සිංහලෙන් දෙමළෙන් හෝල් වලට එන නයිට් රයිඩර්

298

රිදී තිරයට එහෙමත් නැතිනම් සිනමාවට දවසින් දවස අලුත් තරු පායනවා. ඒ අලුත් තරු සිනමාවේ දිදුලනවා වගේම දිගු ගමනක් යන අවස්ථාද නැතිවාම නොවේ. අද අපි කතා කරන්න යන්නෙත් එවැනි අලුත් සිනමා තරුවක් සමඟ. මොහු සිනමාවට නවකයෙක් වුණාට වෙළෙඳ දැන්වීම්කරණයට නම් නවකයෙක් නොවේ. වෙළෙඳ දැන්වීම් කරණයෙන් වෙනස්ම වැඩක් කරපු මොහු ගේ එකම බලාපොරොත්තුව තමයි සිනමාවෙත් ලොකු වෙනසක් ඇති කිරීම. ඒ නිසාම මීට අවුරුදු තුනකට කලින් කසුන් පතිරණ නමැති මොහු නියිට් රයිඩර් නමින් කුලුඳුල් සිනමා නිර්මාණයත් බිහිකරනවා. ලබන 22 වැනිදා මෙම සිනමා නිර්මාණය තිරගත කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ නිසාම අපි කසුන්ට මේ ඉඩකඩ වෙන් කළා.

● ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය වන නයිට් රයිඩර් චිත්‍රපටය තිරගත කරන්න සූදානම් වෙනවා නේද?

අපි මේ චිත්‍රපටයේ වැඩ අවසන් කරලා දැනට අවුරුදු තුනක් විතර වෙනවා. අපි අවුරුදු තුනක් තිස්සේ එක එක කාලවල චිත්‍රපටය තිරගත කරන්න උත්සාහ කළා. නමුත් රටේ තිබුණු වාතාවරණය එක්ක ඒක කල් දමන්න සිදුවුණා. අන්තිමේ අපි කණ්ඩායමක් විදියට කට්ටියම එකතුවෙලා තීරණය කළා රටක් විදියට මේ තත්ත්වය හොඳ වෙනකම් අපේ වැඩ කල්දදා බලාගෙන ඉන්න බැහැ, චිත්‍රපටය තිරගත කරනවා කියලා. මේ තමයි මිනිසුන්ගේ ආතතිය නැති කරන්න ආට් පාවිච්චි කරන්න හොඳම වෙලාව. ඒ නිසාම එළැඹෙන 22 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ අපි තිරගත කරන්න සූදානම් වෙනවා.

● රංගනයෙන් දායක වෙන පිරිස මතක් කළොත්?

ප්‍රධාන චරිත දෙක කරන්නේ යුරේනි නොෂිකා සහ කළණ ගුණසේකර, ඊට අමතරව මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව්. ජයසිරි, බිමල් ජයකොඩි, දමයන්ති ෆොන්සේකා, අරුණි මෙන්ඩිස් වගේ පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

සිංහලෙන් දෙමළෙන් හෝල් වලට එන නයිට් රයිඩර්

● ඔය අතරේ කසුන් පතිරණ ගැනත් කියන්නේ කවුද?

මම ඇතුළු මේ චිත්‍රපටයට සම්බන්ධ අපේ කණ්ඩායම අවුරුදු ගණනාවක් තිස්සේ සිනමා පිස්සුව හින්දා ඒ ගැන තැන් තැන්වල සාකච්ඡා කරමින් චිත්‍රපට කිරීමේ උනන්දුවක් තිබ්බ පිරිසක්. ඊට අමතරව මම මීට කලින් චිත්‍රපට හත අටකට දායකවෙලා තියෙනවා. නිෂ්පාදන කළමනාකාරවරයෙක් සහ සහාය අධ්‍යක්‍ෂකවරයෙක් ලෙස මම වෘත්තීය වශයෙන් රූපවාහිනි වෙළෙඳ දැන්වීම් අධ්‍යක්‍ෂවරයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒකෙන් ලැබුණු පරිචයත් එක්ක තමයි චිත්‍රපටයකට අතගසන්න ලෑස්ති වුණේ. මේ චිත්‍රපටයට අවුරුදු දහයක් තිස්සේ චිත්‍රපට සහ වෙළෙඳ දැන්වීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධවෙලා හිටපු පිරිසක් සම්බන්ධවෙලා ඉන්නවා.

