සිංහල රජ බස කිරීම වැරැද්දක්ද?

495

1956 වසරේ ලංකාදීප කර්තෘ ඩී. බී. ධනපාලයන් විසින් ආරම්භ කළි‘රසවාහිනි සඟරාව එම වසරේ පළවූ හොඳම ලිපියට එවක විශාල මුදල් ත්‍යාගයක් පිරිනමන ලදී. එම ත්‍යාගය දිනා ගත්තේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාය. එම තරගයට ඩබ්ලිව්. ඒ. සිල්වා, රැයිපියෙල් තෙන්නකොන්, ශ්‍රී වන්ද්‍රරත්න මානවසිංහ, අරිසෙන් අහුබුදු, ගුණපාල සේනාධීර ආදීන්ගේ ලිපිද ඇතුළත් වී තිබුණු අතර මුදල් ත්‍යාගය හිමිවූයේ මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ “බමුණු කුලය බිඳ වැටීම” නමැති ලිපියටය. මේ ලිපිය ලියවෙන්නේ 56 පෙරළියත් සමග සිංහල රජ බස වීම පිළිබඳවය. අද සමහරු සිංහල රජ බස වීම පිළිබඳව කනසල්ල පළ කරති.

පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංහල රජ බස කිරීම සාපයක් ලෙස හැඳින්වූ බව මතකය. නමුත් ඔහුගේ පියාට ලංකාවේ දෙවැනි විධායක ජනපති පුටුවට පැමිණීමට හැකිවූවේද සිංහල රජ බස කිරීමෙන් පසුව ඇතිවූ සමාජ වෙනස නිසා බව මේ පුතුට හඳුනාගත නොහැකි වීම කනගාටුවට කරුණකි. බණ්ඩාරනායක මහතාගේ 1956 මැතිවරණ ප්‍රකාශනය සමාජවාදී පිළිවෙතකට අනුව සකස් වූවකි. ගොවි, කම්කරු, සඟ, වෙද, ගුරු යන පංච මහා බලවේග ඒකරාශී කරගෙන බලයට පැමිණි මේ රජය හේතුවෙන් ධනවාදීන් අවසන් හුස්ම හෙළන කාලය යැයි බොහෝ දෙනා සිතූහ. බණ්ඩාරනායක මහතාගේ ජනසතු ව්‍යාපාර නිසා බහුතර ජනතාව ඔහු සමඟ විය. බණ්ඩාරනායක මහතාගේ මැතිවරණ පොරොන්දුවක් වූයේද සිංහල බස රජකර වීමයි. ඉංග්‍රීසි පාලකයන් මෙරට යටත් කරගෙන ඔවුන්ගේ භාෂාව පරිපාලන භාෂාව බවට පත්කරගෙන සිටියත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 81% පමණ දැනසිටියේ සිංහල හා දෙමළ පමණි. ඉංග්‍රීසි දැන සිටියේ අතලොස්සක් වූ ධනපති පන්තියේ වරප්‍රසාද ලත් පිරිස පමණි. 1956 භාෂා පනත ගෙනෙන තෙක්ම රජයේ උසාවි, කාර්යාල, බැංකු, ව්‍යාපාරික ආයතනවල කටයුතු කෙරුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. එදා 1956 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සිංහල භාෂා පනතට පක්ෂව ඡන්ද හැට හයක් ද විපක්ෂව විසි නවයක්ද ලැබීමෙන් සම්මත විය. රජය ගෙන ගිය මහජන එක්සත් පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එයට පක්ෂ වූ අතර සමසමාජ කොමියුනිස්ට්, ෆෙඩරල් පක්ෂ සහ ද්‍රවිඩ සංගමයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය දුන්හ. මේ විවාදයේදී සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයේ නායක යාපනය මන්ත්‍රී ජී. ජී. පොන්නම්බලම් මහතා ප්‍රකාශ කළේ මේ පනත දෙමළ බස කථා කරන ජනතාවගේ පෞද්ගලිකත්වයද, මිනිසුන්ගේ මූලික මානව අයිතිවාසිකම් ද නැති කරන්නක් ලෙස මෙම සභාව සලකන්නීය” යනුවෙන් අතුරු යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. තවත් අතුරු යෝජනාවක් ඉදිරිපත් කළ පොන්නම්බලම් මහතා “මෙම පනත තුන්වැනි වර කියවීම වර්ෂ 2956 දක්වා (වසර දහසකින්) කල් දැමිය යුතු යැයි” පැවසීය. මෙම යෝජනා දෙකම පරාජයට පත් විය. ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රභූ සහ ධනවත් පංතියට පමණක් වූ වරප්‍රසාදයක් ලෙස රැඳී තිබුණි. කාර්යාල කාර්ය සහායක තනතුරකටත් ඉංග්‍රීසි දැනුම අවශ්‍ය විය. උසස් අධ්‍යාපනය මුළුමනින්ම කෙරුණේ ඉංග්‍රීසියෙනි. ඒ ගැන සිතන්නටවත් දුප්පතුන්ට ඉඩක් නොවුණි. මේ පැවති තත්ත්වයේ අංශු මාත්‍රයක් පමණි. ජනයා සිටියේ අසහනයෙනි. මේ අසහනය නිවැරදි කිරීමට බණ්ඩාරනායක මහතාට හැකිවිය. අද ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දෙන පාසල් බොහෝය. ඉංග්‍රීසි නොදත් දෙමාපියෝද තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යවති. ඒ ඔවුනගේ ආර්ථික හැකියාව අනුවය. නමුත් එදා බහුතර සිංහල ජනතාව සමාජ අසහනයෙන් මුදා ගැනීමට සිංහලය රජ බස කිරීම බෙහෙවින් ඉවහල් විය. එය කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. එය එදා බහුතරයේ ඉල්ලීම වූ අතර අද එහි දොස් දැකීම වරදකි. එසේම අද නම් ඕනෑම භාෂාවකින් ඉගෙන ගැනීමේ හැකියාව ඇත.

දෙමළ සමාජයට භාෂා ප්‍රශ්නය බලපෑවේ මෙයට මඳක් වෙනස් අයුරිනි. පෘතුගීසි ඕලන්ද සහ ඉංග්‍රීසි යන සෑම යටත් විජිත සමයකදීම මිෂනාරි අධ්‍යාපනයේ පහසුකම යාපනයට ලැබුණි. සරු පසක් නොමැති ජල හිඟයෙන් පෙළෙන යාපන අර්ධද්වීපයේ ජනයාගේ ප්‍රමුඛම ආදායම් මාර්ගය වූයේ අධ්‍යාපනය ලබා රජයේ රැකියාවකට බැඳීමයි. අධිරාජ්‍යවාදී පාලනයක් යටතේ නිසැකවම සිදුවන්නාක් මෙන් සුළුතරයට විශේෂ සැලකිල්ලක් දැක්වීමේ වාසියද ඔවුන්ට තිබුණි. ඒ නිසා රාජ්‍ය තන්ත්‍රයේ බොහෝ තනතුරු දෙමළ ජනයාටද හිමිව තිබුණි. සිංහල රජ බස වීම ලංකාවේ යුද්ධයක් ඇතිවීමට බලපෑවේය යන්න අමු බොරුවකි. එය ජාතිවාදී ගැටුමක් පමණකි. ඉංග්‍රීසි භාෂාව දිගටම රාජ්‍ය භාෂාව ලෙස භාවිත කළා නම් අපි දැනටමත් දියුණු රටක් බැව් ඇතැමෙකුගේ මතය යි. තවත් අයෙකු පවසන්නේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම තුළ අප රටක් ලෙස පසුපසට ඇද දැමූ බව යි. තවත් අයෙකුගේ මතය වන්නේ 1956 සිංහල රාජ්‍ය භාෂාව කිරීම රටේ සියලු ම දුක් කරදර, වසංගත, සාගත, යුද්ධ, අපරාධ ආදී වූ සියල්ලට ම බලපෑ හේතුව බවයි. එහෙත් එය කිසිසේත්ම පිළිගතයුතු නැත.

ඇත්තෙන්ම සිංහල බෞද්ධ ප්‍රබෝධය 1956 ජයග්‍රහණයත් සමග තහවුරු විය. මෙම බලවේගය අධිරාජ්‍ය විරෝධීය. මේ සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාදයත් සමග බලයට පත් බණ්ඩාරනායක රජයට පැවරුනු වගකීම වූයේ මෙතෙක් ඔවුන්ට අහිමිව තිබූ නිසි තැන ඔවුන්ට හිමිකර දීමය. ඒ අනුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් විය. සිංහල උගතුන්ට තැනක් හිමි විය. මීට ප්‍රථම සිංහල භාෂාව උගත් බොහෝමයක් දෙනාට රැකියා අවස්ථාවක් හිමි වීම ඉතාම අවම මට්ටමක පැවතිණි. නැතිනම් නොලැබුණු තරම්ය. මේ නිසා 56 බලයට පත් බණ්ඩාරනායක ආණ්ඩුව එම ඉඩ ප්‍රස්ථාව සලසා දීමට කටයුතු කළේය. මේ නිසා සංඝයා වහන්සේට, සිංහල ගුරුවරයාට, සිංහල වෙද මහතාට රෙද්ද බැනියම අඳින ගොවි ජනතාවට තැනක් හිමි විය. බහුතරයට නිසි අගය හිමිවීම ප්‍රතික්ෂේප කළ යුතුද? නැත.

රාජ්‍ය භාෂාවේ ඉතිහාසය පිළිබඳ සුළු විපරමක් කළහොත් 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණයත් සමග ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව බවට පත් විය. ඒ තුළ සියලු කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදු විය. පරිපාලනය, අධ්‍යාපනය, වෙනත් සබඳතා බොහොමයක් ඉංග්‍රීසි භාෂාවෙන් සිදු විය. මේ තුළ ඇති වූයේ මෙරට සිංහල බහුතරයට ඉංග්‍රිසී භාෂාව ඉගෙන ගැනීමට සිදු වීම යි. මෙරට මෙන් ම විදේශීය අධ්‍යාපනයෙන් ද පෝෂණය වුණු කොටසක් පරිපාලන කටයුතුවලට සම්බන්ධ වීමට ඒ සමග පටන් ගත්තේ ය. ‘කළු සුද්දන්’ ලෙස සිංහලයන් විසින් හැඳින්වූයේ මේ පිරිස යි. 1934 වසරේ දී සිංහල මහා සභාව එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ විය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම උදෙසා ජනතා උද්ඝෝෂණ මෙන්ම රජයට විරුද්ධව අදහස් සහ මතවාද පළවන්නට විය. සිංහල බෞද්ධයා, ස්වදේශ මිත්‍රයා, සිංහල බලය වැනි පුවත්පත් මඟින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙන ගියේ ය. ජන අසහනය දුරු කිරීම රජයක යුතුකම බැවින් එය 1956 දී ඉටුවිය. එහෙත් වර්තමානයේ මෙරට රාජ්‍ය භාෂා දෙකකි. ජාතික භාෂා ද දෙකකි. ඉංග්‍රීසි යනු සන්ධාන භාෂාව යි. අනෙකුත් සුළු භාෂා මෙරට උත්තරීතර ලියැවිල්ල වශයෙන් සැලකෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සුවිශේෂකොට දක්වා නොමැති බැව් අපි දනිමු. ව්‍යවස්ථාවේ සඳහන් පරිදි එහි සිවුවන පරිච්ඡේදයේ 18(1) වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල වන්නේ ය. 18 (2) වගන්තියට අනුව දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාව වන්නේ ය. (3) වගන්තියට අනුව ඉංග්‍රිසී භාෂාව සන්ධාන භාෂාව වන්නේ ය. එහි 19වන ව්‍යවස්ථාවට අනුව සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය.

නිදහස ලැබුණු රටක අවශ්‍යයෙන්ම සිදුවීමට තිබුණේ අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට යටවී සිටි ජනතාවගේ අවදිවීමකි. නැතිනම් ප්‍රබෝධයක් ඇතිවීමය. නමුත් 1948 දී අපට නිදහස ලැබුණා විනා යටත්විජිත සමයේ පීඩාවට පත්ව සිටි සමාජ බලවේගවලට කිසිදු සාධාරණයක් ඉටු නොවුණි. බහුතර සිංහල බෞද්ධයන්ට තමන්ගේ අභිලාෂයන් ඉටුකරගැනීමට හැකි වටපිටාවක් ගොඩනැගුනේ 56 පෙරළියෙන් පසු විශේෂයෙන්ම සිංහල රජ බව වීමෙන් පසු බව අප පිළිගත යුතුය. එය කිසිසේත්ම පසුගාමී දෙයක් නම් නොවේ. සිංහලය රජ බස වීම වැරැද්දක් යැයි කියන්නෝ ඉංග්‍රීසින් මෙරට දිගටම පාලනය කළා නම් හොඳයි යන අදහස දරන්නෝ වෙති. ඔවුනගේ මවුපියන් කවරෙක් දැයි මම නම් දන්නේ නැත. එහෙත් වර්තමානයේ නම් පාසලේ පළමු පන්තියේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්නුවද අප නම් වරදක් දකින්නේ නැත. නමුත් මවු භාෂාවේ අගය කිසිවිටක පහත දැමිය යුතු නැත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment