සිංහල ආඛ්‍යාන කාව්‍යයේ ‘තිමිර ඉර්තුව’

618

ආඛ්‍යාන කාව්‍යයේ මූලාරම්භය වාචික සම්ප‍්‍රදායන්ගෙන් වර්ධනය වූ බව කාව්‍ය ඉතිහාසයේ සඳහන් වේ. පුරාණ ග‍්‍රීක කවියකු වන හෝමර් සිය චිරප‍්‍රසිද්ධ ‘ඉලියඞ්’ සහ ‘ඔඩිසි’ යන කාව්‍යද්වය රචනා කළේ ඒ අනුව යමිනි. එහෙයින්, එම කාව්‍ය දෙක ම ආඛ්‍යාන කාව්‍ය ලෙස සැලකේ. ඉන් වසර බොහෝ ගණනකට පසුව ඒවා ලිඛිත භාෂාවෙන් ලේඛනගත වන තෙක් ම හෝමර්ගේ එම කෘතීන් පැවත විත් තිබෙන්නේ මුඛ පරම්පරාගතව ය.

 ආඛ්‍යාන කාව්‍යය සිංහල අපට අලූත් දෙයක් නොවේ. ‘සස දෙව්දාවත’, ‘මුව දෙව්දාවත’, ‘කව් සිළුමිණ’ වැනි අපේ ජාතක කතාවලින් පෝෂණය වූ එය අපට හමුවන්නේ අපේ චිරන්තන සාහිත්‍යයේ පටන් ම ය. ඉන් අනතුරුව එමග ගිය කිවිවරයන් අතර කුමාරතුංග මුනිදාස, මහගම සේකර, රත්නශ‍්‍රී විජේසිංහ, එලික් ඉලයප්පාරච්චි වැනි මුල් පෙළේ කවීන් කිහිපදෙනෙකු ම අපට හමුවේ.

 ‘කිසියම් කතාවක් ගැබ්ව ඇති කාව්‍ය නිර්මාණයක් ආඛ්‍යාන කාව්‍යයක් ලෙස අපට මතුපිටින් දැකිය හැකි වුව ද, එය එසේ නොවේ. කතාවක් කවියට නැගීමෙන් කාව්‍යයක් බිහිකළ හැකිවන්නේ පාදක ආඛ්‍යානය කාව්‍ය මාධ්‍යයට අනුව වෙනස් කර ගැනීමෙන් පමණි.’ යනුවෙන් ජිනදාස දනන්සූරිය සිය ‘කලාත්මක පරිකල්පනය – කාව්‍ය විචාර චින්තා’ කෘතියේ සඳහන් කරයි.

 ඒ අනුව, ආඛ්‍යාන කාව්‍ය බොහොමයක් කිසියම් කතා වස්තුවක් තේමා කරගෙන නිර්මාණය වුව ද, ඒවායේ පාදක ආඛ්‍යානයන් කාව්‍ය මාධ්‍යයට අනුව වෙනස් කරගත් අවස්ථා බෙහෙවින් විරල ය. එසේ ම, නිශ්චිත කතා පුවතක් නොමැතිව දිවෙන ආඛ්‍යාන කාව්‍ය වුව ද, පාඨකයාගේ ඥානමය නිම්වළලූ පුළුල් කරන අයුරින් නිර්මාණය වූ අවස්ථා අපට හමු නොවන්නේ නොවේ. එකී ආඛ්‍යාන ගණයට එක්වන්නට ගත් නවතම උත්සාහය තැන්නහේනේ නාගිත හිමියන්ගේ ‘තිමිර ඉර්තුව’ ආඛ්‍යාන කාව්‍යය යි.

 සිංහල කවිය යතිවරයන් වහන්සේ අත පත් සෑම යුගයක ම එමගින් අපේ බස මෙන් ම, දෙස රැුස ද පොහොසත් වූ බවට අපට බොහෝ සාක්ෂි තිබේ. එසේ වූයේ, තොටගමුවේ ශ‍්‍රී රාහුල, වීදාගම මෛත‍්‍රී, වෑත්තෑවේ හිමියන් වැනි යතිවරයන් වහන්සේ ලෝකය පිරිසිඳ ලබා තිබූ ඇසූ පිරූ තැන් ඇති බව නිසාම ය.

 ‘තිමිර ඉර්තුව’ නමැති මෙම නවතම ආඛ්‍යාන කාව්‍යය අපට පිරිනමන තැන්නහේනේ නාගිත හිමියන් ද එවන් ඇසූපිරූ තැන් ඇති උගත් යතිවරයෙකු බව මෙම ආඛ්‍යාන කාව්‍යය පුරා ම උන්වහන්සේ පළකර ඇති අදහස් හා මතවාද මගින් ගම්‍ය වේ. ප‍්‍රස්තුතයට අනුව විටෙක එම අදහස් දාර්ශනික ය, විටෙක බෙහෙවින් සරල ය. ඒ කෙසේ වුව ද, එමගින් අද්‍යතන ජන සමාජය කියවීමට උන්වහන්සේ ගන්නා උත්සාහය පැසසුම් කටයුතු ය.