● අවුරුදු තුනකට කලින් හදපු චිත්‍රපටය මේ කාලයේ තිරගත කිරීම සාර්ථක වෙයිද?

මම හිතන්නේ අපි මීට අවුරුදු තුනකට කලින් උපකල්පනය කරපු දේ දැන් උදාවෙලා තියෙනවා කියලා. ඒක නිසා චිත්‍රපටය වඩාත් සාර්ථක වෙන්නේ සහ මිනිසුන්ට කියවගන්න ලෙහෙසි වන හොඳම කාල සීමාවක තමයි අපි ඉන්නේ. අපිට ඕනෑ වුණේ සාමාන්‍ය මිනිසුන්ට කියවන්න පුළුවන් ඕනෑම මනුස්සයෙකුට රස විඳින්න පුළුවන් කතා තේමාවක් තිබෙන චිත්‍රපටයක් හදන්න. ඒක ඇතුළේ අපේ පෞද්ගලික දේශපාලනයත් අන්තර්ගතයි. එතකොට අපි ලංකොවේ අනාගත දේශපාලනය ගැන කරපු උපකල්පනය හොඳටම වැටහෙන පසුබිමක තමයි ඉන්නේ. ඒක නිසා මේක තමයි හොඳම වෙලාව නයිට් රයිඩර් රිලීස් කරන්න.

සිංහලෙන් දෙමළෙන් හෝල් වලට එන නයිට් රයිඩර්

● මාධ්‍යට පහර එල්ල කරන්න මේක හැඳුවෙ?

පහර එල්ල කිරීමටත් වඩා අපි ගොඩක් වෙලාවට උත්සාහ කළේ මාධ්‍යය සහ දේශපාලනය නිසා අපි අත්විඳින සියලු අත්දැකීම් වෙන විදිහකට කියවන්නේ කොහොමද කියන එකයි මේ චිත්‍රපටය හරහා යෝජනා කළේ. එතැනදි මාධ්‍යයේ තිබෙන සමහර හැසිරීම් නිසා සාමාන්‍ය මිනිසුන් ගේ ජීවිතයට කොයි තරම් දුරකට බලපානවද යන්න පෙන්වන්නයි අපි උත්සාහ කළේ. ඒක කොයි විදියට භාර ගන්නවද කියන එක සමාජයේ සහ මාධ්‍යයේ වගකීමක්. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කළේ මාධ්‍යයේ තියෙන සාමාජීය බලපෑම් සහ ගති ස්වභාවය නයිඩ් රයිඩර් හරහා පෙන්වන්න.

● නයිට් රයිඩර් බොහොම නිහඬව තිරගත කරන්න හිතුවේ ඇයි?

මේ වෙලාවේ අපිට සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මුද්‍රණ අමුද්‍රව්‍යවල මිල හිතන්නේ නැති ප්‍රමාණයකට ඉහළ ගිහින් තියෙනවා. එතකොට අපිට සිද්ධවෙනවා වෙනත් විකල්ප ක්‍රමවේද භාවිතා කරන්න.

සියලු දේවල් වල මිල දරාගත නොහැකි ආකාරයකට වැඩිවෙලයි තියෙන්නේ. තරුණයන්ට සිනමාවට අවස්ථාවක් නැති වෙලාවක අපි කොහොමද විකල්ප ක්‍රමවේද මේකට භාවිතා කරන්නේ කියලා අත්හදා බැලීමක් තමයි මේක ඇතුළේ කරන්න ඕනෑ වුණේ. තරුණ සිනමාකරුවන්ගේ චිත්‍රපට එළියට දාගන්න සහ ඒවා ප්‍රචාරණය කරන්න ක්‍රමවේද මේක හරහා දැනගන්න පුළුවන් වෙයි.

● පිටපත් කීයක් තිරගත කිරීමේ අදහසින් ඉන්නවාද?

අපි මේ චිත්‍රපටයත් එක්ක තවත් අත්හදා බැලීමක් සිදුකරනවා. චිත්‍රපටය දමිළ සහ සිංහල භාෂා දෙකෙන්ම එළිදක්වන්න තමයි සිතාගෙන ඉන්නේ. ඒ දෙකම එකතු කරගෙන අපි දැනට උත්සාහ කරගෙන ඉන්නේ දැනට ලංකාව පුරා තිබෙන සිනමාහල් හතළිහකට ආසන්න ප්‍රමාණයක තිරගත කරන්න.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment