එක් පුද්ගලයකු වූ කැමිලස් පුනාන්දු මහතා පැවසීය.

දෙසැම්බර් මාසේ අටවැනිදා අපේ ගමේ නිර්දෝෂ මංගල්ලයට මාසයකට ඉස්සර වෙලා ජයකොඩි සුවාමි අලුත් ගීතිකාවක් හදලා අපිට පුරුදු කරන්න ගන්නවා. හවස තුනට පටන් ගන්නව හවස පහ වෙනකම් පුරුදු කරනවා. ඉස්සර වෙලා සුවාමි ඕගන් එක ගහලා තාලෙ කියලා දීලා දෙපාරක් තුන් පාරක් ඕගන් එක ගහහහ අපිත් එක්ක කියනවා. ජුවප්පු ගුරුනාන්සෙ තමයි එතකොට කන්තාරු මාස්ටර්. පසුව ජයකොඩි සුවාමි ජුවප්පු ගුරුන්නාන්සෙට ඕගන් එක ගහන්න කිලා අපිට ගීතිකා කියන්න කියලා පල්ලියෙ මහ දොරකඩ ළඟට වෙලා අහගෙන ඉන්නවා. කැමිලස් ප්‍රනාන්දු මර්සලීනු ජයකොඩි පියතුමා මුල්ම සිංහල ගීතිකා කණ්ඩායම පුහුණු කළ ආකාරය විස්තර කළේ එසේය.

ජුවප්පු ගුරුනාන්සෙ යනුවෙන් කවුරුත් ගෞරවයෙන් හඳුන්වනු ලැබූ මග්ගොන ශාන්ත මරියා විදුහලේ එවකට මුල් ගුරුතුමා වූ එච්. ජුවන් ප්‍රනාන්දු මහතා එදා මුල්ම ගීතිකා කණ්ඩායමෙහි ඕගනය වාදනය කරමින් එහි නායකත්වය දැරීය.

පල්ලියෙ මහ දොරකඩ අසල වී මර්සලීනු ජයකොඩි පියතුමා කණ්ඩායම පුහුණුවන ආකාරය හොඳින් කන්දීගෙන සිටියි. කිසිවකු ශ්‍රැතියෙන් බැහැරව ගායනා කළහොත් උන්වහ්නසේ ක්ෂණයකින් එය හඳුනාගනී.

හරියට කියනවා ගායනා කණ්ඩායම ළඟට එන ජයකොඩි පියතුමා පවසන්නේ ශ්‍රැතියෙන් බැහැරව ගායනා කළ අයට ටොක්කක් ඇනීමෙන් පසුව ය.

ජයකොඩි පියතුමාගේ මෙම දැඩි ගායනා අභ්‍යාසයෙන් පල්ලියේ වාර්ෂික මංගල්‍යය වනවිට උන්වහන්සේගේ අලුත්ම ගීතිකාව හොඳින්ම පුහුණු වූ ගීතිකා කණ්ඩායමක් බිහිකර අවසන්ය.

මංගල්‍යය දිනය සමීප වනවිට, තමන්ගේ අලුත්ම ගීතිකාව කුඩා පත්‍රිකාවක ජයකොඩි පියතුමා මුද්‍රණය කරයි. ඒ මංගල්‍යය දිව්‍ය පූජාවට සහභාගී වන බැතිමතුන්ට ගායනා කිරීම පිණිස ය. කුඩා කාලයේ සිට ම පල්ලියේ ගීතිකා ගායනාකර ඇති කතෝලිකයන්ට ගායනය අරුමැසි දෙයක් නොවේ. ගීතිකාවක තාලයෙහි මුල් කොටස ඇසූ පමණින් ගීතයට අත්වැල් ගායනයෙන් අපූරුවට සහභාගි විය හැක. එයිනුත් මග්ගොන කතෝලික බැතිමතුන්ට ගීතිකා ගායනයෙහි අපූරු කුසලතාවක් එදා සිට ම විය. දිව්‍ය පූජාව ආරම්භ වී ගීතිකා කණ්ඩායම ගීතිකා ගායනය ආරම්භ කළවිට ජයකොඩි පියතුමා මුද්‍රණය කර බෙදා දුන් පත්‍රිකාවෙහි ඇති ගීතිකා පද මාලා දෙස බලමින් ගායනා කරන්නේ වහලයේ උළු ඉගිලී යන තරමින් උස් හඬිනි.

සිංහලෙන් ගීතිකා කිව්ව මුල්ම කට්ටිය

ඉස්සර ගමේ පල්ලියේ මංගල්‍යය පුරාම නුවානවලට වෙස්ෆ්‍රස්වලට මංගල්ලේ දා මහ පූජාවට බෑන්ඩ් එකක් ගෙන්නලා ගීතිකා වාදනය කිරීම සාමාන්‍ය සිරිතක්. මට මතකයි ජයකොඩි සුවාමි අපේ පල්ලියට ආපු මුල්ම අවුරුද්දෙ ඒ කියන්නේ එක්දහස් නවසිය හතළිස් හතරේ පල්ලියෙ මංගල්ලෙ පොලිස් බෑන්ඩ් එක ගෙන්නුවා. ගීතිකා කණ්ඩායමටත් එයින් ට්‍රම්පට්කාරයෝ දෙන්නෙක් එකතු වුණා මතකයි. පල්ලිය ඉස්සහරහා ලොකු ටෙන්ට් එක්ක ඇදලා ස්ටේජ් එකක් ගහලා තිබුණා. මර්සලීනු ජයකොඩි සුවාමි ‘සිඹිමුව ඔබ සිරිපා කමලා’ ගීතිකාවේ නෝට්ස් දුන්නම පොලිස් බෑන්ඩ් එක ගීතිකාව ප්ලේ කළා මතකයි කැමිලස් මහතා සිහිපත් කෙළේ කුඩා අවධියේ ගමේ පල්ලියේ මංගල්‍යයේ රසබර සිදුවීම් ය.

එම්. ජේ. ප්‍රනාන්දු, ඇන්ඩෲ ප්‍රනාන්දු, සිරිල් ප්‍රනාන්දු, වැන්සස් ප්‍රනාන්දු, ජී. කාර්ලෝ පෙරේරා, එච්. ඩී. බොනී ජෝශප් බෙනඩික් ප්‍රනාන්දු මයිකල් ප්‍රනාන්දු රේමන් සිල්වා, ඒ අර්සකුලරත්න, ස්ටැන්ලි ප්‍රනාන්දු, රොබට් ප්‍රනාන්දු සිසිල් ජෝශප් මර්සලීනු ජයකොඩි පියතුමා බිහිකළ ලංකාවේ ප්‍රථම සිංහල ගීතිකා කණ්ඩායමේ සාමාජිකයෝ වූහ.

මංගල්ලේ දින මහා පූජාවෙන් පසු ගීතිකා කණ්ඩායම මුලින්ම යන්නේ සුවාමිගේ ලැගුම් ගෙට ය. මහා පතරංග මේසය මත කට්ලට්, පස්තෑල, ආස්මි, මුං, අලුවා, බිබික්කන්, අතිරස, කැවුම්, කිරිබත් අත් ගොබයක් තරම් විශාල කෝලිකුට්ටු ගෙඩි හිනැහි ඉන්නේ ගීතිකා කණ්ඩායම එනතුරු ය. උස් වූ ස්වරයෙන් ගීතිකා ගැයීමට කට ලොකුවට විවර කර පුරුදු ඔවුනට මේසය මත හිනැහෙන කෑම අතුරුදහන් කිරීමට එතරම් වේලාවක් ගත වෙන්නේ නැත. ඒ සමග ම කෑම මේසය මත වූ සිනහව ඔවුන්ගේ වතමත පතිත වන අතර මේසය මත ඉතිරි වන්නේ කෙසෙල් ලේලි පමණි.

එයට පසු මෙම ගීතිකා කණ්ඩායම යන්නේ ගීතිකා කණ්ඩාය මෙහි නායක ජුවප්පු ගුරුනාස්සේලාගේ ගෙදර ය. ජුවප්පු ගුරුනාන්සේලාගේ ගෙදර ඔවුනට සප්පායම් වීමට සෑම දෙයක්ම ඇත. ගීතිකා කණ්ඩායම තම තමන්ගේ ගෙවල්වලට යන්නේ මංගල්ල බත ගෙවල්වල මේසය මත දුම් දමමින් තිබියේදී ය.

ඉස්සර මර්සලීනු ජයකොඩි සුවාමි අපේ පල්ලියෙ ඉද්දී, අපේ තාත්තයි, මමයි මුහුද අයිනෙ තියෙන නාඋටු කන්ද උඩට යනවා. සුවාමි කටින් එක එක තාල ගහනවා. තාත්තට කියනවා ස්වර ලියාගන්න කියලා. තාත්තත් ලියාගන්නවා. ජයකොඩි පියතුමා සංගීත ස්වර නිර්මාණය කළ අන්දම සිහිපත් කළේ ජුවප්පු ගුරුනාන්සේගේ පුතකු වූ රොබට් ප්‍රනාන්දු ය.

“ඒ කාලෙ අපේ ගීතිකා කණ්ඩායම හැඳින්වූවේ ශාන්ත මරියා ගීතිකා සමිතිය කියලා. අපේ තාත්තා තමයි සභාපති. මඟුල් පූජාවකට ගීතිකා කිව්වාම තුනයි පනහක් සුවාමි දෙනවා. මේවා තැපැල් කන්තෝරුවෙ පාස් පොතක දානවා. අවුරුද්ද අන්තිමේ මේ සල්ලිවලින් අපි හොඳ විනෝද ගමනක් යනවා. රොබට් ප්‍රනාන්දු පැවසුවේ ගීතිකා කණ්ඩායම නිසා ඔවුනට ලැබුණ තවත් ප්‍රතිලාභයක් පිළිබඳවය.

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment