සිංහල අලුත් අවුරුද්දේ ශාස්ත්‍රීය පදනම

765

බක් මහ උළෙල සිංහල අවුරුදු උත්සවය හෙළයන්ගේ අපූර්වත්වය මැනවින් ඉස්මතු කර දෙන සිංහල වංශ කතාවේ සිරිත් විරිත්වලින් පරිපූර්ණ බුදු දහමට අනුගතව ඉෂ්ට දේවතානුස්මරණයෙන් සිද්ධ කරන්නා වූ කලගුණ සලකන්නා වූ මහා පිංකමකි.

හෙළයන්ගේ වාසනාවට සොබාදහම විසින් දායාද කළ සිංහල අලුත් අවුරුදු උත්සවය මුළුමනින්ම ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූල ක්‍රියාදාමයකි. ආදී අපේ මුතුන් මිත්තන් විසින් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන ප්‍රමුඛතා උත්සව දෙකකි. අනෙක ඇසළ උත්සවයයි. පුරාතන හෙළයන්ගේ ඇදහිලි සම්ප්‍රදායක් වූ සූර්ය දේව වන්දනාවේ අවස්ථා දෙකක් ලෙස සිංහල අවුරුදු උත්සවය හා ඇසළ උත්සවය සඳහන් කළ හැක. මෙම අවස්ථා දෙකේදීම අප ශ්‍රී ලංකාවට සූර්යා මුදුන් වනු ඇත.

ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව නම් රවි, චන්ද්‍ර දෙදෙනා පෘථිවිය කෙරෙහි බලපාන ප්‍රධානතම ග්‍රහයින් දෙදෙනා වේ.

ඒ නිසාම සුභ මුහුර්තාදිය සෑදීමේදී ප්‍රමුඛතාවය දෙනු ලබන්නේ ඉර, හඳ, පෘථිවිය මුල් කරගත් ත්‍රිකෝණ රටාවටයි.

සැබැවින්ම සූර්යයා අනෙකුත් සඳු, කුජ ආදී ග්‍රහයින් හා පෘථිවිය ද සමඟ කිසියම් ආකාරයක ගමනක යෙදෙන අතර සිය අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යා වටා පරිභ්‍රමණය වීමත් පෘථිවි අක්ෂ භ්‍රමණය නිසා දවස උදා වී ගෙවී යන අතර පරිභ්‍රමණය වීම නිසා අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක් උදා වනු ඇත.

පෘථිවිය සූර්යා වටා ගමන් කරන ඕවාල හැඩයෙන් යුත් ගමන් මාර්ගයේ (කක්ෂයේ) එක් වටයක් ගොස් නිමා කර තවත් වටයක් යෑමට ආරම්භ කරන කාල පරාසය සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන කාල සීමාව වශයෙන් සඳහන් කළ හැක. ජ්‍යොතිෂයට අනුව පළමු රාශිය හැටියට පිළිගැනෙන්නේ මේෂ රාශියයි. දොළොස්වන රාශිය මීන රාශිය වේ.

සූර්යා රාශි දොළහ පසු කරමින් මීන රාශියට යන බව පෘථිවියේ ජීවත් වන අපට මැනවින් පැහැදිලි වේ.

මෙම දෘෂ්‍ය ගමනේදී සූර්යා රාශි චක්‍රයට අයත් අවසන් රාශීය වන මීන රාශියේ අවසන් අංශකය ද සම්පූර්ණයෙන් පසු කරමින් රාශි චක්‍රයේ පළමු රාශිය වන මේෂ රාශියේ පළමු අංශකයට අවතීර්ණ වීම සිංහල අවුරුදු උදාව ලෙස හැඳින්විය හැකිය.

මෙය සැම වර්ෂයකම (බක් මහේ) අප්‍රේල් මාසයේ 13 හෝ 14 වන දිනක යම්කිසි වේලාවකදී සිදුවේ.

ස්වාභාවධර්මයාගේ නියමයක් අනුව රාශි චක්‍රය තුළ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන කාල සීමාව තුළ (නොනගතය) හෙවත් පුණ්‍ය කාලය සෑම අවුරුද්දකම පැය 12 යි විනාඩි 48ක කාලය වෙන් කර ඇත. මෙම කාලය සූර්ය සංක්‍රාන්ති කාල සීමාව නමින්ද හඳුන්වා ඇත. මෙම (නොනගතය) යන වචනය නැකත් නැති කාල සීමාවක් හැටියට ඇතැමුන් අරුත් දැක්වීම පිළිගනු නොහැක. තවද (නො +නැකත) නැකතක් නැති වේලාවක් යනුවෙන්ද නිරුක්ත දැක්වීම ද අත්හළ යුතුය. නැකත් යනු තාරකාවන් හැඳින්වීමට යොදන පදයක් පමණි. නැකත් සෑම මොහොතකම උදාව පවතින මුත් සුභ මොහොතක් සකස් කිරීමට සඳු ග්‍රහයා ප්‍රධාන කොට ශාස්ත්‍රානුකූලව සාදාගනු ලබන සුවිශේෂ වූ බලයක් සහිත හෝරා, පංචමකාල හෝරා, සූක්ෂම, අති සූක්ෂම, කාල හෝරා යොදාගත යුතුය. සෑම අවුරුද්දකම අලුත් අවුරුද්දේ සියලු කටයුතු කිරීමට නියම කර ඇත්තේ සුභ මුහුර්තයකිනි. මෙම සුභ මොහොත සකස් කළ යුත්තේ ද නොනගතය පවතින සංක්‍රාන්ති කාලය තුළමය.

ජ්‍යොතීර් විද්‍යාවට අනුව පැය 12 කුත් විනාඩි 48 ක් පවතින නොනගත කාල සීමාව අර්ධ දෙකකට බෙදා වෙන් කර ඇත.

එනම් පූර්ව අර්ධය හා අපර අර්ධය යනුවෙනි. චාරිත්‍ර විධි සඳහා ශුභ මුහුර්ත යොදාගනු ලබන්නේ අපර නොනගත කාලය තුළදීය. එසේ නම් නොනගත කාලය යනු ගියෙත් නැති + නොගියෙත් නැති + කාලසීමාව “නොනගතය” නමින් හඳුන්වනු ඇත. ඒ අනුව සූර්යයා මීන රාශියේ අවසාන අංශකය පසුකර මේෂ රාශියේ මුල් අංශකයට සම්පූර්ණයෙන්ම ඇතුළුවීමට පැය 12 යි විනාඩි 48 ක් ගත වෙයි. එම කලසීමාව නොනගතය හෙවත් පුණ්‍ය කාලය වනු ඇත. එක් රාශියක ප්‍රමාණය අංශක 30 ක් වන මේෂ රාශියත් බෙදා වෙන් කරන සරල කල්පිත රේඛාවකි. සූර්යයා විශාල ගෝලාකාර වස්තුවකි. මෙම ග්‍රහ වස්තුවට උක්ත සරල රේඛාව පසුකර යෑමට ඉහත කී වේලාව ගතවනු ඇත. සූර්ය ගෝලය දෙකකට බෙදී හරියටම රේඛාවේ මැදට පැමිණි විට හරි අඩක් මේෂ රාශියට අවතීර්ණ වී ඇත. එනම් පූර්ව නොනගත කාලය (පැය 6 යි විනාඩි 24) ගෙවී ගොස් ඇත.

සරල රේඛාව පසුකර සූර්යයා මුළුමනින්ම මේෂ රාශියට ඇතුළු වීම හෙවත් අලුත් අවුරුද්ද ආරම්භ වීමට තව (පැය 6 විනාඩි 24 ක්) කාලයක් ගතවනු ඇත. එය අපර නොනගතය කාලය නමින් හැඳින්වේ.

හිරු දෙවියෝ උත්තරායන ගමනේදී ප්‍රථමයෙන් ලංකා පොළෝතලයට ඉතාමත්ම ලංවීම, මුදුන්වීම සිදුවන්නේ බක් මාසයේදීය. ගොවිතැන් බත් කරමින් ජීවත් වූ හෙළයන්ට ඉතාම ප්‍රීතිමත් වසන්ත කාලයයි. අස්වනු නෙළා අලුත් සහල් මංගල්‍යය මුල් කරගෙන උත්සවශ්‍රීයෙන් පිදිය යුත්තන් පුදා බෙදා හදාගෙන කෑම, කලගුණ සැලකීම හෙළයන්ගේ සිරිතක් විය. බෞද්ධ චාරිත්‍රානුකූලව අලුත් වුණේ ඇයි හොඳයිකම් පෑවේ මනුෂ්‍ය ගුණධර්ම පෙරටු කරගෙනමයි.

අලුත් අවුරුදු පලාපල ගැන සඳහන් කළොත් ,

01). අවුරුදු උදාව :-

2023 අප්‍රේල් 14 වන සිකුරාදා අපර භාග 2.59 ට සිදුවේ.

උදා ලග්නය :-

සිංහ රාශිය අංශක 9‘ කලා 37” මිථුන නවාංශකය වේ.

උදා නක්ෂත්‍රය :-

  • සුවන නැකතේ 2 වන පාදය වේ.
  • සඳු මහ දශාවේ රාහු අන්තර් දශාවයි.
  • අප්‍රේල් 14 – මැයි 19 දක්වා සිකුරුගේ විදසාවයි.
  • අප්‍රේල් 14 – අප්‍රේල් 21 දක්වා සෙනසුරු සූක්ෂමයයි.
  • අප්‍රේල් 20 පූර්ණ සූර්යග්‍රහණයකි.
  • රට වැසියන්ට ආර්ථික අපහසුතා ඇතත් භාණ්ඩ මිලෙහි පහත දැමීමක් සිදුවේ. සහනදායක තත්ත්වයක් දැනෙනු ඇත.

නමුත් අප්‍රේල් 20 පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන බැවින් අර්බුදකාරී රැසක් සමඟ ස්වාභාවික විපත් මෙන්ම මහජන අරගල නිසා රාජ්‍ය තන්ත්‍රයේ නොසිතූ විරූ ගැටලු හේතුවෙන් නායක කාරකාදීන්ට අහිතකර බලපෑම්. බුදු වදනට අවනත වීම පමණක් සැනසීමට හේතුවනු ඇති.

“අනන්ත වූ බුදුගුණ බලයෙන් සියලු දෙවි රැක වරණින් ශ්‍රී ලංකාවාසී ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා…”

ජ්‍යොතීර්වේදී, වාස්තු විද්‍යාවේදී, පාඨමාලා උපදේශක
වයි.එම්.කේ. යාපා බණ්ඩාර
දුරකථන අංකය :- 0777-448644

advertistmentadvertistment
advertistmentadvertistment