 මීට පෙර පළව ඇති අප කවුරුත් දන්නා හඳුනන කුමාරතුංග මුනිදාසයන්ගේ ‘පියසමර’ කාව්‍යයෙහි ‘පියා’, මහගම සේකරගේ ‘ප‍්‍රබුද්ධ’ කෘතියෙහි ‘ප‍්‍රබුද්ධ’, රත්නශ‍්‍රී විජේසිංහයන්ගේ ‘තරු ලකුණ’ කාව්‍යයෙ හි ‘සුරත්’ වැනි චරිත අනුයමින් තැන්නහේනේ නාහිත හිමියන්ගේ ‘තිමිර ඉර්තුව’ ආඛ්‍යාන කාව්‍යයේ එන ‘මදාරා’, ‘ප‍්‍රසාද්’ හා ‘සුමේධ’ යන චරිත ත‍්‍රිත්වය මෙම කාව්‍යය පුරා ම විටින් විට ඉදිරිපත් වෙමින් අපට ලෝකය පිරිසිඳ පෙන්වයි.

 එදිනෙදා අප දකින බොහෝ දෑ හි අප නොදකින පාර්ශ්වය දකින්නට මෙහි දී නාගිත හිමියන් දරා ඇති උත්සාහය පහත කව්පද මගින් උන්වහන්සේ අපට පසක් කරදෙනු ලබති.

 ‘මලක් ගනිමු ද මදාරා..?
 විල් දිය‘ඳුර බිඳ හිරු දුටුව..’
 උන්වහන්සේ නෙළුම් මලක් දකින්නේ
 ‘විල්දිය අඳුර බිඳ හිරු දුටු එකක්’ ලෙසට ය.
 ‘බුදු හිමියනුත් කැමතියි
 අංකුරයන්ට
 මඩෙහි ම ආයු නොහරින..’

 උන්වහන්සේ අපට මේ පවසන්නේ උට්ඨාන වීර්යයෙන් නැගී සිටින්නට කියා නොවේ ද ?

 ‘කඩමු! නටුව
 ලංසුවෙයි නැතිනම්
 වෙනත් ආශා පොදියක…’

 අනුන් අත්පත් කරගනු ඇතැයි ලොබින් තමන් සතුකර ගැනීමේ ආත්මාර්ථය කෙතරම් ධ්වනිතාර්ථවත් ලෙස උන්වහන්සේ මෙසේ අපට පහදා දෙන්නේ ද?.

 බොහෝ සිංහල ආඛ්‍යාන කවීන් සමාජ, දේශපාලන සංචලතාවන් වස්තු විෂය කර ගන්නේ යම් සේ ද, නාගිත හිමියෝ ද සිය ආඛ්‍යාන කාව්‍යය නිර්මාණය කිරීමේ දී මෑතකාලීන සමාජ දේශපාලන සිදුවීම්වලට මැනවින් සංවේදී වෙති.

 පසුගිය කාලය තුළ භික්ෂූන් වහන්සේට විඳින්නට සිදු වූ විවිධ තාඩන පීඩන පිළිබඳ අපේ මතක නාගිත හිමියන් අවදි කරන්නේ මෙසේ ය.

 ‘වාරියපොල සමිඳු සිටියා නම් දැනට
 උණ්ඩය විදින්නේ හෙළයාම ය හිස ට
 කිවිවර මිහිඳු හිමි සොහොනෙන් ගෙන උඩට
 හැකි නම් දමයි හය මසකට හිර ගෙයට..’
 සුළු ජාතික ඡුන්දවලට ලොබ බැඳ

 පසුගිය කාලයේ ඒකපාර්ශ්විකව ක‍්‍රියාත්මක වූ ‘සංහිඳියා’ වැඩපිළිවෙළ උන්වහන්සේගේ විචාරක්ෂියට හසුවන්නේ මෙසේ ය.

 ‘නාද කරමු! ජය සංකා
 ගමින් ගම පුරෙන් පුර
 දෑ සමයේ ජයශෝරාව
 ගයමු! වයමු! සිඳින්නට
 සංහිඳියා බන්ධනය..’

 මහගම සේකර කවියා ඔහුගේ ‘හෙට ඉරක් පායයි !’ කාව්‍ය සංග‍්‍රහයේ මෙසේ සඳහන් කරයි.

 ‘ඔබ හිනැහෙන විට
 මුළු ලොව
 ඔබ සමඟින් සිනාසෙයි
 ඔබ වැලපෙන විට
 මුළු ලොව
 ඔබ අතැර සිනාසෙයි..’

 තැන්නහේනේ නාගිත ස්වාමීන් වහන්සේ සිය ‘තිමිර ඉර්තුව’ ආඛ්‍යාන කාව්‍යය තුළ ඊට නව අරුත් සපයමින් අලූත් මානයක් කරා අප රැුගෙන යන්නේ මෙසේ ය.

 ‘ඔබ හඬනා විට
 හැඬිය යුතු ද මුළු ලොව
 ඔබේ කඳුළින් තෙත්ව
 පීඩා විඳිය යුතු ද ඔවුන්
 ඔබ ම වෙනුවෙන්..’

 ජාතික හා ආගමික සමගිය වඩාලීම වෙනුවෙන් නිමැවුණු ධ්වනිතාර්ථවත් යෙදුම්වලින් ද ‘තිමිර ඉර්තුව’ බෙහෙවින් පොහොසත් ය. මේ ඊට උදාහරණ යි.

 ‘මොකක් වුණත් මොක ද ?
 දීපවාලි – රාමසාන් – වෙසක්
 කෝකත් එක ම සඳ
 සිත් පිරිසිදු කරන
 බැඳීම් තිර කරන
 නුරුස්සන්නේ මොට ද ?
 එහෙව් ඇදහීමකට..’

 ජාතික හා ආගමික සමගිය ගැන එසේ අප නැණැස අවදි කරන නාගිත ස්වාමීන් වහන්සේ ආගමික අන්තවාදය හෙළා දකින්නට ද පසුබට වී නොමැති බව මෙහි එන පහත සිව්පද කවිය වැනි කවිවලින් ගම්‍ය වේ.

 ‘සමනොළ ගිරේ හඳපලූවත් කොටාපන්
 මහවැලි දියේ පව් සෝදා දමාපන්
 සීගිරි කසුප් මොහමඞ් කර ලියාපන්
 මහ වංශයෙත් පිටු ගලවා දමාපන්..’

 ඒ මුස්ලිම් අන්තවාදය ගැන උන්වහන්සේගේ දැක්ම ය. මේ බෞද්ධ අන්තවාදය ගැන යි.

 ‘කොන්ක‍්‍රීට් ඝන ප‍්‍රාකාර
 සුදු යකඩ සවි ගේට්ටු ද
 පර්චස් බිම් අඟල් රැකුමට

 තැනුමත් අන්තවාදය ම ය..’

 නාගිත හිමියෝ තරුණ විරැුකියාවට ද මෙසේ සංවේදී වෙති.

 ‘බම්බුවේ උපාධි සහතිකය
 සැමරුමක්ව ෆයිල් කවරෙක
 හන්දියේ පොටෝ කොපි යන්ත‍්‍රය
 සැරින් සැරේ කියවයි බෝරිංව..’

 තැන්නහේනේ නාගිත හිමියන් සිය ආඛ්‍යාන කාව්‍යය මගින් තම විචාරක්ෂියට හසුකර ගන්නේ අද්‍යතන සමාජ සංස්ථාව පමණක් නොවේ. බුද්ධ පුත‍්‍රයෙකු ලෙස උන්වහන්සේ බුදු සමය පවා අලූත් ඇසකින් බලන්නට උත්සාහ දරති.

 ‘අබිනික්මනට මත්තෙන්
 ගෞතමයන් වහන්ස !
 බැලූ සේක් නේද බිම්බාවගේ දෑස
 සමවත් සුවයට එළැඹ
 මට පවසනු මැන
 කාරුණිකයාණන් වහන්ස !
 අතැර යා නොහැකි යි නේද
 වරක්වත් පේ‍්‍රමනිය නොදැක..’

 නාගිත හිමියන් විටෙක අප දන්නා සමහර ඓතිහාසික පුරාවෘත්තවල පවත්නා සාටෝපය සාහසික ලෙස සුනුවිසුණු කර දමන්නේ කිසිදු පැකිලීමකින් තොරව ය.

 ‘සීගිරි සිතුවම්වල
 අප්සරාවන් කොහින් ද
 පීතෘ ඝාතකයෙක් කෙළෙසූ
 දාසියන් ය දුගී කුලවල
 අල්ලස් දී සිත්තරුන්ට
 මනරම්ව ඇන්ද වූ..’

 ‘ඉසුරුමුණි යුවල
 රාජ ආඥාවට
 හිස ගසා දැමූවන් ය
 ජාති දෙකක උන්
 පෙමින් බැඳුණු වරදට..’

 මෙසේ විවිධ සමාජ සංසිද්ධීන් දෙස වෙනස් ම ඇසකින් බලමින් ධ්වනිතාර්ථ කවි බසකින් එහි ඇති ගැඹුර අපූර්වත්වයකින් යුතුව සංජානනය කළ තැන් රැුසක් ‘තිමිර ඉර්තුව’ ආඛ්‍යාන කාව්‍යය පුරා ම අපට හසුවේ.

 ‘තිමිර ඉර්තුව’ තැන්නහේනේ නාගිත හිමියන්ගේ කුළුඳුල් නිර්මාණය වුව ද, උන්වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ චිරන්තන සාහිත්‍යය සහ පුරාතන, නූතන කවිසමය ගැඹුරින් ඇසුරු කර ඇති බව සිය පළමු කෘතියෙන් ම අප වෙත පසක් කර සිටිති. එනිසා ම එය, උන්වහන්සේගේ කවිය පිළිබඳ අපගේ හෙට දවසේ බලාපොරොත්තු මල්ඵල ගන්වන්නකි.

 * අනුර බී. සෙනෙවිරත්න
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment